ජෝර්ජ් ප්ලොයිඩ් ඝාතනය පිළිබඳ මතක සටහනක් …

අමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ප්ලොයිඩ් ඝාතනය කර මේ වන විට වසරකි.පසුගිය වසරේ ආණ්ඩුව විසින් මිනිස් දඩයමට විරෝධය ප්‍රකාශකළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් හා සමාජ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගෙන අනතුරු ඇඟවීමේ සංඥාවක් ලබාදුනි.

                2020 වසරේ මැයි 25 වෙනි දින අමෙරිකා එක්සත් ජනපදයේ මිනියාපොලිස් නගරයේදී පොලිස් නිළධාරියෙකු විසින් ජෝර්ජ් ප්ලොයිඩ් ඝාතනය කිරීම සමස්ථ ලෝක ජන සමාජය සළිත කළේය.මෙය අමෙරිකාවේ කළු ජාතික ඝාතන ඉතිහාසයේ පළමු සිදුවීම නොවුනද එහි තිබූ අමානුෂික ස්වභාවය නිසාම වර්ණ භේදවාදයට විරුද්ධ ජන මතය, පැවති කොරෝනා වසංගතයද නොතකා නැගී සිටියේය.


               මෙම සිදුවීමේ උණුසුම මැකී යාමටත් පෙර තවත් කළු ජාතිකයෙකු වූ ජේකබ් බ්ලේක් නමැත්තා පොලිස් වෙඩි පහරකට ලක් විය. අමෙරිකානු ඉතිහාසයේ අඳුරු අහුමුළු පිරික්සීමේදී තවත් මෙවැනි ලේ සළකුණු ගණනාවක් හමුවේ. කලු ජාතික ශිෂ්‍යයෙකු වූ ට්රෙවොන් මාර්ටින්,18 හැවිරිදි කලු ජාතික මයිකල් බ්‍රවුන් හා වෝල්ටර් ස්කොට්, යන අය පොලිස් සාහසිකත්වයට හසුවූ දීර්ඝ නාමාවලියක කීප දෙනෙකු පමණි. අමෙරිකා එක්සත් ජනපදයේ පොලිස් ඝාතන අතරින් අති බහුතරය කළු ජාතිකයින් වන බව එරට මාධ්‍ය පෙන්වා දේ.


                 ජෝර්ජ් ප්ලොයිඩ් ඝාතනයත් සමග ශිෂ්ඨගත සමාජයේ පිළිගත් සමාජ ප්‍රකාශනය අභියෝගයට ලක් කෙරුණි. නැතහොත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයේ ආකර්ෂණීය සළුවෙන් වැසුණු සමාජ ක්‍රමයේ සැබෑ ස්වරුපය නිරාවරණය විය. එය ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිය සුරකින ව්‍යාජ සමාජ සම්මුතියට එරෙහිව අභියෝගාත්මකව නැගී සිටියේය.


                   නිවැරදි දිශාවක් හෝ නිශ්චිත මෙහෙයවීමක් නොමැතිව වුවද මතුවූ ජනතා විරෝධය තුල මංකොල්ලකාරී යටත්විජිතවාදයට එරෙහිවීමේ සළකුණු පැහැදිලි විය. දේශ ගවේෂකයින්ගේ හා වහල් වෙළදුන්ගේ ප්‍රතිමා බිඳ දැමීම මගින් මෙය සංකේතවත් කෙරුණි. අවසන් මොහොතේදී ප්ලොයිඩ් ගේ මුවින් ඉතා අපහසුවෙන් පිටවූ “මට හුස්ම ගන්න බැහැ “යන වදන් පෙල මානව වර්ගයාගේම ජීවත්වීමේ අයිතිය සහතික කිරීමේ හඬක් ලෙස යුරෝපය සිසාරා ඕස්ට්‍රේලියානු කලාපය දක්වා පැතිර යමින් අවසානයේ “අපිට හුස්ම ගන්න බැහැ” (we can’t breath) යනුවෙන් රැව් පිළිරැව් දුනි.එය සමස්ත ලෝක වාසීන්ගේ අයිතියක් ලෙස හඬ නැගුණි.එම අයිතිය උදුරාගැනීමට එරෙහිව හඬ නැගීමද සමාජ අයිතියකි.                                                                                         

ප්‍රියන්ත සිල්වා

ReplyReply to allForward

 174 total views,  6 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *