ලිංගික ශ්‍රම බෙදීම සහ The Great Indian Kitchen

කල්ප රාජපක්ෂ විසිනි

The Great Indian Kitchen මෑතකදී බලන්නට ලැබුණු අරගලකාරී චිත්‍රපටයක් ලෙස නම් කරන්නට මම කැමැත්තෙමි. ඒ යම් විදිහකින් සමස්ත මානව ශ්‍රම බෙදීමේ පතුලේම තිබෙන ලිංගික ශ්‍රම බෙදීම නැත්නම් ශ්‍රමයේ ලිංගික පදනම ගැන ආත්මීය කතාවක් සරල නමුත් බලපෑම්කාරී සිනමා අඛ්‍යානයකින් අප වෙත ගෙන එන නිසාවෙන්. මෑත කාලයේ බලන්නට ලැබුණු විවිධ ජාතිකත්වයන්, භාෂාවන් සහ කලාප නියෝජනය කරන සිනමා කෘති අතුරින් මලයාලම් සිනමාවට හිමි වෙන්නේ විශේෂ තැනක්. සිනමාවේ භාෂාව සහ තේමාවන්ගෙන් මෙන්ම සිනමාවේ දේශපාලනයෙන් බොලිවුඩ් ඇතුළු කලාපයේ සිනමාවට මලයාලම් සිනමාව එල්ල කරන අභියෝගය ආස්වාදනීය එකක්. The Great Indian Kitchen කියන්නේ සිනමාකරුවෙක් හෝ කාරිනියක් ‘ඉන්දියාවේ ජිවත් වෙමින්’ යම් විදිහකින් ස්පර්ශ කරන්න අදිමදි කරන තේමාවන් රාශියක් එකට එකතු කරන චිත්‍රපටයක්. උදාහරණයන් වශයෙන් හින්දු පවුලක ස්ත්‍රියකගේ භූමිකාව, ස්ත්‍රිය අසුභ සහ කිලිටි ‘යමක්’ (මනුෂ්‍යයෙක් නොව පාලනය කළයුතු යමක්) වශයෙන් සැලකීම, අන් කවරදාටත් වඩා හොදින් ‘පරිත්‍යාගශීලි ලෙස’ ස්ත්‍රියකගේ ශ්‍රමය පවුල් සංස්ථාව නඩත්තු කිරීමට ධනවාදය විසින් උරාගන්නා ආකාරය සහ ඒ වෙනුවෙන් තාක්ෂණය ඉෂ්ට කරන කාර්ය කොටස යනාදී වශයෙන් එහි තේමාත්මක හරයන් දෙස අපට බැලිය හැකියි.

ඒ පළල් පරිමාවේ දේශපාලන තේමා මෙන්ම මම පුද්ගලිකව නැවත නැවත ආත්මියව ගැටුණු දෙයක් වෙන්නේ මම එක් තනි පුද්ගලයෙක් වශයෙන් කුමනාකාරයේ ශ්‍රමයක් වෙනුවෙන් දායක වුවත් එය දරාසිටින ‘ගෘහස්ත ශ්‍රමය’ නොමැතිනම් මගේ ඉරණම කුමක් වන්නට තිබුනේද යන්නයි. ස්ත්‍රියගේ ශ්‍රමයේ භූමිකාව ආර්ථිකමය අර්ථයෙන් අවතක්සේරුවටත්, ලැජ්ජා විරහිත සුරාකෑමටත් ලක්වෙන රටක් වශයෙන් බොහොමයක් පිරිමි සහ ගැහැණු ගෘහස්ත ශ්‍රමයේ සුරාකෑම සුරාකෑමක් ලෙස දකින්නට කැමති දැයි මම නොදනිමි. අත හොල්ලා කෝප්පයක් හෝදන්න අකමැති වාමාංශික පිරිමි මෙන්ම Women on top කියන නරුම කියමන ඇතුලේ සියලු සුරාකෑම් (ලිංගික සහ ආයතනික) වල සමාජ සම්බන්ධතාවන් මුල්ලකට කරන ලිබරල් පිරිමි සහ ගැහැණු දෙපිරිසම මට හමු වී ඇත. නමුත් ‘ගැහැණුන්ගේ වැඩ’ යැයි ලේබල්කරණය වූ සුවිශාල ශ්‍රම පැය ගණනක් අපේ සමස්ත වැටුප් ශ්‍රමය නැත්නම් ‘සුජාත ශ්‍රමය’ උසුලාගෙන සිටින බව පමණක් කිව හැක. ඒ ‘ආදරයේ සුරාකෑම’ නැත්නම් විවාහක න්‍යෂ්ටික සුරාකෑම (හෝ ශ්‍රම බෙදීමේ අංගවිකලත්වය) නොමැතිනම් මේ කිසිවක් මේ ආකාරයෙන් නොපවතිනු ඇත. The Great Indian Kitchen හි කැපෙන එළවළුවක්, හේදෙන පිගානක්, ඉදෙන බතක් ගානේ අපි දකින්නේ මාක්ස්මය අර්ථයකින් නම් අනිවාර්යයෙන් අතිරික්තය සදහා නොව පවත්නා ලිංගික භූමිකාවන් වල ආධිපත්‍යය සහ ඒවායේ විවේකය විදීම සදහා වන සාමුහිකත්වයක්/ එක්ව වැඩ කිරීමක් (co-operation) වශයෙනි.

විසම්මුතිවාදී ආර්ථික විද්‍යාඥයෙක් වෙන හා ජුං චැන්ග් ඔහුගේ විශිෂ්ට කෘතියක් වෙන 23 Things They Dont Tell You about Capitalism කියන කෘතියේ මෙහෙම දෙයක් ලියනවා. දියුණු වෙමින් පවතින රටවල සහ මාධ්‍ය ආදායම්ලාභී රටවල, විශේෂයෙන් ලතින් ඇමරිකානු සහ මැදපෙරදිග කලාපයේ ගෘහස්ත ශ්‍රමික අගය (වැටුපට වැඩ කරන) දියුණු රටවල අගයට වඩා ඉතා විශාල අගයක් වන බවයි. මේ දත්ත පැරණි වුවත්, ඔහු පවසන්නේ සාමාන්‍යයෙන් බ්‍රසීලයේ සහ ඊජිප්තුවේ මේ අගයන් සමස්ත ශ්‍රම බලකායෙන් 7%-8%වන අගයක පවතින බවයි. මේ අදහස ඔහු ගෙන ඒමට ප්‍රධාන හේතුවක් වන්නේ දියුණු ධනේශ්වර රටවල, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ 1870-1900 වැනි කාල පරාසයක් පුරා වැටුප් ගෘහස්ත ශ්‍රමිකයන්ගේ අගය නිශ්චිතව 2000 න් පසු අඩු සංවර්ධිත සහ මාධ්‍ය ආදායම්ලාභී ඇතැම් රටවල ගෘහස්ත ශ්‍රමිකයන්ගේ අගයට සමාන වූ බවයි. එනම් ඒ අගය 7%-8% තරම් වූ විශාල අගයක් වූ බවයි. එසේනම් සමස්තයක් වශයෙන් දියුණු රටවල ගෘහස්ත ශ්‍රමය මෙවැනි මාරු වීමකට ලක්වුයේ කෙසේද?

චැන්ග් කාව්‍යමය ආකාරයකින් කියන්නේ ‘අන්තර්ජාලයට වඩා රෙදි සෝදන යන්ත්‍රය ලෝකය වෙනස් කළ බවයි’. එදිනෙදා ගෘහස්ත ශ්‍රමයෙන් 50%-60% කට වැඩි ප්‍රමාණයක් යන්ත්‍ර සහ තාක්ෂණය හරහා ඉටුකර ගැනීමේ හැකියාව විසින් ගෘහස්ත වැටුප් ශ්‍රමිකයන්ගේ අගය වේගයෙන් පහල වැටුනාක් මෙන්ම සාමානය ඇමරිකානු පවුල් කිසිවකට තමගේ වැඩ කරගැනීමට අනුන්ගේ ශ්‍රමය කුලියට ගැනීමේ ආර්ථික හැකියාවක් මේ වන විට නැත. අවම වැටුප් සහ පරිභෝජන ණය හරහා වැටී ඇති මේ මාතෘකාව වඩා පළල් සහ ආනුභාවිකව අධ්‍යයනය කළ යුතු කාරණයකි. පන්ති චලනය මෙන්ම පුද්ගලික දේපළ ක්‍රමය විසින් ගොඩනගා ඇති සංහතික අසමානුපාතිකතාව (Mass dispropotionality) සහ දෘශ්‍යමානයේ පාරාන්ධතාව (Blindness of appearence) සංයුක්තව අධ්‍යයනය කළ යුත්තේ ශ්‍රමයේ සහ ලාභයේ මේ චලනය තේරුම් ගැනීමටත්, ඒ අර්ථයෙන් ප්‍රාග්ධනය විරෝධී දේපාලනයකට මාවත විවර කර ගැනීමටත්ය. (සමාජ පන්තිය යන්න ඉතා විහිලු සහගත ලෙස ප්‍රතික්ෂේප කරන බුද්ධිමතුන් සිටින රටක ජිවත් වෙන දේශපාලන සිහිකල්පනාව තියන අයට විද්‍යාත්මක කියවීම් සහ හැදෑරීම වලට නැවත යන ලෙස පමණක් ඉල්ලමි).

චැන්ග් මතු කරන තාක්ෂණය විසින් වැටුප් ගෘහස්ත ශ්‍රමය විතැන් කිරීම අසමාන සංවර්ධන න්‍යාය (Theory of uneven development) තුළ විග්‍රහ කරන විට එය යම් මට්ටමකට අර්බුධයට යනවා පමණක් නොව ධනවාදය විසින් අනිවාර්ය වශයෙන් සංවර්ධනය සහ පහසුව වෙනුවෙන් ලෝක තලයේ ශ්‍රම බෙදීම තුල අසංවර්ධනය සහ අපහසුව ගොඩනගන්නේ කෙසේද යන පැනයට පිළිතුරු හමුවේ. කැමැති කෙනෙක් කියවා බලන්න ඔන්ලයින් ස්ලෙව් මාර්කට් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මැද පෙරදිග ගෘහස්ත ශ්‍රමික ස්ත්‍රීන් නැවත ඔන්ලයින් ඇප් එකක් හරහා ද්විතීයික ගැනුම්කරුවෙක්ට විකිනෙන්නේ කෙසේද සහ ඇපල් ඇප් ස්ටෝර් සහ ගූගල් ප්ලේ ස්ටෝර් මේ ක්‍රියාවලිය දැන දැනත් ඉතා දිගු කාලයක් මේ මාර්කට් ඇප් තමාගේ අඩවි වලින් ඉවත් නොකර සිටියේ ඇයි ද? යන ‘සුරාකෑමේ අලුත් තාක්ෂණය’ ගැන ප්‍රශ්නයක් අප හමුවේ ඉතිරි වේ. (https://m.youtube.com/watch?v=Qxz-vmbFXd4)

නැවත, The Great Indian Kitchen චිත්‍රපටයට අවොත් ස්ත්‍රියක් මාස්ශුද්ධිය හරහා ගමන් කරනවිට ඇගේ ‘කිලිටි ශ්‍රමය’ හිලව් කරන්නේ තවත් ස්ත්‍රියකගේ වැටුප් ශ්‍රමයෙන් හෝ සංස්කෘතික ශ්‍රමයේ තවත් එක් දායකයෙකුගෙන්, එනම් පවුලේ තවත් එක් නෑ ස්ත්‍රියකගෙන්. තවත් විටක ශ්‍රමය සදහා වන සියලුම පෙර පුහුණුවීම් සහ හීලෑ කිරීම් සිද්ධ වන්නේ අන්තර්ජාලය සහ දුරකථනය හරහා. මේ අපේ ජිවිත වල ශ්‍රමයේ මොහොත. ‘වැඩ ඇරී වැඩට යති ගැහැණු’ නිමේෂය.

කෙනෙක්ට පොඩි පරීක්ෂාවක් කරලා බලන්න පුළුවන් වසංගත කාලය තුළ ගෙවල් වලට වෙලා ඉන්න අතර තුර ලෝකයේ අලුතින් ආරම්භවූ යූටියුබ් නාලිකාවල ස්වභාවය සහ ඒවා ආරම්භ කළ ගැහැනුන් සහ පිරිමින් කරන දේවල ශ්‍රම බෙදීම ගැන. මා පුද්ගලිකව දන්නා හදුනන කිහිප දෙනෙක් අතුරින් පිරිමි ගේම් ප්ලේ, ක්‍රීඩා විස්තර විචාර සහ ප්‍රෑන්ක් චැනල් පටන් ගත් අතර ගැහැණු කුකින්ග්, ෆැෂන් සහ බොඩි කෙයාරින්ග් චැනල් පටන් ගත්හ (Outliers විශාල ප්‍රමාණයක් නැති බව මින් නොකියවේ). මේ කිසි දෙයක් බැලු බැල්මට දුෂ්ට වැඩ නොවේ නමුත් දුෂ්ටකම වන්නේ මේවා තේරීමේදී ව්‍යුහාත්මකව සහ ආත්මියව අපි එකිනිකා මත ඇති කරගන්නා පීඩනයත් නිශ්ශබ්ද අනුමැතියත්.

වැඩි දෙයක් උවමනා නෑ බලන්න ඔබ කලින් තේ බීපු කෝප්පේ හෝදලාද කියලා.

උපුටා ගෙන පල කිරීම: http://Kalpa Rajapaksha

 47 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *