කාර්ල් මාක්ස් ගේ දේශපාලන ආර්ථික විද්‍යාවේ විධි ක්‍රමය

සුමනසිරි ලියනගේ විසිනි

ඒංගල්ස්ට ලියූ ලිපියක මාක්ස් සදහන් කළා තමන්ගේ විධික්‍රමය ගැන පිටු තුන හතරක සටහනක්වත් සැකසීමට හේ අදහස් කරන බව. එහෙත් මාක්ස් මේ පොරොන්දුව ඉටුකළබවක් මාක්ස් ගේ ඉංග්‍රීසියට දැමූ ලිපිවලින් පෙනෙන්නෙ නෑ. මෙයට ආසන්න සටහනක් හැටියට තියෙන්නෙ Grundrisse හි පළකර ඇති දේශපාලන ආර්ථික විද්‍යාවේ විධික්‍රමය කියන සටහනයි. මා මේ සාකච්ඡාවේදි බලාපොරොත්තු වන්නේ ඒ අදහස් සරලව ඉදිරිපත් කරන්න.

මාක්ස් ගේ විධික්‍රමය අපෝහක භෞතිකවාදය ලෙස බහුල වශයෙන් හැදින් වේ. එය මාක්ස්ගේ හෝ ඒංග්ල්ස්ගේ යෙදුමක් නොවේ. මගේ දැනුමේ හැටියට එය ප්ලෙකනොව් හදුන්වාදුන් පදයක්. පශ්චාත් විප්ලව රුසියාවේ diamat ලෙස මෙය ජනප්‍රිය කෙරුනා. ඉල්‍යන්කොව් වැන්නවුන්ගේ රචනා හැරුනවිට diamat මගින් කෙරුනේ මාක්ස් ගේ විධික්‍රමය විකෘත කිරීමයි. ස්ටාලින් ගේ එම විෂය ගැන රචනය මෙයට හොද උදාහරණයක්. අපෝහක භෞතිකවාදය යන යෙදුම ප්‍රශ්න මතු කරන්නක්. අප ශ්‍රීලංකාවේ විවාදය වෙත මදක් හැරුනොත් මා හිතනව මහාචාර්ය නලින් සිල්වා වැදගත් අදහස් දෙකක් මතුකර තිබේ ය කියල. පළමුවැන්න, අපගේ අනුභූතීන් හුදු ඉන්ද්‍රියයන් පහකින් නොව හයකින් ලබාගන්නේ ය යන අදහස. ඒ හයවෙනි ඉන්ද්‍රිය සිත (mind) යි. මා හිතනව මෙය වැදගත් අදහසක් කියා. මේ සම්බන්ධයෙන් කෙනෙකුට නැගිය හැකි ප්‍රශ්නය තුලින් ඔහුගේ දෙවන වැදගත් අදහස දැකගත හැකියි. ඒ ප්‍රශ්නය තමා: “කොහේද ඔය සිත නැත්නම් මනස ශරීරයේ පිහිටා තිබෙන්නෙ?” මා හිතනව එය වැරදි ප්‍රශ්නයක් කියල. එවන් භෞතික පිහිටීමක් අවශ්‍යමද? යථාර්ථය = භෞතිකය සමග සර්වසම වන්නේ ද?
මා හිතනව මේ ගැටලුව විසදීමේ මගක් රෝයි බෂ්කර් විසින් සැපයෙනව කියා. ඔහුට අනුව යථාර්ථය > භෞතිකය. එමෙන්ම එය භෞතිකවිය යුතුම නැත. අපෝහක භෞතිකවාදය වෙනුවට අපෝහක යථාර්ථවාදය (dialectical realism or realist dialectics) යන බෂ්කර් ගේ යෙදුම වඩා නිරෝගී පදයකැ යි මම සිතමි. (විස්තර කරන්න)
මාක්ස් ගේ ලිපිය හදුන්වා දීමට පෙර තවත් පූර්විකාවක් අවශ්‍ය යැයි සිතමි. ඉතිහාසය ගැන පැහැදිලි සහ නිවැරදි දැක්මක් නැතිව මාක්ස් ගේ විධික්‍රමය සන්දර්භගත කිරීම කළ නොහේ. ස්ටෙෆන් මෙසරොස් ට අනුව ඉතිහාස සංකල්පය මූලයයන් තුනකින් ප්‍රධාන වශයෙන් සමන්විත වේ. ඒ මෙසේ ය1. ඓතිහාසික කාරකත්වය නිර්ණනය; 2. හුදු කාලයේ ගලායාමක් ලෙස නොව නෛසර්ගික අවිඡ්චින්න ක්‍රියාවලියක් ලෙස වෙනස සංජානනය;3. විශ්වීයත්වය සහ සුවිශේෂත්වය අතර ප්‍රතිරෝධය හදුනාගෙන එහි සහවාදයෙන් ඓතිහාසික සිද්ධීන් ඒවායේ විශේෂතාවය අතික්‍රමණය කොට ග්‍රහණය කිරීම.
ප්‍රාග්ධනයේ විශ්ව චලනය සමග ඉතිහාස කථනය බොහෝසෙයින් වෙනස් වින. එහෙත් එහි ස්වයංවර්ධනය පළමුවෙන්ම නිසිලෙස ග්‍රහණය කරගත්තේ හේගල් ය. එසේවුවද, ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාඥයන් මෙන් හේගල් ගේ අදහස් ප්‍රාග්ධනය සදාකාලික පැවැත්ම ගැන ඔහුගේ ස්ථාවරය නිසා ඉතිහාසය සහමුලින්ම විවෘත එකක් ලෙස දැක්මට හේගල්ට නොහැකි විය. ඔහුගේ ප්‍රසිද්ධ කියමන: තාර්කිකය තථ්‍ය ය. තථ්‍යය තාර්කිකය. තවත් ඈතට ගොස් හේ තථ්‍යය ධනාත්මක ලෙස දුටුවේ ය. ධනේශ්වර සිවිල් සමාජය සහ ධනේශ්වර රාජ්‍යය නවාතැන් ලක්ෂය ලෙස හේ දුටුවේ ය.
මාක්ස් තම ස්ථාවරය විස්තර කළේ ප්‍රතිලෝමනයේ ප්‍රතිලෝමනය (inversion of inversion) ලෙස ය. රෝයි බෂ්කර් ට අනුව, මාක්ස් හේගල් ගේ නිරපේක්ෂ විඥාන වාදී  සද්භාවවාදය (absolute idealist ontology), සමපේක්ෂණවාදී තාර්කික ඥානවිභාගය (speculative rationalist epistemology) සහ විඥානවාදී  සමාජ විද්‍යාව (substantive idealist sociology) ප්‍රතිලෝමනය කළේ ය. 
මාක්ස් තම දේශපාලන ආර්ථික විද්‍යාවේ විධි ක්‍රමය නැමති සටහනෙහි කිසියම් කටු සටහනක් තබන්නේ ඥාන විභාගීය විධික්‍රමය ගැන ය. අපි දැන් ඒ ලිපියේ අඩංගු දේ වෙත හැරෙමු.
Grundrisse සංස්කාරක හා පරිව‍ර්තක වූ මාටින් නිකොලස් ට අනුව Grundrisse මාක්ස්ගේ ප්‍රාග්ධනයෙහි අන්තර් තර්කණය තේරුම් ගැන්මට නව ආලෝකයක් සපයයි. එමෙන්ම මාක්ස්ගේ පර්‍යේශණ ක්‍රමවේදය හැදෑරීමට තක්සේරු කළ නොහැකි අගයක් එම සටහන්හි තිබේ.
පිටු 100- 108 පිටුවල දැකියහැකි දේශපාලන ආර්ථික විද්‍යාවේ විධි ක්‍රමය මැයින් යුතු සටහන විභාග කිරීමට පෙරාතුව සාකච්ඡා කෙරෙන කරුණුගැනද සලකා බැලීම අවශ්‍ය වේ. 
මාක්ස් මෙසේ ලියයි. “අප හමුවේ ඇති විෂය භෞතික නිශ්පාදනය ය. සමාජයේ වෙසෙමින් නිශ්පාදනය කරන පුද්ගලයන් – එනම් සමාජයීයව නිර්ණය කෙරෙන පුද්ගල නිශ්පාදනය – අපේ ආරම්භක ලක්ෂය යි.” (83) ප්‍රපංචයන් සහ ව්‍යුහයයන් මෙන්ම සම්බන්ධතා ද ඓතිහාසික ක්‍රියාවලියක ඵලයයන් වේ. ඇඩම් ස්මිත් හා ඩේවිඩ් රිකාඩෝ සූත්‍රගතකළාක් මෙන් මේ පුද්ගලයෝ සර්වකාලීනව ජීවත්වූවෝ නොවූහ. තමන් නිශ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින්නෙමුයි සමහරෙක් කියති. ඔවුන්ගෙන් ඇසිය යුත්තේ “මොන නිශ්පාදන ආර්ථිකයක් වෙනුවෙන්ද ඔබ පෙනී සිටින්නේ?” මාක්ස් මෙසේ ලියයි. “අප නිශ්පාදනය ගැන කථාකරන හැමවිටකම අප එයින් අදහස් කරන්නේ සමාජ සංවර්ධනයේ නිශ්චිත අවධියක නිශ්පාදනය ය.” (85) එසේ නොමැතිව නිශ්පාදනය ගැන කථාකිරීමෙහි තේරුමක් නැත. මක්නිසාද? “පොදුවේ නිශ්පාදනය යනු වියුක්තයකි” (85).  මෙසේ ආරම්භයේදීම හේ යෝජනා කරන්නේ ඓතිහාසික චලනය අවධාරණය කිරීමෙහි අනීවාර්‍යත්වය ය. බෂ්කර් වෙන්කොට දක්වන බන්ධුතා අපෝහකය (relatioal dialectic) ය. 
හැම සමාජ අවධියකටම පොදු චරිතාංග නැතැයි මෙයින් නොකියවේ. මානවයා හැම විටකම කිසියම් මෙවලමක් නිශ්පාදනයේදී යොදාගත්තේ ය. එසේවුවද, දේශපාලන ආර්ථික විද්‍යාව යනු තාක්ෂණික විෂයයක් නොවේ. මෙම සමාජ අවධින්හි වෙනස්කම් තේරුම් ගැන්මේදී වැදගත් වන්නේ එකී පොදු චරිතාංග පවා කෙසේ වෙනස්වී ද යන්න ය. මේ කරුණ Grundrisse හි පසු සටහන්වල දීර්ඝව සාකච්ඡා වන්නේ ය.
මෙයින් පසු ඔහු යොදා ගන්නේ නිශ්පාදනය, බෙදාහැරීම, හුවමාරුව සහ පරිභෝජනය අතර සම්බන්ධය සාකච්ඡා කිරීමට ය. මේ සම්බන්ධතා සහ ව්‍යුහයයන් දීර්ඝව පසු සටහන්වල සාකච්ඡා වේ. මගේ කියවීම මේ කෙටිසටහන් ධනේශ්වර සමාජයක සද්භාවවාදී අපෝහක විග්‍රහයක (ontological dialectics) කටු සටහනකි (88- 100). නිශ්පාදනය, බෙදාහැරීම, හුවමාරුව සහ පරිභෝජනය අතර ඇත්තේ රෙඛීය සම්බන්ධයක් නොවේ. එමෙන්ම ඒවා එකිනෙකින් වෙනස් වන්නේ නැත. උදාහරණයක් ලෙස නිශ්පාදනය එක් අතකින් පරිභෝජනයක් ද වන්නේ ය. නිශ්පාදනයේ දී නිශ්පාදන සාධක පරිභෝජනය කෙරේ. නිශ්පාදන ක්‍රියාවලිය, එනම් ඵලදායී පරිභෝජනය අවසන ඊලග රවුම සදහා පරිභෝජනය කෙරෙන භාණ්ඩ නිශ්පාදනය වේ. මේ අනුව නිශ්පාදන ක්‍රියාවලිය පුනර්-නිශ්පාදන ක්‍රියාවලියක් ද වන්නේ ය. 
නිශ්පාදනය සහ බෙදාහැරීම අතර ද ඇත්තේ එවන්ම අපෝහක සම්බන්ධතාවයකි. නිශ්පාදනය බෙදාහැරීම නිර්ණය කරනු මෙන්ම බෙදාහැරීම මගින් නිශ්පාදනය නිර්ණනය කරන්නේ ය. හේ මෙකී සත්භාවාත්මක අපෝහක ක්‍රියාවලිය Grundrisse සටහන් පොත්වල මෙන්ම ප්‍රාග්ධනය පොතෙහි ද විස්තරාත්මකව විභාග කරයි. එසේ වුවද ඔහුට තම ශාස්ත්‍රීය ව්‍යපෘතිය අවසන් කිරීමට නොහැකි විය.
දේශපාලන ආර්ථික විද්‍යාවේ විධික්‍රමය මැයින් ඇති කෙටි සටහන ඥාන විභගාත්මක අපෝහකය පිළිබද මාක්ස් ඉතිරිකරගිය හොදම සටහනයැයි මට සිතේ. ප්‍රාග්ධනය එය සුභාවිතයට දැමූ තැන ය. 
මෙහි මුල් කොටසෙහි පදාත්මක නොවන පරිවර්තනයක් මෙසේ ය.
“”අප කිසියම් රටක් දේශපාලන- ආර්ථික වශයෙන් සලකාබලන විට අප සාමාන්‍යයෙන් ආරම්භ කරන්නේ ජනගහනයෙනි. එහි පංති සංයුතිය, නගරය සහ ගම අතර ව්‍යාප්තිය, විවිධ නිශ්පාදන අංශ අතර බෙදුන ආකාරය, ජාතික නිශ්පාදනය සහ පරිභෝජනය ආදිය ඒ සමග අපි සලකා බලමු.”
මීලගට හේ මෙසේ සටහන් කරයි. 
“මෙසේ යථාර්ථයෙන් -සත්‍ය සංයුක්තයෙන්- ආරම්භ කිරීම නිවැරදි යැයි පෙනීයනු ඇත. මන්ද? ජනගහනය ආර්ථික විද්‍යාවේ සත්‍ය පූර්ව කොන්දේසිය ය; නිශ්පාදනය නැමති  සමාජ ක්‍රියාවෙහි පදනම සහ විෂය වන්නේ ජනගහනය ය. එසේ වුවද ආසන්න අධ්‍යායනයක් පෙන්වන්නේ මේ විධික්‍රමය සාවද්‍ය බව ය. එය සමන්විතවන පංතීන් නොසලකා හැරියොත් ජනගහනය යන්න වියුක්තයකි. එමෙන්ම එය දරාසිටින මූලයයන් – එනම් වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය – ගැන අවබෝධයක් මට නොමැත්තේ නමි පංති යන්න හිස් පදයක් පමණක් වේ. වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය අනෙක් අතින් හුවමාරුව, ශ්‍රම විභජනය හා මිල හා බැදේ. උදාහරණයක් ලෙස වැටුප් ශ්‍රමය, වටිනාකම, මිල වැනි දෙයින් බාහිරව ප්‍රාග්ධනයට තේරුමක් නොමැත්තේ ය.”
එසේනම් මාක්ස් යෝජනා කරන විකල්ප ඥාන විද්‍යාත්මක විධික්‍රමය කුමක් ද?
“මේ අනුව මා ජනගහනයෙන් විග්‍රහය ආරම්භ කළොත් එය සමස්තය පිළිබද අවුල්සහගත සංකල්පයක් වනු ඇත. මා ඒ නිසා තවදුරටත් නිර්ණනය හරහා වඩාත් සරල සංකල්පයක් වෙත විශ්ලේෂණාත්මකව ලගාවන්නෙමි. එමගින් වඩා සරල නිර්ණනයක් වෙත ලගාවෙන තුරු වියුක්තකරණය පටු කරන්නෙමි. ඊටපසු එතැන්සිට නැවතත් ජනගහනය වෙත නැවත ලගාවෙන තුරු ගමන් කරන්නෙමි. දැන් එළඹෙන්නේ සමස්තය ගැන අවුල්සහගත සංකල්පයක් වෙත නොව අනූපමය නිර්ණනයන්ගෙන් සහ සම්බන්ධතාවයන්ගෙන් හෙබි පොහොසත් සමස්තයකට ය.”
උක්ත විධික්‍රමය මාක්ස් භාවිතයට නැගුවේ කෙසේ ද? 
සත්‍ය සංයුක්තය (real concrete) = ජනගහනය (එය වියුක්ත මෙන්ම සමස්තය ගැන අවුල්සහගත සංකල්පයk) ඉතාමත් සරල කුඩා ඒකකය තෙක් වියුක්තකරණය, ඒ ඒකකය වූයේ භාණ්ඩය (commodity) යි. ප්‍රාග්ධනය පොතේ පළමුවෙනි කොටස තුළ මාක්ස් කරන්නේ භාංඩය ගැන කෙරෙන සූක්ෂ්ම විභාග කිරීමක් මගින් ධනේශ්වර ක්‍රමයේ සරලම ඒකකය තුලින් ධනේශ්වර ක්‍රමයේ චලිත නියාමයේ මූලික ප්‍රතිරෝධයන් තේරුම් කර ගැන්මය. දැන් ආපහු ගමන ඇරඹිය යුතු ය. භාණ්ඩය, වටිනස්කම, අතිරික්ත වටිනාකම, වැටුප් ශ්‍රමය … ප්‍රාග්ධනය හරහා ඔහ තැත් කළේ රාජ්‍යය තෙක් ගමන් කිරීමට ය. එහෙත් ඔහුට එය නිමකළ නොහැකි විය.
මාක්ස් ට අනුව මේ නිවැරදි විද්‍යාත්මක විධික්‍රමය ය. සමස්තය ගැන මුලින් තිබූ අවුල් සහගත සංකල්පය වෙනුවට මේ විධික්‍රමය ඔස්සේ ගොඩනගාගන්නේ සමස්තය ගැන නිරවුල් සාරගර්භ සංකල්පයකි. මේ අපෝහක ඥාන විභාගාත්මක ක්‍රමය හරහා එළඹෙන සංයුක්තය පිළිබද සංකල්පය හේ මෙසේ හදුන්වයි. “සංයුක්තය, සංයුක්තයක් වන්නේ එය බොහෝ නිර්ණනයන්ගේ සංකේන්ද්‍රණයක් වන හෙයිනි. එනම් විරුද්ධයන්ගේ එකමුතුව කි.” (101) හේ මෙම ක්‍රියාවලිය තවදුරටත් මෙසේ විස්තර කරයි. “මෙම ක්‍රියාවලිය අප දුටුවේ චින්තන  තලයේ දිග ඇදුන එකක් ලෙස ය. ඒ අනුව චෛතසික සංකේන්ද්‍රණයක් ලෙස ය. ප්‍රතිඵලයක් ලෙස ය. එය ආරම්භක ලක්ෂය නොවින. එහෙත් එය ඇත්තටම යථාර්ථයේදී එය ආරම්භක ලක්ෂය වූයේ ය. එමෙන්ම එය නිරීක්ෂණයේ සහ සංකල්පනයේ ද ආරම්භක ලක්ෂය වූයේ ය. පළමු ගමනේදී පූරණ සංකල්පය වියුක්ත නිර්ණනයකට වාෂ්ප වී ගියේ ය. දෙවෙනි ගමනේදී වියුක්ත නිර්ණනයන් මනස තුළ එනම් සිතිවිල්ලක් ලෙස සංයුක්තය ප්‍රතිනිර්මාණය කිරීම තෙක් වර්ධනය වූයේ ය.”
මාක්ස් ගේ ප්‍රාග්ධනය සත්‍ය සංයුක්තය (real concrete) ගැන අපෝහක කියවීමකි. සත්‍ය සංයුක්තය මනසෙහි පුනර්- නිර්මාණය කිරීමකි. ලෙනින් සදහන් කළේ අපට සත්‍යයයට වඩාත් ලගාවිය හැක්කේ මේ ගමන හරහා බවය. විඤ්ඤාණවාදය සහ යථාර්ථවාදය අතර වෙනස, විශේෂයෙන් හේගල් සහ මාක්ස් අතර වෙනස, මේ අනුව තේරුම් ගත හැකි වේ. නැවතත් අපි මාක්ස්ට සවන් දෙමු.
“හේගල් මෙහිදී මායාවකට හසු වූයේ ය. ඒ යථාර්ථය ඒ මගින්ම කැටි වූ චින්තනයේ නිශ්පාදිතයක් ලෙස සිතීමෙන් ය. එහිම සාර ගවේෂණයක් ලෙස දැකීමෙන් ය. එය එය විසින්ම අනාවරණය කරන්නක් ලෙස දැකීමෙන් ය. වියුක්තයෙන් සංයුක්තයට ඉහල නැගීමේ විධික්‍රමය ඇත්තටම සංයුක්තය චින්තනය මගින් අත්කරගැන්මේ එකම ක්‍රමය වේ. සංයුක්තය මනසෙහි ප්‍රතිනිර්මාණය කිරීමේ එකම ක්‍රමය ය. එහෙත් මේ මගින් එකී මනසෙහි නිර්මිත සංයුක්තය පැවැත්ම (being) බවට පත් නොවන්නේ ය” (101).
මාක්ස් තවදුරටත් මෙසේ ලියයි. “හිසෙහි රූපගතවන සමස්තය, එනම් චින්තනීය වූ සමස්තය, හිතන, කල්පනයකරන හිසක ඵලයයක් ය. කල්පනයකරන හිසට ලෝකය   අත්පත්කරගත හැක්කේ ඒ ආකාරයෙන් පමණි. .. සැබෑ දෙය හිසෙන් සහ චින්තන ක්‍රියාවලියෙන් ස්වායත්තව එහි පැවැත්ම තවදුරටත් රැක ගන්නේ ය. හිසේ ක්‍රියාකාරිත්වය සමපේක්ෂිත ය. න්‍යායයාත්මක ය. ඒනිසා න්‍යායයාත්මක තලයෙහි විෂය, සමාජය හිතෙහි තබාගත යුත්තේ කල්පනයක් අනුමානයක් ලෙස ය” (101- 02). 
ඉදිරියට යාමට පෙර මෙතෙක් සාකච්ඡා කෙරුන මාක්ස් ගේ විධික්‍රමය සාරාංශකර ගනිමු. සෑම විග්‍රහයකම ආරම්භක ලක්ෂය සත්‍ය යථාර්ථය (real concrete) ය. කිසියම් න්‍යායයක් යථාර්ථවාදී වීමටනම් එය පහත දැක්වෙන දෑ පිළිගත යුතු වේ.
1. විෂයබද්ධත්වය (objectivity): එය මේ වනවිට දැන ඇතද නැතද, දැනගත හැකි දේ යථාර්ථය ය. එය දෘශ්‍යමාන නොවුවද යථාර්ථය විය හැක.2. වැරදිය සුලු බව (fallibility): නව තොරතුරු මගින් ප්‍රතික්ෂේපණයට විවෘත වියයුතු වේ.3. අධිප්‍රපංචත්වය (transphenomenality): දෘශ්‍යමානයෙන් ඔබ්බට යා හැකිබව මෙයින් හැගවේ. දැනුම දෘශ්‍යමානයට සීමානොවේ. ඒවා පසුපස ඇති ව්‍යුහයයන් ද කරා විහිදෙන්නකි.4. ප්‍රති-ප්‍රපංචත්වය (counter-phenomenality):  යථාර්ථය ගැඹුරෙහි ඇති ව්‍යුහයයන්ට විහිදෙනවා පමණක් නොව, එය දෘශ්‍යමානය ට පරස්පර විරෝධී විය හැක්කක් ද වේ. (Critical Realism: An Introduction to Roy Bhaskar’s Philosophy by Andrew Collier, pp. 6- 7)
අර්නස්ට් මැන්ඩෙල් දක්වන පරිදි මාක්ස් විසින් සොයාගනු ලැබූ ප්‍රාග්ධනයේ චලනයේ සාමාන්‍ය නීතින් සහ ධනේශ්වර නිශ්පාදන මාදිලියේ ඉතිහාසය අතර සම්බන්ධය මාක්ස්වාදී න්‍යායේ  වඩාත්ම සංකීර්ණ ගැටලුවලින් එකකි. මේ දෙක අතර සම්බන්ධයක් නැතැයි සමහරෙක් තර්ක කරති. ඔවුනට අනුව මාක්ස් කළේ ධනේශ්වර නිශ්පාදන මාදිලියේ අභ්‍යන්තර ව්‍යුහයයන් සහ සම්බන්ධතා විවරකර පෙන්වීම ය. තවත් සමහරෙකුට අනුව ධනේශ්වර ක්‍රමය තුළ දැකියහැකි කුලකයන් විකාශනය වූ ආකාරය හෙළිකිරීම මාක්ස් ගේ අරමුණ විය. ඇත්තටම නම් මාක්ස්ගේ විශ්ලේෂණය diachronic (යමක් විකාශනය වූ ආකාරය පෙන්වීම) මෙන්ම synchronic (යමක කිසියම් මොහොතක පවත්නා ව්‍යුහය විග්‍රහ කිරීම ය) එකක් ද විය. (මේ පද දෙක සදහා සුදුසු සිංහල පද මට සොයාගත නොහැකිවිය.) නැවත අපි Grundrisse ට හැරෙමු. මාක්ස් මෙසේ ලියයි. “නිසිලෙස සංවර්ධනය නොවූ සමස්තයේ බලගතු සම්බන්ධතා සරල කුලකයක් මගින් ප්‍රකාශණය කෙරෙන්නේ යැයි කිව හැක. එසේත් නැත්නම්,  ප්‍රකාශිත දිසාවට එම සමස්තය වර්ධනය වීමට පෙර ඓතිහාසික පැවැත්මක් ඇති වඩා සංවර්ධිත සමස්තයක අතුරු සහ යටත් සම්බන්ධතා, සංයුක්ත කුලකයක් මගින් ප්‍රකාශ කරනු ලබනු ඇත. එම ප්‍රමාණයට සරලත්වයෙන් ඇරඹී සම්බන්ධීත්වය කරා සිදුවන වියුක්ත චින්තනයේ ගමන්මග සැබෑ ඓතිහාසික ක්‍රියාවලියේ ගමන සමග සමපාත වන්නේ ය” (102). මාක්ස් ගේ අපෝහකය ඒ තේරුමෙන් “උද්ගාමී මෙන්ම නිගාමි වේ. තාර්කික මෙන්ම ඓතිහාසික ද වන්නේ ය” (ලෙනින්, 38, 320). රෝයි බශ්කර් සදහන් කර ලෙස එය retroductive වන්නේ ය.
මෙහිදී අප සිදුවිය හැකි වැරදි කිහිපයක් කල්තියා තේරුම්ගත යුතු ය.
1. මාක්ස්ගේ විග්‍රහ ක්‍රමය සහ මාක්ස් තම විශ්ලේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කරන ක්‍රමය එකිනෙකින් වෙනස් වන්නේ ය. (Capital, Vol 1, 102)
2. දෘශ්‍යමානය සහ සාරය. යථාර්ථය අධි-ප්‍රපංචත්වයෙන් යුතු යැයි අපි මුලින් දැක්වීමු. “බාහිර දෘශ්‍යමානය සහ සාරය සෘජුව සමපාත වන්නේ නම් සියලු විද්‍යාවන් වැඩකට නැතිව යනු ඇතැ” යි මාක්ස් වරෙක ලීවේ ය (Capital. Vol 3. 797). දෘශ්‍යමානය යථාර්ථය නොවන බවක් හෝ සාරය පමණක්ම යථාර්ථය වන බවක් හෝ මෙයින් කිසිසේත්ම අදහස් නොවේ. දෘශ්‍යමානය සහ සාරය අතර ඇත්තේ අපෝහක සම්බන්ධයකි. මිල දෘශ්‍යමානය වන අතර එය කෙසේ තීරණය වන්නේද යන්න තේරුම් ගැන්මට නම් එහි සාරය, එනම් වටිනාකම තීරණය වීම තේරුම්ගත යුතු වේ. බශ්කර් retroduction ලෙස හැදින්වූයේ මේ ක්‍රියාවලිය ය. දෘශ්‍යමානය සහ සාරය අතර ඇති බහුවිධ අතරමැදි පුරුක් මෙහිදී හදුනාගෙන තේරුම්ගත යුතු වේ. ප්‍රාග්ධනය පළමුවෙනි වෙලුමෙන් තෙවන වෙලුම දක්වා විග්‍රහය ඉදිරියට ගෙන ඒමේදී මාක්ස් පාථකයා ගෙන ආවේ මේ දිසාවට ය. කෙසේ වුවද වඩාත් සංයුක්ත මට්ටමට විශ්ලේෂණය ගෙනයාමට සැලසුම්කළ අනෙක් වෙලුම් සටහන් ලෙස ඉතිරි කිරීමට ඔහුට හැකි නොවී ය.
3. මාක්ස් ගේ විධික්‍රමයේ දී වියුක්තකරණය වැදගත් ය. ස්වාභාවික විද්‍යාවන්හි සම්පරීක්ෂණයන්ට හිමිවන තැන සමාජ විද්‍යාවන්හිදී වියුක්තකරණයට හිමිවන්නේ යැයි හේ අවධාරණය කළේ ය (Capital. Vol 1, 90). එසේ වුවද, මෙකී වියුක්තකරණ ක්‍රියාවලිය ප්‍රවේශමෙන් කළ යුත්තකි. එක් අතකින් එය යථාර්ථවාදය සහ විඥානවාදය අතර වෙනස සටහන් කරයි. අනෙක් අතින් අප හිතන පතන දේ යථාර්ථය ලෙස දැක්වීමට හේතු වේ. හිස් වියුක්තකරණය (empty abstraction) සහ සත්‍ය වියුක්තකරණය (true abstraction) අතර වෙනස අපෝහකවාදියෙකු නිරන්තර සිහියට  ගත යුතු වේ. හිස් වියුක්තකරණය මගින් කෙරෙන්නේ තම මනසෙහි ඇති චිත්‍රයන් වෙතින් යථාර්ථය දෙස බැලීම ය. ඒ චිත්‍රය යථාර්ථයට ආරෝපණය කිරීම ය. කලකට පෙර එන් ශන්මුගදාසන් සහෝදරයා ශ්‍රීලංකාවේ ඉතිහාසය ගැන ලියූ පොත් පිංච මෙයට කදිම උදාහරණයක් යැයි සිතමි. මාක්ස් සත්‍ය වියුක්තකරණය ලෙස දුටුවේ සත්‍ය යථාර්ථය සාරවත් ලෙස එහි ව්‍යුහයයන්, සම්බන්ධතා සහ ක්‍රියාවලින් මනසේ චායාරූප ගත කිරීමකි. මෙහි ඇගවිම අපෝහකය සමාජය සහ ස්වභාව ධර්මය තුළ ක්‍රියාත්මක ය යන්න ය. 
4. මීට බොහෝසෙයින් සමාන ප්‍රශ්නයක් සත්භවීය මුලාව (ontic fallacy) සහ ඥානවිභාගීය මුලාව (epistemic fallacy) අතර වෙනස මගින් අවධාරණය කරයි. පළවැන්නෙන් සිදුවන්නේ යථාර්ථය දෘශ්‍යමානයට ඌනනය කිරීම වන අතර දෙවෙනි මුලාවෙන් කෙරෙන්නේ තම චින්තන රාමුවල ඇසින් යථාර්ථය දැකීම ය.

 30 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *