අද දවසේ පූර්ණකාලිකයා “ වමට” තවදුරටත් වලංගුද, යාවත්කාලීන වියයුතුද…?

රන්ජන් සේනානායක විසිනි

පූර්ණකාලිකයා හෙවත් වෘත්තීය විප්ලවාදියා තවදුරටත් මේ ලිබරල් සන්දර්භය තුල එසේත් නැත්නම් මූල්‍ය ප්‍රාග්ධනය පරිධියේ රටවලට ගොඩබස්නා සංදර්භයක් තුලදීත්, තවත් පැත්තකින් ආසියාතික භූප්‍රදේශ චීන ආදිපත්‍ය සඳහා බිලිවෙමින් පවතින සහ ඊට එරෙහිව ඇමරිකන් සහ ඉන්දියානු කඳවුරු එළිපිටම තම ව්‍යාපෘති කරළියට එමින් තිබෙන තත්වයක් තුලදී පූර්ණ කාලිකයා හෙවත් වෘත්තීය විප්ලවවාදියා තවදුරටත් ලංකාව වැනි පරිධියේ පවතින ඌන සංවර්ධිත රටවල වාමාංශික පක්ශවල ක්‍රියාකාරිත්වය සඳහා වලංගුවේද නැත්නම් පවතින තත්වයන් සහ එළැබීමට නියමිත ව්‍යාකූල තත්වයන් සඳහා මෙම වෘත්තීය විප්ලවවාදියා යාවත්කාලීන වීමක් සිදුවිය යුතුද යන්න විමසා බැලීමක් මේ ලිපියෙන් අපේක්ශා කෙරේ.

“වෘත්තීය විප්ලවවාදියා” යන අදහසම ඒ අදහස ලෙනින් විසින් කරලියට ගෙනඑන කාලය තුලදීද “බෝල්ෂෙවික්” සහ “මෙන්ෂවික්” පාර්ශ්වයන් අතර කිසියම් සංවාදයකට තුඩුදුන් එක් කාරණයක් වූයේද මේ “වෘත්තීය විප්ලවවාදියා” පිළිබඳවය. ඒ පිළිබඳ ඇතිවූ සංවාදයේදී මෙන්ෂවික් පාර්ශ්වය තර්ක කළේ වෘත්තීය විප්ලවවාදියා කම්කරු ව්‍යාපාරයේ හදගැස්ම නොතේරෙන, ඔවුන්ගේ අශ්වාස ප්‍රශ්වාස නොදැනෙන්නාවූ කොටසක් බවට ඉදිරියේදී පත්වීමට නියමිත බවයි (බෝල්ෂෙවික් පක්ෂ ඉතිහාසය-සිනොවිව්). එහෙත් ඊට ප්‍රතිපක්ෂව ලෙනින්ගේ තර්කය වූයේ අවුරුදු 300 ක් පුරාවට හොඳ හැටි පදම්වූ සාර් පාලණයක් තිබියදී ඊට එරෙහිව ඒ වනවිටත් ගොඩනැගී ඇත්තේ නොමේරු සහ නොදියුනු කම්කරු ව්‍යාපාරයක් පමණක් බැවින් ඒ මහා සාර්වාදී ආදිපත්‍යට විරුද්ධව ප්‍රභල අවියක් ලෙස මේ වෘත්තීය විප්ලවවාදියා යොදාගත හැකි බවයි.

එපමනක් නොව ලෙනින් විසින් “ කලයුත්තේ කුමක්ද” යන කෘතියේ පවා “ වෘත්තීය විප්ලවවාදියා” පිළිබඳව බොහෝදෑ සඳහන් කර ඇති බැව් අපි දනිමු. එසේම මෙම වෘත්තීය විප්ලවවාදීන් මනාසේ සංවිධානය කොට බෝල්ෂෙවික් පක්ෂය තුල 1917 වනවිට සිටි 10,000 ක පමණ සාමාජිකයන්හට ප්‍රභල සවියක් ගෙනදී 1919 වනවිට රුසියාවේ කම්කරු පාලණයක් බිහිකිරීමට ලෙනින් විසින් එම වෘත්තීය විප්ලවවාදියා ඉතා දක්ෂ අන්දමින් ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් නායකත්වය කටයුතු කල බවද අපි දනිමු. ඒ අනුව එදා රුසියාවේ පැවති සංදර්භය අනුව සහ ඊට බලපෑ සාධක අනුව ඔවුන් එදා රුසියාවේ සමාජවාදී පාලනයක් ඇතිකිරීමට සමත් විය.

එහෙත් අද පවතින ලෝක තත්වය හමුවේ ලංකාව වැනි පරිධියේ පවතින ආසියාතික පසුගාමී රටක්තුල විශේෂයෙන් ධනේශ්වරය දියුනු නොවූ තත්වයක් තුල පවතින්නාවූ වාමාංශික ප්‍රවනතාවල කාර්‍යභාරයන් සලකා බලමු. ඇත්ත වශයෙන්ම 71 සහ 89 වැනි කාලවකවානුවල පැන නැඟුනාවූ අරගලයන් වලදී වෘත්තීය විප්ලවවාදියාගේ භූමිකාව ඉතා සුවිසල් එකක්වූ බවත් තීරනාත්මක වූ බවත් අවිවාදිතය. එවැනි ඉතිහාසමය ක්‍රියාදාමයක් (historic event) එකක් පැන නැගුනාවූ ඕනෑම මොහොතකදී ඊට වෘත්තීය විප්ලවවාදීන් බවට සියලු පන්නයේ බිම් මට්ටමේ ක්‍රියාධරයින් පත්විය යුතු අවශ්‍යතාවයක් පැනනගී. එවිට ඒ වෘත්තීය විප්ලවවාදියා පවත්නා තත්වයන් අනුව සහ බලපාන කොන්දේසි මත ඔවුන් විසින්ම තම පැවැත්ම යාවත්කාලීන කරගනු ලබන අතර එවන් කාලවලදී සමාජය ඉතා වේගයෙන් චලනය වන පසුතලයකදී ඊට අදාලව ක්‍රියාකාරී බලවේගද ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඉතා වේගයෙන් යාවත්කාලීන කරගනී. ඒ අනුව එවන් ඓතිහාසික භූමිකාවක් මතදී පූර්ණකාලිකයා ඉතා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව අවිවාදිතය. ඊලඟට අප පසුකරන වත්මන් කාලපරිච්චේදය වැනි කාලවකවානුවලදී පූර්ණකාලිකයාගේ අවශ්‍යතාව සලකා බැලුවහොත් එය ඉහත විස්තර කල ආකාරයට ගෙනහැර දැක්විය නොහැකිය. විශේෂයෙන් වාමාංශික බලවේග සමාජය තුල තීරනාත්මක බලවේග බවට පත් නොවන්නාවූ කාලයන් තුලදී මෙම පූර්ණකාලිකයාගේ කාර්‍යභාරය ඉතා ගැටලුකාරී ස්වරූපයක් ගනී. ඒ මක්නිසාද යත්, එක් අතකින් ඒ ඒ වාමාංශික පක්ෂවලට මේ වෘත්තීය විප්ලවවාදීන් සහ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීමේ වගකීම පැවරී ඇති හෙයිනි. මෙවන් වකවානුවල එවැනි වගකීම් ඉතා බැරෑරුම් වගකීම් බවට පත්වෙනුයේ ආර්ථික අර්බුදය සහ සෞඛ්‍ය අර්බුද ලොවපුරා උත්සන්න වන මෙවන් තත්වයන් යටතේදීය. තම පවුල් වලින් දුවා දරුවාගෙන් වෙන්වී සමාජවාදී සමාජයක් ගොඩනැංවීමේ අපේක්ශාවෙන් වාමාංශික පක්ශවල පූර්ණකාලීනව වැඩකරන ක්‍රියාධරයින්ගෙන් තම තමන්ගේ පවුල් වල ආර්ථිකය සඳහා කිසිදු දායකත්වයක් ලබාදීමේ අවස්ථාවක් නොමැතිවීම හේතුවෙන් අද වනවිට ඔවුන්ගේ පවුල්වල දරුවන්ගේ අද්‍යාපනය පවා කඩාවැටී ඇති අන්දම අපට දැකගත හැකිය. ඒ අන්දමින් ඔවුන්ගේ පවුල්වල ආර්ථිකය කඩාවැටීම සහ ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය තත්වය පිරිහීම යන කාරනාවලට අද වනවිට ඒ ඒ පක්ශවලටද මැදිහත්වීමට අපහසු තත්වයක් පැන නැගී ඇත. මක්නිසාද යත්, වාමාංශික පක්ශ ගත්විටද ඒවායේ ක්‍රියාකාරිත්වයද ඒ ඒ සංදර්භයන් තුල තම දේශපාලණ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කරගෙන යාම මිස තම පක්ශවල සිටින සාමාජිකයින්ගේ පවුල් නඩත්තු කිරීම හෝ ශුභසාධනය කරගෙන යාම නොවේ. ඒවායේ මුඛ්‍ය පරමාර්ථය නම් දේශපාලණය කරගෙන යාමයි. එහෙත් අදවනවිට ඒ දේශපාලණයට වැඩියෙන්ම දායකත්වය දෙන “පූර්ණකාලිකයා” දිනෙන් දින අර්බුධයට යමින් පවතී. දිනෙන් දින දරිද්‍රතාවයට ගොදුරු වෙමින් පවතී. ඔවුන්ගේ දිනපතා අවශ්‍යතාවයන්ට වඩා දේශපාලණ ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දීමේදී බොහෝ පූර්ණකාලිකයන් මේ වනවිට තමන්ගේ සෞඛ්‍ය ගැටළු වලට බෙහෙත් හේත් පවා නොගනී. මේවායේ දීර්ඝ කාලීන ප්‍රථිපලයක් ලෙස අද වනවිට බොහෝ පූර්ණකාලිකයන් දියවැඩියාව, කොලෙස්ටරෝල් අධිකබව, අධික රුධිර පීඩනය වැනි රෝග මෙන්ම ගැස්ට්‍රික් ආබාධ සහ විවිධ මානසික ආබාධයන් හට පහසුවෙන් ගොදුරු වෙමින් සිටී. කලට වේලාවට නිසිපරිදි ආහාර නොගැනීම සහ අවශ්‍ය බෙහෙත් නොගැනීම යන කාරණා දෙකම එකවිට බොහෝ කාලයක් අත්විඳීමෙන් ඔවුන්ගේ මැදිවයස ගතකරන විට බොහෝ අපහසුතා මැද සිය දේශපාලණ කටයුතු කරගෙන යාමට සිදුවෙයි. එසේම තම තමන් නිමග්නවී ඇති දේශපාලණ ව්‍යාපෘතියන් සමාජය තුල මේ කාලවකවානුව තුල ගමන්කරන්නාවූ ඉතා මන්දගාමී ස්වරූපයද මේ ක්‍රියාධරයාගේ ක්‍රියාත්මකභාවයට ඔරොත්තු නොදේ. මක්නිසාදයත් ඔවුන්ගේ කැපකිරීමට සාපේක්ෂව සමාජයේ ඔවුන් බලාපොරොත්තු වෙන්නාවූ වෙනසක් ඔවුනට ආපිට කිසිසේත් දෘශ්‍යමාන නොවන බැවිනි. 

අනෙක් වැඳගත් කාරනය වන්නේ මෙම පූර්ණකාලිකයා එදිනෙදා පක්ශයේ වැඩපිළිවෙල ඇඳගෙනයාමට පමනක් සහභාගි කරගන්නා මෙවලමක් පමනක් බවට යාන්ත්‍රිකව පත්වී ඇති බැවිනි. එදිනෙදා පෝස්ටර් ගැසීම, පනිවිඩ බෙදාහැරීම, පත්තර පත්‍රිකා බෙදාහැරීම, ඒ ඒ පවත්නා දේශන සහ උද්ඝෝෂණ වල ඔළු පිරවීමට යොදාගැනීම වැනිදේ හැරුනු විට වෙනත් වැදගත් යමක් ඔවුනට පැවරී නොමැත. එසේ වැදගත් යමක් ( ජාත්‍යන්තර දේශපාලන සම්බන්දකම් පවත්වාගෙන යාම, වෘත්තීය සමිති සමඟ ගනුදෙනු හෝ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවනතා හැදෑරීම) වැනිදෑ සදහා යොමුකිරීමටද ඔවුන් සතු හැකියාවන් ප්‍රමානවත් නොවේ. ඊට පරිබාහිරව මේ ක්‍රියාධරයා ගොඩනගාගන්නේ ( “අපි තමා මේ සැරේ හොඳම ස්ටේජ් එක ගැහුවේ, අපේ කථිකයා අර විවාදයේදී නියමෙට දුන්නා, අපේ අහවල් සහෝදරයා තමා හොඳටම දන්නේ, අරුන් අපේ පෝස්ටර් ඉරලා, අපේ රැස්වීමට මාර සෙනඟක් හිටියා, අරුන් අපේ පෝස්ටර් වලට උඩින්ගහලා…”) වගේ ඉතා පසුගාමී කාරනා උත්කර්ශයට නංවාගෙන ස්වයං තෘප්තියකට පත්වීම පමනි. මේ මගින් මෙම ක්‍රියාධරයා ඉතා යාන්ත්‍රිකව වෙනත් සහෝදර පක්ශයක් තමන්ගේ අනෙකා බවට පත්කර ගනී. ඉන් අනතුරුව අවිඥ්ඥානිකව තමාගේ භූමිකාව තමා අයත් පක්ශය පමනක් සමස්ථය බවටත් සෙසු බලවේගයන් කිසිසේත්ම අදාල නැතුවා පමනක් නොව තමන් නියෝජනය කරන බලවේගයේ බලවත් හතුරෙක් බවටත් සලකා ක්‍රියාකිරීමට පෙලබේ. කාලය ගතවීමත් සමගම ඔහුට ආශ්‍රය කිරීමට ලැබෙන්නේද තමාගේ අදහස්ම දරණ, තමාට සමානවම වගකීම් දරණ එකම දේශපාලන ව්‍යාපෘතියක කිහිප දෙනෙක් පමනක් බැවින් ඔහුට බාහිර දැනුම සහ අත්දැකීම් ලබාගැනීමේ අවකාශය දිගින් දිගටම මගහැරී යයි. වඩාත් පැහැදිලිව කියන්නේ නම් මැතිවරණයකදී වැනි කාරණාවලදී මොවුනට චන්ද 10 ක් හෝ හැරවීමට ඇති හැකියාව ඉතා අවම වශයෙන්පවතී. දැනුම ලෙස ගන්නේද තමන් නියෝජනය කරන පක්ශයේම ඉහල ක්‍රියාධරයන්ගේ දේශන, වොයිස් කට් සහ රූපවාහිනී වාද-විවාද වලින් ලබාගන්නා දැනුමක් පමනක්ම බැවින්ද, පක්ශයෙන්ම කියවීමට යෝජනාකරන පොත්පත් සහ සඟරා පමනක්ම බැවින්ද, දීර්ඝ කාලයක් මෙලෙස වැඩකරගෙන යාමේදී මෙම පූර්ණකාලිකයා ඉතාමත් යාන්ත්‍රික “ අමුතු සත්වයෙකු” බවට පත්වේ. ඒ අයුරින් මොහු පක්ෂයේ ඉහලින් එන “අණ” දීම් පමනක් ඉස්මුදුනින් පිලිපැදීමට පුරුදුවේ. ක්‍රම ක්‍රමයෙන් මොහු එක්තරා නිකායක නැත්නම් “කල්ට්” එකක සාමාජිකයෙකු බවට පමනක් පත්වේ. ඊට සමගාමීව මොහු ආර්ථික අතින් ඉතා පහත් තත්වයට ඇදවැටෙන අතර නිර්ධන පංතියෙන් දරිද්‍රතාවයට ඇදවැටේ. මෙහිදී තමන් නියෝජනය කරනා පක්ෂයෙන්ම ලැබෙනා සොච්චම් ආධාර මුදලින් තම පවුලේ ආර්ථික තත්වය ඉතා අපහසුවෙන් පවත්වාගෙන යන අතර ඒ නිසාම පක්ශයේ ඉහලින් ගෙන එනු ලබන යෝජනා සහ අදහස් වලට එකඟවනවා හැර වෙනත් විකල්පයක් ඉතුරු නොවේ. ඊට විකල්ප තමාගේ යෝජනා ඉදිරිපත් කිරීමට තරම් නිර්මානශීලිත්වයක් හෝ හැකියාවක් ඔවුන් තුල ඉතුරු නොවී තදබල හීලෑ සත්වයකු බවට පත්වේ. මේ අයුරින් මෙම ක්‍රියාධරයා මැදිවයසට පත්වීමෙන් පසු පත්වන රෝගී තත්වයනටද ඔරොත්තු දීමට අපොහොසත්ව පක්ශයෙන් පැවරෙන කාර්‍යභාරයන්ද හරිහැටි ඉටුකිරීමට නොහැකිව ක්‍රමයෙන් හුදෙකලා තත්වයට පත්වේ. ඒ සමගම අළුතින් පක්ෂයට එක්වන තරුන ක්‍රියාධරයන්ගේ නව අදහස් සහ ක්‍රියාකාරකම් නොරුස්නා තත්වයකට පත්වී නිතරම තරහ යන අසහනකාරී පුද්ගලයකු බවට පත්වේ. මේ අතර තමන්ගේ දූ දරුවන් ලඟට යාමටද එක්තරා අපහසු තත්වයක් උද්ගත වන්නේ, දශක කීපයක් ඔවුන්ව නොසලකා හැරීම පිලිබඳව ඔවුන්ගේ චෝදනා පත්‍රයකට මුහුන දිය යුතු බැවිනි. මේ පූර්ණකාලිකයාගේ දූ දරුවන් සමාජයේ අනිත් දරුවන් ලබාගන්නා වරප්‍රසාදවලට වඩා අඩු වරප්‍රසාද භුක්ති විඳින බැවින් ඔවුන්ගේ යම් අප්‍රසාධයක් තම පියාට එල්ලවීම මෙයට හේතුවයි.

       අනිත් අතට කාර්‍යක්ෂමතාවය අතින් ගත්තද තත්වය එතරම් ශුභදායක නොවනබව කිවයුතුය. යම් පූර්ණකාලිකයෙකු සතියක් ඇතුලත කරනු ලබන කාර්‍යභාරය ගණනය කොට බැලුවහොත් සාමාන්‍ය කම්කරුවෙක් දිනකට කරන්නාවූ පැය 8 හෝ 10 ක වැඩ ප්‍රමාණයත්, ඉන්පසු ඔවුන් තම පවුල සහ දරුවන් වෙනුවෙන් කරනා කැපකිරීමත් සමග සසඳා බැලුවහොත් පූර්ණකාලිකයාගේ වැඩකොටස ඉතා අඩු ප්‍රමානයක් බව පැහැදිලිවනු ඇත. පැය 8 ක් 10 ක් දිනකට වෙහෙසෙන සතියකට දින 6 ක් මේ අයුරින් ශ්‍රමය වගුරන මවක් සලකා බැලුවහොත් මේ මව තම දිනක පැය 8 හෝ 10 ට අමතරව තම දරුවන්ට කෑම පිලියෙල කිරීම, ඇදුම් පැළදුම් සේදීම, සැමියාගේ වැඩකටයුතු සොයාබැලීම යන වැඩ කන්දරාව එකතුකොට බැලුවහොත් මේ මවගේ වැඩතොගය සමග පූර්ණකාලිකයාගේ වැඩකොටස අලගු තැබීමටවත් ප්‍රමාණවත් නොවේ. මේ පූර්ණකාලිකයාගේ දිනක වැඩකොටස ලෙස පනිවිඩ දීම, පත්තර බෙදීම, උද්ඝෝශන වලට යෑම වැනි සරල කාරනා සඳහා පමනක් යොදාගන්නා බැවින් මෙවැනි වැඩ සඳහා කාර්‍යක්ෂමතාවක් මැනීමට පවා නොහැක. එසේම මෙම ලියුම් කරු විසින් මෙම ලිපිය ලිවීමට ප්‍රථම බොහෝ කාලයක් පූර්ණකාලීන දේශපාලණයේ යෙදීසිට ඉන් ඉවත්වූ 20 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සමඟ සාකච්චා කල අතර ඉන් බොහෝ දෙනෙකු තමන් පූර්ණකාලීන දේශපාලනයේ යෙදීමෙන් ගත කල කාලය ගැන අද වන විට පසුතැවීමකින් කථා කල බවද කිවයුතුය. අනෙත් අතට එකී කාලය තුල තමන් කිසිම ශිල්පීය ඥාණයක් වර්ධනය නොකල බවත්, එදිනෙදා අවශ්‍ය කරන කොම්පියුටර් දැනුම හෝ ලබාගැනීමට අවකාශ නොලැබූ බවත් මේ හේතුවෙන් පූර්ණ්කාලීණ දේශපාලණයෙන් ඉවත්වී සාමාන්‍ය සමාජය වෙත පැමිනි පසු ඔවුන් සතු කිසිදු හැකියාවක් ඉතිරිවී නොතිබූ බවද කියා සිටින ලදී. තමන් පූර්ණකාලීනව දේශපාලණය කල දශක කිහිපය තුල තමන් සමාජවාදී ලෝකයක අවිඥ්ඥානිකව ජීවත්වූවද, සැබෑ ලෝකයේ පවතින ධනේශ්වරයේ තරඟකාරී බව යථාර්තයක් ලෙසින් තමනට අභිමුඛ වීමේදී තමනට ඉතා අසරණ බවක් දැනෙන බව මේ බොහෝ දෙනෙකුගේ අදහස විය. මේ සියලු කාරනා අවසානයේදී තමන් නියෝජනය කල දේශපාලන ප්‍රවාහයන් පිළිබඳව දැඩි වෛරයකින් කථා කරන පිරිස්ද ඒ අතර ඇත.

මේ ගැටළුවට විසදුමක් ලෙස බිම් මට්ටමේ පූර්ණකාලිකයින් ගොඩනැගීම වෙනුවට කම්කරුවන් ලෙස සිය ශ්‍රමය වගුරන පිරිස් වාමාංශික දේශපාලනයේ අර්ධකාලීනව යොදවා ගැනීම වඩාත් ප්‍රතිඵල ගෙනදෙන බව කිව යුතුය. මක්නිසාදයත්, දිනපතා ශ්‍රම සූරා කෑමට ලක්වන ඔවුන් තුල පංතිය පිලිබඳ හැඟීම වඩාත් හොදින් කාවැද්දීමට පහසු බැවිනි. තවද තමන් නියෝජනය කරන වාමාංශික අදහස් කථාකිරීමේ වැඩි අවකාශයක් ඔවුනට ඇත. තමන් සමග එකට ශ්‍රමය වගුරුවන අය සමග දේශපාලන අදහස් බෙදාගැනීම වඩාත් ප්‍රථිපල දායක වනු ඇත. එසේම පංති අරගලයට කම්කරුවා සජීවීව දායකත්වය සපයයි. ක්‍රියාධරයා පක්ශයෙන් නඩත්තුකිරීම වෙනුවට කම්කරුවා වැටුපක් ලබාගනී. එයින් ඔහු තම පවුල නඩත්තු කරන අතරම පක්ශය නඩත්තුවටද ආධාරවේ. කාල් මාක්ස් පැවසුවාක් මෙන් “ශ්‍රමය” යනු අභිමානයක් බැවින් ශ්‍රමය වගුරන කම්කරුවා එක්තරා අභිමානයකින් එයට දායක වෙයි.

මේ අනුව ලොවපුරා සමාජවාදී ක්‍රියාකාරිත්වය පසුබෑමකට පත්වී ඇති මොහොතක ඊට සරිලන ලෙස වාමාංශික ක්‍රියාධරයා යාවත්කාලීන විය යුතුය. පක්ෂයක ඉහල කේඩරය පූර්ණකාලිකයන්ගෙන් සමන්විය යුතු මුත්, බිම් මට්ටමේ ක්‍රියාධරයා තම පවුල නඩත්තුකරන අතරම අර්ධකාලීන දේශපාලනික ක්‍රියාධරයෙකු වීම කාලෝචිතය. එක් අතකින් සමාජයේ දූ දරුවන්ගේ මූලික මිනිස් අවශ්‍යතා සදහා පෙනී සිටින අතරම තම පවුලේ දූ දරුවන්ගේ අහිමි වෙන අයිතිවාසිකම් සඳහාද ඔහු සංවේදී විය යුතුය. ඒ සමගම ක්‍රියාධරයන් ලෙස තමන් අනුයුක්ත පක්ෂයේම දරදිය අදිනවා වෙනුවට මාක්ස්වාදී චින්තනය හරියාකාරව ග්‍රහනයකොට ගත යුතුය. පක්ෂය මූලික කරගැනීමත්, එහි වහලෙකු වීමත් වෙනුවට සමස්ථ ලෝකයේම ඇතිවන චලනයන් විනිවිද දැකිය හැකි පරිචයක් තමන් තුල ගොඩනගා ගත යුතුය. මේ ආකාරයට පූර්ණකාලිකයා වාමාංශික ප්‍රවාහ තුල යාවත්කාලීන වීම සිදු නොවන්නේ නම්, 2030-2035 කාලවකවානුව වනවිට වාමාංශික පක්ෂ බොහොමයක් වෙබ් අඩවි කිහිපයකට සීමාවීම නොවැලැක්විය හැකිය.

රන්ජන් සේනානායක

 580 total views,  48 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *