“මම හිතනවා ඔබත් මමත් එකම මතයකින් වැඩ කරනවා කියලා” – සී.වී. විග්නේශ්වරන්.

වෙනම ජාතියක් ලෙස සැලකීමට අවශ්‍ය සියලු ලක්ෂණ ද්‍රවිඩයන් වන අප සතුව ඇත.

ඔහු කනගසභාපති විශ්වලිංගම් විග්නේශ්වරන් හෙවත් හැමෝම දන්නා සී.වී. විග්නේශ්වරන්ය. ඔහු 2013 දී උතුරු පළාතේ මහඇමති ධුරයට පත්විය. මේ වන විට ඔහු යාපනයේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දෙමළ මක්කල් තේසීය කූටනිහි (දෙමළ මහජන ජාතික සන්ධානයේ- TMTK) නායකයා ලෙසත් දෙමළ මක්කල් කූටනිහි (දෙමළ මහජන සන්ධානයේ-TMK) ප්‍රධාන ලේකම්  ලෙසත් කටයුතු කරයි.

1939 ඔක්තෝබර් 23 වන දින උපත ලැබූ ඔහු සිය මුල් ජීවිතය සිය පවුලේ අය සමඟ කුරුණගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල ගත කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සිංහලයන්, මුස්ලිම්වරුන් සහ අනෙකුත් ප්‍රජාවන් සමඟ ඉතා සමීප සබඳතා ගොඩනඟා ගැනීමට ඔහුට හැකි විය.

තරුණ විග්නේශ්වරන් 1951 දී කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. ඔහු ශිෂ්‍ය නායකයකු විය. එසේම පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයෙකු ලෙස සිය පුහුණුව දියතලාවේ දී අවසන් කළේය. එපමණක් නොව ඔහු ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර දෙමළ විවාද කණ්ඩායමේ නායකයා ද විය.

1960 දී විග්නේශ්වරන් ලංකාවේ නීති විද්‍යාලයට ඇතුළු වී 1962 සිට 1963 දක්වා කාලය තුළ නීති ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට ද පත්විය. ඔහු 1964 දී නීතිඥයකු ලෙස සමත්වූ අතර 1971 සිට ලංකාවේ නීති විද්‍යාලයේ දෙමළ භාෂාවෙන් පළමු වරට නීතිය පිළිබඳ දේශන පැවැත්වීය. ඔහු නීතිවේදී උපාධිය මෙන්ම ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියද සමත් වූවෙකි.

1979 දී අධිකරණ සේවයට බැඳුණු ඔහු මහේස්ත්‍රාත්වරයකු හා  දිසා විනිසුරුවරයෙකු ලෙස උතුරු සහ නැගෙනහිර පලාත්වලත් පසුව කොළඹ දිස්ත්‍රික් විනිසුරුවරයෙකු ලෙසත් සේවය කළේය. ඔහුව 1988 දී මහාධිකරණයට ද පසුව 1995 දී අභියාචනාධිකරණයට ද අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ද පත් කරන ලද අතර 2004 දී සේවයෙන් විශ්‍රාම ගත්තේය.

වසර පහළොවක් මුළුල්ලේ ඔහු කොළඹ කම්බන් කළාගම් ආයතනයේ අනුග්‍රහකයා ලෙස කටයුතු කරයි. එමෙන්ම දමිළ සාහිත්‍ය පිළිබදව දමිළ හා ඉංශ්‍රිසි භාෂාවෙන් පොත් එළිදක්වා ඇත. තවද හින්දුවාදය, ඉතිහාසය සහ නීතිය පිළිබද විවිධ දේ පළකර ඇත.

පැරිසියේ සෝර්බෝන් විශ්ව විද්‍යාලයේ සේවය කරන සමන්ත රාජපක්ෂ සමාජ හා වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකි. ඔහු ප්‍රංශයේ රාජ්‍ය අංශයේ අධ්‍යාපන වෘත්තීය සමිතියේ (CGT) ක්‍රියාකාරී සාමාජිකයෙක් වන අතර ඔහු “වමේ හඩ” වෙනුවෙන් දේශපාලනිකව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ව ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ වර්තමාන තත්වය කෙටියෙන් පැහැදිලි කළ හැකිද?

ද්‍රවිඩයන් යනු ඉපැරණි ජන වර්ගයක්. ශ්‍රී ලංකාවේ මුල් වැසියන් දෙමළ කතා කළ අයයි. ආරම්භය් දී. සයිවාවරු මුළු දිවයිනම අල්ලා ගත්හ. උතුරේ කිරිමාලෙයි ඇති නගුලේස්වරම්,  මන්නාරම් දිස්ත්‍රික්කයේ තිරුකේතීශ්වරම්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරුකෝනේස්වරම්, හලාවත මුන්නේශ්වරම් සහ දෙවුන්දර තොන්ඩේශ්වරම් යන ප්‍රාග්ඓතිහාසික ශිව දේවාල මෙම දූපත් ජනතාවගේ මුල් ආගම ශිව ආගම වූ බව තහවුරු කරයි. පාණ්ඩ්‍යයන්, පල්ලවයන්, චෝලයන් සහ වෙනත් අය විසින් කළ ආක්‍රමණ නිසා ශ්‍රී ලංකාවේ මුල් දෙමළ ජනයාගේ සංඛ්‍යාව ඉහළ ගියේය. දකුණේ සිංහල ආණ්ඩු දෙමළ ජන සංයුතිය අඩු කිරීම සදහා  දෙමළ ජනතාව සිටින පෙදෙස්වල බලහත්කාරයෙන් සිංහල ජනපද ඉදිකිරීමට කටයුතු කළද දෙමළ කතා කරන ජනතාව  උතුරු හා නැගෙනහිර පළාත්වල බහුතරය වේ. එහෙත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනපදකරණය සහ ඉඩම් කොල්ලය තවමත් පවතී.

ලංකාවේ පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 (2) ව්‍යවස්ථාව ඉවත් කරමින් සිංහල නායකයින් බ්‍රිතාන්‍ය සහ දෙමළ කතා කරන ජනතාව රවටා ඇති අතර දෙමළ කතා කරන්නන් යටත්ව තබා ගැනීම සඳහා මුළු දිවයිනේම ආණ්ඩුවේ පාලනය ක්‍රියාත්මක කර තිබේ. යුද්ධයෙන් වසර 12 කට පසුව පවා ඔවුන් උතුරු හා නැගෙනහිර වාඩිලාගෙන සිටින හමුදාවක් තබාගෙන සිටිති. අපේ සම්පත් අත්පත් කර ගෙන ඇති අතර, අපේ ඉඩම් උදුරාගෙන සිංහල කතා කරන අයට ලබා දී ඔවුන් බුදු දහමට බලහත්කාරයෙන් හරවා ගනිමින් සිටිති. හමුදාව රජයේ ඉඩම් අක්කර 60000 කට වැඩි ප්‍රමාණයක් සහ පෞද්ගලික ඉඩම් අක්කර 3000 කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගෙන ඇත. එම පෙදෙස්වලට විවිධ කඩතුරාවන් යටතේ සම්බාධක පනවා ඇත. ද්‍රවිඩයන් රජයේ සේවයට බඳවා ගැනීම අඩු කර ඇත. විරැකියාව බහුලය. උතුරු හා නැගෙනහිර පොලිසිය දෙමළ නොවන අය වන අතර පැමිණිලි පළමුව සිංහලෙන් සටහන් කර පසුව පරිවර්තනය කර ඇත. මා මහඇමතිව සිටියදී උතුරු  නැගෙනහිර යුද්ධයෙන් පසුව දෙමළ ජනතාවගේ නිසි අවශ්‍යතා තක්සේරු කර ආර්ථික සැලසුම් සකස් කරන ලෙස දිගින් දිගටම මධ්‍යම රජයට කළ ඉල්ලීම් නොතකා හැර ඇත. උතුරු හා නැගෙනහිර අධ්‍යාපනය සඳහා  ලබා දී ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය. අනෙක් ක්ෂේත්‍රවද මේ තත්වයමය. ජාතියක් ලෙස දෙමළ කතා කරන ජනතාවට ඔවුන්ගේ සාම්ප්‍රදායික නිජබිම තුළ ඔවුන්ගේ පරිපාලනය පිළිබඳ පාලනයක් නොමැත. අපි වහල් ජාතියකි.

ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද පළමු දෙමළ දේශපාලන පක්ෂය වන්නේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයයි. දැන් ලියාපදිංචි දේශපාලන පක්ෂ 20 කට වඩා තිබේ. දෙමළ ජනතාව අතර මෙම බෙදීම ඔබ දකින්නේ කෙසේද?

දෙමළ ජාතිකයන් වන අප ප්‍රජාතන්ත්‍රවාදය බැරෑරුම් ලෙස සලකන බව එයින් පෙන්නුම් කරයි. ආධිපත්‍යය දැරීමට හෝ පවරා ගැනීමට පුද්ගලයෙකුට හෝ පක්ෂයකට අයිතියක් දී නැත. එය කුමක් වුවත්, මෙම පක්ෂ බොහොමයක් අතර ප්‍රතිපත්ති හා අරමුණ අනුව විශාල වෙනසක් නොමැත. සමස්තයක් ලෙස ප්‍රජාවට බලපාන පොදු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම පාර්ශවයන් එකට වැඩ කිරීමේ අවශ්‍යතාවය මම පිළිගනිමි. නිදසුනක් වශයෙන්, නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී එක්ව කටයුතු කළ යුතුය.

ඔබ දෙමළ මක්කල් තේසීය කූටානි (TMTK) හි නායකයා ය. එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ඔබේ උපාය මාර්ගය අපට පැහැදිලි කළ හැකිද?

මෙය සාක්ෂාත් කර ගැනීමේ බලය පවතින්නේ ‘සත්‍යය’ තුළ ය. මේ රටේ සැබෑ ඉතිහාසය ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් කළ යුතුයි. දෙමළ ජනතාව සිංහල ජනයාගේ සැබෑ ඉතිහාසය දැනගත යුතුය. සිංහල ජනතාව දෙමළ ජනතාවගේ සැබෑ ඉතිහාසය දැන සිටිය යුතුය. මම මේ දිනවල මට හැකි පමණින් මෙය කරමින් සිටිමි. ඒ හා සමානව, යුද්ධයේ අවසාන කාලයේදී සිදු වූ දේ පිළිබඳ සත්‍ය තත්වය සිංහල ජනතාව දැනගත යුතුය. යුද්ධයෙන් කීදෙනෙක් මිය ගියාද, යටත් වූ ජනතාවට සහ සටන්කාමීන්ට සිදු වූයේ කුමක්ද යන්න සිංහල ජනතාව දැනගත යුතුය. ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ එබැවිනි. අපි කිසිවෙකු එල්ලා මැරීමේ අරමුණින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා නොසිටිමු. සිංහල හෝ දෙමළ ජනතාව සත්‍යය දැන සිටිය යුතුය. සිංහල ජනයාට සත්‍ය වසන් කිරීමෙන් අපට ප්‍රතිසන්ධානයක් සෙවිය නොහැක. සංහිඳියාව සඳහා මාවත ‘සත්‍යය’ ය. සත්‍යය යටපත් කර ඒ වෙනුවට අසත්‍යයන් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන බලවේග ඇත. අප්රේල් 21 ඛේදවාචකය සම්බන්ධයෙන් වුවද සත්‍යය එළියට පැමිණිය යුතුය. සත්‍යය හෙළි කරගැනීමට ස්වදේශීකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට උපකාර කිරීම අපගේ උපාය මාර්ගයයි.

1948 නිදහසින් පසු, පසුගිය අවුරුදු 73 කට ආසන්න කාලයක් තිස්සේ දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් සිටියා. පසුගිය මැතිවරණයෙන් පසු දෙමළ ජනයාට කේවල් කිරීමේ බලය අහිමි වී තිබේ. අනාගතයේදී ඔවුන්ගේ දේශපාලන අරගලය ඔබ දකින්නේ කෙසේද?

පසුගිය මැතිවරණයෙන් දෙමළ ජනතාවගේ කේවල් කිරීමේ බලය අහිමි වී ඇති බවට කරන ප්‍රකාශය මම පිළිගන්නේ නැත. යහපාලනය පැවති සමයේ දෙමළ ජනතාව වෙනුවෙන් ඔබ පවසන කේවල් කිරීමේ බලය දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට උපකාරී වූවාද? වරෙක දෙමළ ජනතාවට විශාල කේවල් කිරීමේ බලයක් තිබූ බවට සැකයක් නැත. නමුත් අපි එම ප්‍රතිලාභය ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා භාවිතා නොකළෙමු. කෙසේ වෙතත්, පක්ෂ වැඩි වීම හේතුවෙන් අපගේ කේවල් කිරීමේ බලයක් අඩු වී අතැයි රජය හෝ ඕනෑම කෙනෙකු සිතීම වැරදිය. අපගේ ශක්තිය පවතින්නේ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත දෙමළ ජනයා සමඟ ය. ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම මාර්ගයෙන් අපි ඔවුන්ගේ සහයෝගය නිසි ලෙස භාවිතා කරන විට, නැතිවූ කේවල් කිරීමේ බලය ලෙස ඔබ හඳුන්වන දේ අපට නැවත ලබා ගත හැකිය. ඒ හා සමානව, අප අපගේ දැනුම හා ආර්ථිකය ඥානාන්විතව භාවිතා කරන විට, අපගේ කේවල් කිරීමේ බලය නැවත ලබා ගත හැකිය. ලොව පුරා සිටින අපගේ ඩයස්පෝරාවට අපව නැවත ගොඩනැංවීමට විශාල අවස්ථාවක් ඇති බව අප අමතක නොකළ යුතුය. දේශපාලනය හා ආර්ථිකය තුළ අප නව්‍ය ලෙස සිතමින් ක්‍රියා කරන්නේ නම් අපට විශාල කේවල් කිරීමේ බලයක් ලබා ගත හැකිය. රජය අපට පීඩා කරන තරමට අපගේ කේවල් කිරීමේ බලය වැඩි වන බව යථාර්ථයයි. අපගේ දේශපාලන අරගලය අපගේ ඩයස්පෝරාව සහ අපගේ දෙමළ කතා කරන ලාකිකයන් අතර සම්බන්ධීකරණය කළ යුතුය.

ඔබගේ දෘෂ්ටි කෝණයෙන් ස්වයංනිර්ණය හා වෙන්වීමේ අයිතිය පිළිබඳව අදහස කුමක්ද?

පුතා වයසට යන විට විවාහ වී මහගෙදර තුළ වෙනම ජීවත් විය යුතු යැයි තීරණය කළ විට එය ස්වයං නිර්ණයයි. ඔහු මහගෙදරින් වෙන්ව පවුල වෙනත් තැනකට ගෙන යාමට තීරණය කළ විට එය බෙදුම්වාදයයි.

දෙමළ සහ මුස්ලිම්වරුන්ගේ ස්වයං නිර්ණය සමඟ මම එකඟයි. ඔබත් එම ආකල්පයේ සිටිනවාද?

මානව කණ්ඩායම්වල ස්වයං නිර්ණය එවැනි ඒකකවලට ජාත්‍යන්තර නීතිය මගින් ලබා දී ඇති අයිතියකි. වෙනම ජාතියක් ලෙස සැලකීමට අවශ්‍ය සියලු ලක්ෂණ ද්‍රවිඩයන් වන අප සතුව ඇත. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද රොමේෂ් ද සිල්වා කමිටුව ඉදිරියේ අපි ඒකාබද්ධ රාජ්‍ය ව්‍යවස්ථාවක් ඉල්ලා සිටියා. මම හිතනවා ඔබත් මමත් එකම මතයකින් වැඩ කරනවා කියලා.

කුල මානසිකත්වය උතුරු, නැගෙනහිර හා දකුණේ සමාජයට ද ව්‍යසනයකි. මෙම කුල ක්‍රමය අප පිටු දැකිය හැක්කේ කෙසේදැයි පෙන්වන්න?

අධ්‍යාපනය හා ආදරය යනු කුල ක්‍රමය ජය ගැනීම සඳහා වන ආයුධ දෙකයි. අධ්‍යාපනය ජනතාව අතර අවබෝධය ගෙන එනු ඇත. එය අවධාරණය කරනුයේ මිනිසා සමානව උපත ලබා ඇති නමුත් සමාජයේ ඇති බැඳීම් සහ යල් පැන ගිය සම්ප්‍රදායන් අපේ ජනතාවගේ මනස ග්‍රහණය කර ගෙන ඇති බවයි. අපගේ හදවත් තුළ ඇති ප්‍රේමය, අධ්‍යාපනයෙන් අප තේරුම් ගෙන ඇති දේ ඉටු කර ගැනීමට සහ අපගේ බුද්ධිමත් අරමුණු ඉටු කර ගැනීමට බලය ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ මූලික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව හෝ ඉන්දියාව කෙරෙහි ඔබට විශ්වාසයක් තිබේද?

ජාත්‍යන්තර ප්‍රජාව සහ ඉන්දියාව අපේ අයිතිවාසිකම් දිනා දෙනු ඇතැයි මම විශ්වාස නොකරමි. නමුත් ජාත්‍යන්තර ප්‍රජාව සහ ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රිකව හා ඥාණවන්තව හසුරුවන්නේ නම් අපට අපගේ අයිතිවාසිකම් දිනා ගත හැකි යැයි මම විශ්වාස කරමි. මේ සඳහා අපගේ සියලු දේශපාලන පක්ෂ හා දේශපාලන ආයතනවලට උපදෙස් දීම සඳහා බුද්ධිමය කණ්ඩායම් (Think Tanks) සහ විශේෂඥ කමිටු වැනි මූලික ආයතන ගොඩනැඟිය යුතුය.

ශ්‍රී ලංකා වාමාංශික හා සමාජවාදී පක්ෂ කෙරෙහි ඔබට විශ්වාසයක් නැද්ද?

මට තිබුනා. එහෙත්, ජාතිවාදය ඔවුන්ගේ හදවත් සහ මනස පාලනය කර ඇති හෙයින් එම විශ්වාසය දැන්  නැත. ඔවුන් දැන් පොතේගුරුන් පමණි! හදවතින් ඔවුන් සිංහලයන් අතර සිටින වෙනත් අය මෙන් ජාතිවාදීන් ය. වෛරය නොව හදවත් තුළ ආදරය ඇති සිංහලයන් කෙරෙහි මට විශ්වාසයක් ඇත.

තේරී පත් වූ නියෝජිතයෙකු ලෙස ඔබට නිදහසේ කථා කිරීමේ වරප්‍රසාද ඇත. එහෙත් සාමාන්‍ය පුරවැසියන්ට ඇති කතා කිරීමේ නිදහස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මගින් තර්ජනය කරයි. ඔබ ඔබගේ ප්‍රකාශ සහ කථා මගින් රටේ වාර්ගික නොසන්සුන්තාවයන් ඇති කරන බවට චෝදනා එල්ල වී තිබේ. ඔබ සමාදානයට විරුද්ධද?

ඔබ මගේ ජීවිතය දෙස බැලුවහොත් මම සැමවිටම සිටියේ සාමය, සංහිඳියාව සහ සමෘද්ධිය සඳහා ය. මම මීට අවුරුදු පනහකට පමණ පෙර සිට ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටියෙමි. නමුත් ඔබ වැරදි ලෙස නොමග ගොස් සිටින ජාතිවාදීන් සමඟ ගනුදෙනු කරන විට සහ සත්‍යය ඔවුන්ට පවසන විට ඔවුන් මගේ අවංකභාවය පිළිබඳ විකෘති දෘෂ්ටියක් ලබා ගනී. එය මගේ කර්මය විය යුතුය!

සාකච්ඡා කලේ සමන්ත රාජපක්ෂ

 30 total views,  4 views today

One Reply to ““මම හිතනවා ඔබත් මමත් එකම මතයකින් වැඩ කරනවා කියලා” – සී.වී. විග්නේශ්වරන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *