– පෙමට පෙම හමුවීම –

රෝහින්‍යා වැසියෙකුට වන්නි වැසියෙකු එලොවදී මුණගැසී…

සහෝදරයා කුමටදෝ තව ටිප්පණී ටීකා
එකම දුක දෙවිදිහට විඳගෙන ආවදෝ රෑකා
හීන ගිනිගත් නෑසියන්ගේ අදෝනා සංකා
මට වගෙම තාමත් ඇසේදෝ පපුව මැද හාරා

සහෝදරයා මෙහේ කොහොමද එහේ වාගෙමදෝ
මහෝදර සිත් හුඟක් ඇතිදෝ ‘මරා’ පිච්චුව හෝ
අහෝ නර දුක් තවත් උන් එහෙ උහුලනා නොවෙදෝ
මගේ පොඩි දූ මාස හතරයි, ඒ රෝසමල කෝ…?

සහෝදරයා ලොකු පොකුරු වෙඩි ඔළුව මත වැටුණා
මතක් වෙද්දිත් මේ බලාපන් ඇඟම හිරි වැටුණා
පොට්ටු තිය තිය කිට්ටු වූ ඇස් දෙකක් මට තිබුණා
ඇය සොරාගත් අය අසල මගෙ ළය හුස්ම මැරුණා

සහෝදරයා කුසට නැතිමුත් හිත සතුට රැක්කා
මහෝඝය සේ ‘විරා’මය විත් එය කඩා ගත්තා
කුරෛෂී පව් වුව කමා කළ ආදරය ‘මක්කා’
මුහම්මද් නබි තුමා ඊයෙත් සිහිනයෙන් දැක්කා

සහෝදරයා අපිට හැමදේ මතකයක් විතරයි
බාර වූ වැසියන්ට වූවත් ඒ මොහොත විතරයි
මාර පැරදුම කළා සේ තරු ගැසූ බොරු විතරයි
ජීවිතය මඟ හැරී අත් – අත් හැරුණෙ ඒ අතරයි

සහෝදරයා හඬන්නට හෝ නිදහසක් අවැසියි
හිනාවක් යනු කුමක්දැයි අමතකයි ලේ ඉතිරියි
කතාවක්වත් නොමැති නීතිය කුමකටද නොදනියි
කිසිදු හැඳුනුම්පතක් නැති අප මැරි මැරී උපදියි

සහෝදරයා වෙරළ වෙතටයි ඔවුන් දිව ආවේ
එදා සුළඟත් රවා – පුප්පා – රිද්දුවා කීවේ
හදාගත් පොඩි ගෙපැල බිමටම සමතලා වූවේ
බුදුන් දෙවරක් මරා පසුවයි පුතුන් ඇණ ගැසුවේ

සහෝදරයා යන නොඑන මං නොදැන වී මංමුළා
පිටුවහල් කළ බොහෝ පිටවල් පිට නොවේ බිම හලා
අඟුරු සිරුරක ‘මහා කරුණා’ තිබෙන වග හැංගිලා
ඔප්පු කෙරුමට අවැසිමය මට බුදු මුවට රිංගලා

සහෝදරයා ඔන්න ඔහොමයි කාරණා කාරණා
සාමයට ඉඩ නොදෙන ලෝකය මෙහේ නැත වාරණා
කැමති තැනෙකින් වාඩි වී අපි විටක් ගෙන හප හපා
හති හරිමු තව බොහෝ වැඩ ඇත එන උන්ට පෙම් තකා.

– කසුන් මහේන්ද්‍ර හීනටිගල –

 76 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *