පිනෝෂේගේ ඒකාධිපති හස්තයේ ගොදුරක් වූ වික්ටර් හාරා

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා විසිනි

වික්ටර් හාරාගේ ගීත මා මුලින්ම ඇසුවේ මීට වසර 30කට පමණ ඉහත ආචාර්ය සුනිල් විජේසිරිවර්ධයන් වික්ටර් හාරාගේ ගීත  අප පිරිසක් හමුවේ ගායානා කළ අවස්ථාවකදීය.. එම ගීත සමුච්ඡයෙන් මහත් ආස්වාදයක් ලද මම ඔහුගේ ගීත ඇසීමේ පිපාසයෙන් පෙලුනෙමි. අද මෙන් යූ ටියුබ් වැනි මාධ්‍ය නොතිබි ඒ කාලයේ විදේශයක සිටින මගේ මිත්‍රයකු  ලවා ඔහුගේ ගීත ඇතුළත් කැසට් පටයක් ගෙන්වා ගෙන දිනපතා රසවින්දෙමි. අදටද ඔහුගේ ගීතවලට මා ප්‍රිය කරන අතර මේ ඔහු පිළිබඳ විවරණයකි.

වික්ටර් හාරා නමින් ලොව පුරා ජනතාව හඳුනාගෙන සිටි වික්ටර් ලිඩියෝ හාරා මාටිනෙස් ගුරුවරයකු, නාට්‍යවේදියකු, කවියකු, ගීතරචකයකු, ගායකයකු හා සමාජ ක්‍රියාධරයකු වශයෙන් ප්‍රකටව සිටියේය. 1932 සන්තියාගෝහි ලොන්ක්යෙන් නම් පිටිසර ගම්මානයේ උපත ලද වික්ටර්ගේ පියා මැනුවෙල් හාරා වූ අතර මව අමන්ඩා මාටිනෙස් වූවාය. මැනුවෙල් වතුයායක සේවකයකු වූ අතර ලද ආදායම දරු පවුල නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් නොවිණි. තම දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමට මැනුවෙල් එතරම් උනන්දු නොවූ අතර ඔහුට අවශ්‍ය වූයේ කුඩා කළ සිටම ඔවුන් කීයක් හෝ උපයා පවුලේ නඩත්තුවට උපකාර කරනු දැකීමය. කුඩා වික්ටර් අවුරුදු හයේ සිට ශ්‍රමිකයකු බවට පත් විය. මැනුවෙල් හා පවුල අතර එතරම් යහපත් සබඳතාවක් නොපැවතිය අතර සුරා සොඬකු වූ මැනුවෙල් බිරිය හා දරුවන් හැර ගියේය.

අමන්ඩා ස්වෝත්සාහයෙන් පියානෝව හා ගිටාර් වාදනය හදාරා තිබුණාය. දරු පවුල රැක ගැනීම සඳහා ඇය විවාහ මංගල හා වෙනත් උත්සවවල සාම්ප්‍රදායික ජනගී ගායනා ඉදිරිපත් කළාය. කෙසේ හෝ තම දරුවන්හට අධ්‍යාපනය ලබා දීම ඇයගේ අරමුණ වූයේය. ජන ගීයට වික්ටර් ඇලුම් කරන්නට වූයේ මවගේ ආභාසයෙනි.
වික්ටර් 15 වන වියට එළඹෙද්දී ඇමන්ඩා ජීවිතයෙන් සමුගත්තාය. පූජකයකු වීමේ අරමුණ ඇතිව ඔහු දෙව්සත්හලට ඇතුළත් වුවද දේව සංකල්පය පිළිබඳ විශ්වාසයක් නොවූ බැවින් මඳ කලකට පසු ඔහු ඉන් ඉවත් වූයේය. කෙටි කලක් හමුදා සේවයේ නිරත වූ ඔහුට ජන සංගීතය පිළිබඳව හැදෑරීමට හා වේදිකා නාට්‍ය නිර්මාණය සඳහා ඇල්මක් ඇති විය. ලතින් ඇමෙරිකානු රටවල ජනගී සම්ප්‍රදායයන් හැදෑරූ ඔහු ‘නුඑවා කැන්සියොන් චිලිනා’ නම් ලතින් ඇමෙරිකානු ජන ගී රැක ගැනීමේ ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබා ගත්තේය. වේදිකා නාට්‍ය කණ්ඩායම සාමාජිකයකු වශයෙන් ද ඔහු කටයුතු කළේය.

චිලී විශ්වවිද්‍යාලයේ ගායනා කණ්ඩායමේ සාමාජිකයකු වීමට ඔහුට අවස්ථාව හිමි වූයේ තම නාට්‍ය කණ්ඩායමේ සිටි මිතුරකුගේ උපකාරයෙනි. එයට සම්බන්ධ වීමෙන් පසු විශ්වවිද්‍යාල නාට්‍යවල රඟපෑමේ අවස්ථාවද ඔහුට හිමිවිය. ඔහුගේ දස්කම් දුටු විශ්වවිද්‍යාලය වික්ටර්හට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කළේය. විවිධ සමාජීය තේමාවන් ඔස්සේ නාට්‍ය පිටපත් රචනයේ යෙදුණු ඔහු රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ ‘ලෝවර් ඩෙප්ත්ස්’ නමැති නාට්‍ය විශ්වවිද්‍යාලයේ රංග ගත කළේය.

ඔහුගේ නිර්මාණ චිලියේ තරුණ පරපුර මහත් භක්ත්‍යාදරයෙන් වැලඳ ගති. වාමාංශික දේශපාලනඥයකු වූ සැල්වදෝර් අයියන්දේ හාරාගේ නිර්මාණ අගය කළ සුවිශේෂි චරිතයක් විය. කියුබාවේ සහ සෝවියට් දේශයේ ගායන ප්‍රසංග ඉදිරිපත් කිරීම සඳහා සංචාරයක නිරතවීමට වික්ටර්ට අවස්ථාව ලැබිණි. සාර්ථක සංචාරයක් නිමකර යළි පැමිණි හාරා චිලියේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ විය.

හාරාගේ ගීත රැසකට පාදක වූයේ ලතින් ඇමෙරිකානු ජනතාවගේ දරිද්‍රතාවයි. ඔහු චිලි රජයේ මර්දනකාරී ක්‍රියාවලට එරෙහිවද ගීත ගායනා කළේය. 1969 එවක පැවැති දක්ෂිණාංශික රජයේ අනුදැනුම මත පුවෙර්ටෝ මොන්ටි නගරයේ ජනතාවට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පාමින් ඔහු ගැයූ ගීතය හේතුවෙන් දක්ෂිණාංශික මැර ප්‍රහාරයකට මුහුණ පෑමට ඔහුට සිදු විය. ඔහුගේ ගීත ලතින් ඇමෙරිකානු රටවල බෙහෙවින් ප්‍රචලිත විය.

1970 චිලියානු ජනාධිපතිවරණයට ‘පොපියුලර් යුනිටි ව්‍යාපාරයේ’ අපේක්ෂකයා වූයේ සැල්වදෝර් අයියන්දේය. එම ව්‍යාපාරයේ තේමා ගීතය වූ වෙන්සෙරමොස් (අපි ජය ගන්නෙමු) නම් ගීතය රචනා කොට ගායනා කරනු ලැබුවේ වික්ටර් හාරා විසිනි. වික්ටර් හා ඔහුගේ බිරිය වූ ජෝන් හාරා එවක රට පුරා පැතිර ගිය සංස්කෘතික පුනරුදයේ පෙරගමන්කරුවෝ වූහ. එම වකවානුවේ හාරා චිලියේ කාර්මික විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කළේය. තම සමාජවාදී නායකයාට සහය පළ කෙරෙන සංස්කෘතික වැඩසටහන් රැසක් ඔහුගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. නොබෙල් ත්‍යාගලාභී චිලියානු කවියකු වූ පැබ්ලෝ නෙරූදාගේ කවිවලට තනු යොදා ගීත ලෙස සමාජයට තිළිණ කරන්නට ඔහු උත්සුක විය.

ගායකයකු හා කොමියුනිස්ට් පාක්ෂිකයකු ලෙසින් හාරා ජනතා ගෞරවයට පාත්‍ර වී සිටියේය. ගායකයකු මෙන්ම දේශකයකු ලෙසින් සැල්වදෝර් අයියන්දේගේ ප්‍රචාරක වේදිකාවට එක්වූ හාරා ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා සුවිශේෂි දායකත්වයක් ලබා දුනි. සැල්වදෝර් අයියන්දේ ජනාධිපතිවරණයෙන් ජයගත් අතර හාරා ඔහු වෙනුවෙන් දිගටම පෙනී සිටියේය.

සැල්වදෝර් අයියන්දේ තමන්ට විශාල තර්ජනයක් ලෙසින් පරාජිත දක්ෂිණාංශිකයෝ වටහා ගත්හ. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහය ඇතිව අයියන්දේට එරෙහි කුමන්ත්‍රණයක් මෙහෙයවීමට ඔවුහු පියවර ගත්හ. 1973 සැප්තැම්බර් 11 වැනි දින චිලී හමුදාව විසින් කුමන්ත්‍රණය මෙහෙයවන ලද අතර එයට නායකත්වය ලබාදෙනු ලැබුවේ ජනරාල් ඔගස්ටෝ පිනෝෂේ විසිනි. හමුදාව ජනාධිපති අයියන්දේ ඝාතනය කරන ලද අතර ඔහුට සහය දැක්වූ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළහ. එම රැයේ හාරා විශ්වවිද්‍යාලයේ තම හිතවත් ආචාර්යවරුන් පිරිසක් හා සාකච්ඡාවක නිරතව සිටි අතර රැයේ සිදු වූ කුමණ්ත්‍රණය පිළිබඳ කිසිවක් දැන සිටියේ නැත.

සැප්තැම්බර් 12 වැනිදාට පහන් විය. හමුදා භට කණ්ඩායමක් විශ්වවිද්‍යාලයට කඩා වැදී හාරා ඇතුළු ආචාර්යවරුන් පිරිසක් අත්අඩංගුවට ගත්හ. පිරිස රැගෙන ගියේ චිලී ක්‍රීඩාංගණය වෙතය. ඒ වන විට දහස් ගණනක් අත්අඩංගුවට පත්ව එහි රඳවා තිබිණි. සොල්දාදුවන් පිරිසක් හාරා අමානුෂික වධබන්ධනවලට ලක් කළහ. ඔහුගේ අත පය කඩා දැමූ ඔවුහු අවසානයේ හිසට වෙඩි තබා මිය යමින් සිටි ඔහුගේ සිරුරට තවත් වෙඩි උණ්ඩ 44ක් එල්ල කළහ. ඉන් අනතුරුව ක්‍රීඩාංගණයේ රඳවාගෙන සිටි තවත් පුද්ගලයන් විශාල පිරිසක් ඝාතනය කළහ. වික්ටර් හාරාගේ බිරිය වූ ජෝන් හාරා ක්‍රීඩාංගණයට පැමිණ තම සැමියාගේ සිරුර හඳුනා ගත්තාය.

ඔහුගේ අවමංගල්‍ය කටයුතු ඉතා චාම් අයුරින් ඉටු කළ ඈ ජීවිතාරක්ෂාව පතා රටින් පලා ගියාය. හාරා මිය යන්නට පෙර චිලී ක්‍රීඩාංගණයේ රඳවනු ලැබ සිටි සිරකරුවන්ගේ ඛේදවාචකය අළලා කවි පෙළක් ලියා එය එහි සිටි තම මිතුරකුගේ සපත්තුවක සඟවා තිබිණි. වාසනාවකට මිතුරාට දිවි ගලවා ගත හැකි වූ අතර ඔහු වික්ටර්ගේ කවිය ප්‍රසිද්ධ කළේය. නමක් සඳහන් නොවූ එම කවිය ජනතාව අතර ප්‍රචලිත වූයේ ‘එස්ටාඩියෝ චිලී’ (චිලී ක්‍රීඩාංගණය) නමිනි.

හාරා ඝාතනයෙන් හතළිස් වසරකට පසු එම ඝාතනයට වගකිවයුතු හමුදා නිලධාරීන් නීතිය හමුවට ගෙන ඒමට පසු කාලයේ බිහිවූ රජය පියවර ගත්තේය. 1973 කුමණ්ත්‍රණයට නායකත්වය දුන් ඔග්ස්ටෝ පිනෝෂේ 1990 දක්වා චිලියේ ඒකාධිපති පාලනයක් ගෙන ගියේය. තමා විසින් කෙරුණු කිසිදු අපරාධයකට දඬුවම් නොවිඳි ඔහු 2006 දෙසැම්බර් 10 වැනි දින මරණයට පත් විය.

චේ ගුවේරා මෙන්ම වික්ටර් හාරාදා සැමදා මිනිසුන්ගේ හදවත්හි නොමැකෙන චරිතයක් බවට පත්ව තිබේ.

Víctor Lidio Jara Martínez (Spanish pronunciation:(September 28, 1932 — September 16, 1973) was a Chilean teacher, theatre director, poet, singer-songwriter, political activist and member of the Communist Party of Chile. A distinguished theatre director, he devoted himself to the development of Chilean theatre, directing a broad array of works from locally produced Chilean plays, to the classics of the world stage, to the experimental work of Ann Jellicoe. Simultaneously he developed in the field of music and played a pivotal role among neo-folkloric artists who established the Nueva Canción Chilena (New Chilean Song) movement which led to a revolution in the popular music of his country under the Salvador Allende government. Shortly after the Chilean coup of 11 September 1973, he was arrested, tortured and ultimately shot to death with 44 bullet shots by machine gun fire. His body was later thrown out into the street of a shanty town in Santiago. The contrast between the themes of his songs, on love, peace and social justice and the brutal way in which he was murdered transformed Jara into a symbol of struggle for human rights and justice across Latin America.

(මෙම ලිපිය ඇතුළු තවත් මෙවැනි ඝාතන පිළිබඳව ඉදිරියේදී දයාවංශ ජයකොඩි සමාගම මගින් ඉදිරි කාලයේ එළිදැක්වීමට නියමිත මා විසින් රචිත ‘ලොව සසල කළ දේශපාලන ඝාතන‘ නමැති කෘතියෙන් ඔබට කියවන්නට හැකි වනු ඇත.)

වික්ටර් හාරාගේ ගීත මෙම ලින්ක් එකෙන් අහන්න
https://youtu.be/WSg53srhQyQ

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 30 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *