කන්දසාමි, සෝමපාල සහෝදරවරුන් සමරමු!

2021 ජූනි 05

කම්කරු පන්ති අරගල ඉතිහාසයේ සුවිශේෂයෙන් සටහන් වන නම් දෙකක් කන්දසාමි සහ සෝමපාල. මේ සහෝදරවරුන් දෙදෙනාම පන්ති ව්‍යාපාරය වෙනුවෙන් දිවි පිදූ අය. අද වගේ දිනයක තමයි ඔවුන් දෙදෙනාම දිවි පිදුවෙ.


කන්දසාමි සහෝදරයා රජයේ ලිපිකරු සේවා සංගමයේ (GCSU) ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. 1947 රජයේ සේවක වැඩ වර්ජනයේදී පුරෝගාමී වැඩ කොටසක් ඉටුකළා. 1947 ජූනි 5දා ගාලුමුවදොර පිටියේ පැවති දැවැන්ත පෙළපාලිය අතරතුරදී පොලිසිය කළ වෙඩි තැබීමෙන් ඔහු මරාදැමුනා.
එතැන් සිට ජූනි 5 දිනය මෙරට කම්කරු පන්ති සටන් ඉතිහාසයේ වැදගත් සමරු දිනයක් වෙනවා. සෝමපාල සහෝදරයාත් කන්දසාමි සහෝදරයා ගිය මග යමින් කම්කරු පන්ති ව්‍යාපාරය වෙනුවෙන් දිවි පිදුවෙ ජූනි 5 දිනයකමයි.
1977දි බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධනගෙ UNP ආණ්ඩුව ධර්මිෂ්ට සමාජයක් ගොඩනගන මුවාවෙන් පොදු ජනයා දැවැන්ත මර්දනයකට යටත් කරන්නට කටයුතු කරමින් සිටියේ. ජේ.ආර්.ගේ ප්‍රධාන ඉලක්කයක් වුනේ කම්කරු පන්තියයි. මේ රටේ සංවිධිත කම්කරු පන්ති ව්‍යාපාරය යටත් කරනොගෙන ඔහුගේ නවලිබරල්වාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට බැරි බව ජේආර් දැනසිටියා.
ඒ අතරම උහුලන්න බැරි ජීවන වියදම නිසා වැඩකරන ජනයා අතර දැඩි ආණ්ඩු විරෝධයක් මතුවෙමින් තිබුණා.
මේ තත්ත්වයට එරෙහිව කම්කරු පන්තිය ගොනු කරමින් සංවිධානය කිරීම සඳහා එවකට තිබූ ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති ගණනාවක් එකතු වී වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව (Joint Trade Union Action Committee) පිහිටුවා ගන්නේ 1979 වසරේදීයි. උහුලන්න දරාගන්න බැරි ජීවන වියදම පියවාගන්න මාසෙකට රුපියල් 300/-ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීමට කමිටුව තීරණය කළා.
ඒත් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් හිමිකරගෙන සිටි ජේආර්ගේ ආණ්ඩුව වැඩකරන ජනතාවගේ ඉල්ලීම් ගැන කිසිදු තැකීමක් කළේ නැහැ. ඔවුන් කම්කරු පන්තියේ ඉල්ලීම නෑසූ කණ්ව සිටියා. ඒ නිසා ආණ්ඩුවේ ඇස් ඇරවන්න කණ් අස්සවන්න නම් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කළයුතු බවට එකී කමිටුව තීරණය කළා. ඒ අනුව කන්දසාමි සහෝදරයා දිවිපිදූ ජූනි 5 දිනය මේ වෙනුවෙන් තෝරා ගත්තා.


1980 ජූනි 5දා කොළඹ නගරයට කම්කරුවන් දහස් ගණනක් රැස්වුනා. එදින හවස් වරුවේ කොටුව ලේක්හවුස් වටරවුම අසලදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුනා. මේ විරෝධතාව මැදට unp ආණ්ඩුවේ මැරයන් කඩාවැදුනා. කුලු පොලුවලින් සන්නද්ධව සිටි මේ මැරයන් විරෝධතාවට එක්වී සිටි කම්කරුවන්ට ඉවක් බවක් නැතුව පහර දුන්නා. සෝමපාල සහෝදරයා මරාදමනු ලැබුවේ ඒ මැර ප්‍රහාරයෙන්.
රජයේ සැපයීම් දෙපාර්තමේන්තුවේ පොදු සේවක සංගමය නායකයකු වූ සෝමපාල සහෝදරයා තම ජීවිතය ගැන පවා නොතකා සටන් බිමට පිවිසියේ ජීවත් වීමට සොච්චම් වැටුප් වැඩිකිරීමක් ලබාගන්නයි. දිනකට රුපියල් 10/-ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ කම්කරුවන්ට ජේආර්ගේ ධර්මිෂ්ට ආණ්ඩුව සැලකුවේ පොලු මුගුරු බයිසිකල් චේන්වලින්.

කන්දසාමි, සෝමපාල සහෝදරවරුන් අපට පෙන්නුම් කළේ කම්කරු පන්තිය තම අයිතිවාසිකම් දිනාගැනීමට නම් ජීවිත පරිත්‍යාගයෙන් වුව සටන් කිරීමට සූදානම් වියයුතු බවයි. එවන් ජීවිත පූජාකළ සහෝදරවරුන් නිසා තමයි අද වැඩකරන ජනතාවට මේ තරමින්වත් ඔළුව උස්සගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

ශ්‍රීනාත් පෙරේරා විසිනි

 26 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *