කම්කරු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය අභියෝගයට ලක් කරමින්…

කොරෝනා වසංගතය හේතුවෙන් රාජකාරියට පැමිණිමට නොහැකි පුද්ගලික අංශයේ සේවකයන්ට අඩ වැටුප් ගෙවීමට ‍දෙසැම්බර් 31 දින දක්වා ඉඩ දෙමින් කම්කරු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය අභියෝගයට ලක් කරමින් පොදු දේපල සහ මානව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් පහත සඳහන් ලිපිය කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත යවා ඇත. 

2021 ජුනි 07 වන දින

කම්කරු අමාත්‍ය 

නිමල් සිරිපාල ද සිල්වා මහතා

කම්කරු අමාත්‍යාංශය

මෙහෙවර පියස

කොළඹ 5.

ඇමතිතුමනි”

2021 ජුනි 4 දිනැතිව කම්කරු අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මාධ්‍ය නි‍වේදනය

2021 ජුනි 4 දිනැතිව කම්කරු අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මගින්, මෙම දිනවල කොවිඩ් වසංගතය හේතුවෙන් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව වසා ඇති බවත් සේවකයන්ගේ ගැටළු ප්‍රාදේශීය කම්කරු කාර්‍ය්‍යාලවලට යොමු කරන ලෙසත් වසංගතය නිසා සේවයට පැමිණීමට නොහැකිවන සේවකයන්ට පසුගිය වසරේ මැයි මස සිට ක්‍රියාත්මක කරන ලද රු. 14500 ක අවම වැටුප හෝ සේවක වැටුපෙන් අර්ධයක් ගෙවීමට ගන්නා ලද තීරණය මෙම දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට ජුනි 2 දින පැවති කම්කරු අමාත්‍යාංශයේ කාර්‍ය සාධක බලකා රැස්විමේදී තීරණය කළ බවත් දන්වා ඇත.

සෞඛ්‍යය බළධාරීන්ගේ නියෝග අනුව ජාතික කොවිඩ් මර්ධන බලකාය නියෝග කර ඇත්තේ අත්‍යාවශ්‍ය සේවාවන් හැර අනෙක් ආයතන වසා දමන ලෙසත් අත්‍යාවශ්‍ය සේවාවන් තම රාජකාරිවලට බාධා නොවන ආකාරයට හැකි අවම සේවක ප්‍රමාණයක් යොදවා ක්‍රියාත්මක කරන ලෙසත්ය. සංචරණ සීමා ක්‍රියාත්මක වන මෙම කාලය තුල පොලිසිය වැනි දෙපාර්තමේන්තු වසා නොදමන අතර ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සදහා එය විවෘතව පවතී. කම්කරුවන්ගේ සේවය සම්බන්ධව මතුවන ප්‍රශ්න විසඳීමට පොලිසියට  නීත්‍යානුකූල බලයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කම්කරු දෙපාර්තමේන්තුවයි. පුද්ගලික අංශය සංචරණ සීමා කාලය තුලද සාමාන්‍ය තත්වයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වන නිසා කම්කරු ජනතාවට සාමාන්‍ය එදිනෙදා ගැටළු මෙන්ම වසංගතය නිසා මතුවන තත්වයන්ටද අළුතෙන් මුහුණ දීමට සිදුව ඇත. එබැවින් ඒ සම්බන්ධව ජාතික මට්ටමෙන් තීරණ ගැනීමේ අවශ්‍යතාවයක් මතුව ඇති අතර ඒවා ප්‍රාදේශීය මට්ටමින් විසඳා ගතහැකි ප්‍රශ්න නොවේ. එමනිසා කම්කරු අමාත්‍යාංශයද අත්‍යාවශ්‍ය සේවයක් බැවින් එය විවෘතව තැබීමට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිමු.  

දෙවන කාරණය වන වසංගතය නිසා සේවයට නොපැමිණෙන සේවකයන්ට අර්ධ වැටුප් ගෙවීමට තීරණයක් ජුනි 2 දින පැවති කාර්‍ය්‍ය සාධක බලකා රැස්වීමේදී එළඹූණු බවට කරන ප්‍රකාශය සාවද්‍යය. එම යෝජනාව රැස්වීමේ දී සාකච්ඡාවට ඉදිරිපත් කළද සමහර වෘත්තීය සමිති එයට විරුද්ධ වීම නිසා එය ඉදිරියේ දී පැවැත්වෙන ජාතික කම්කරු උපදේශන සභා රැස්වීමට යොමු කිරීමටය තීරණය කරන ලද්දේ. රටේ සමස්ත කම්කරු ප්‍රජාවට බලපාන මෙවන් තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යාංශයේ කාර්‍ය්‍ය සාධක බලකායට බලතල නොමැති අතර ඒ ස‍ඳහා බලය ඇත්තේ කම්කරු උපදේශන සභාවටය. සංචරණ සීමා පැවතුණද සියළුම නිෂ්පාදන ක්ෂේත්‍ර සිය රාජකාරි නොකඩවා කරගෙන යනු ලබන තත්වයක් තුල සේවයට පැමිණීමට නොහැකිව ඇත්තේ වසංගතය නිසා නිරෝධායනය හෝ වසා දමා ඇති ප්‍රදේශවල සිටින අය පමණි. ඔවුන්ට පාලනය කළ නොහැකි හේතුවත් නිසා සති දෙක තුනක කාලයක් වැටුප් නොගෙවා සිටීම අසාධාරණ වන අතර ඔවුනට මුළු වැටුප් ගෙවීමට හැම ආයතනයකටම හැකියාව ඇත. වාර්තාවන අන්දමට පසුගිය වසර එකහමාරක කාලය තුල රටේ සමාගම් විශාල ප්‍රමාණයක් අධික ලාභ ලබා ඇති අතර බැංකුවලින් සේවකයන්ට පහසුකම් ලබා දීමට අඩු පොලියට දෙනු ලබන ණය බොහෝ ආයතන විසින් ලබා ගෙන ඇත. එම නිසා වසංගතයෙන් බැටකන සුළු සේවකයන් පිරිසකට පූර්‍ණ වැටුප් ගෙවීමට ආයතනවලට හැකි බව අපේ වැටහීමයි. එම නිසා ඔවුන්ට අර්ධ වැටුප් ගෙවන යෝජනාවට කම්කරු උපදේශන සභාවේ බහුතර සමිති විරුද්ධවන බව අපට දන්වා ඇත. 

එබැවින් සංක්ෂිප්ත වශයෙන් පහත සඳහන් කරුණු සටහන් කරමු.

1. ආර්ථික යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන වැඩකරන ජනතාවට බලපාන ප්‍රශ්න පිළිබඳව කටයුතු කිරීමට තිබෙන  එකම මධ්‍යස්ථානය වන කම්කරු දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරන ලෙස ඉල්ලමු.

2. කෝවිඩ්-19  වසංගතය නිසා හෝ ගංවතුර ගැලීම නිසා හෝ ප්‍රවාහන හා අයහපත් තත්ත්වය නිසා හෝ වැඩට පැමිණිය නොහැකි සේවාදායකයන්ට පූර්ණ වැටුප ලබා දීමට කටයුතු කළ යුතුය.

3. ගැබිනි මව්වරුන් සඳහා විශේෂ සහන ලබාදීමට පාලකයන් ක්‍රම සහ විධි සම්පාදනය කළ යුතුය . 

4.  කෝවිඩ් වසංගතය නිසා නිරෝධානය ට ලක් වී සිටින සේවා දායකයන්ට  අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුය.

මේ සඳහා සාකච්ඡා කිරීමට ජූනි 14 දින ජාතික කම්කරු උපදේශක සභාවේ න්‍යාය පත්‍රයට ඇතුළු කරන ලෙස ඉල්ලමු.

මෙයට විශ්වාසී

සිල්වෙස්ටර් ජයකොඩි රංජන් සේනානායක 

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය ලංකා බැංකු සේවක සංගමය 

සම කැඳවුම්කරු සම කැඳවුම්කරු

පිටපත්: කම්කරු කොමසාරිස් ජෙනරාල්

කම්කරු උපදේශන සභාවේ වෘත්තීය සමිති

 26 total views,  4 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *