කොරෝනා මර්ධන තහංචි ‘මැයි දිනයට’!

කොරෝනා මර්ධනය කිරීමේ නීති රෙගුලාසි ‘මැයි දින’තහංචියට සුදුසු පරිදි යොදාගැනීමට වත්මන් පාලනය කටයුතු කළේය.එසේ වුවද ලාංකේය කම්කරු ජනතාව නිරෝධායන නීති රීති රැක ගනිමින් මැයිදිනය පැවැත්වීමේ කාර්ය වගකීමකින් ඉටුකිරීමට සමත්විය.

                    c.m.u.රැස්වීම් ශාලාවේ පැවැත්වීමට සූදානම් කළ රැස්වීමට පොලිස් නියෝග හරස් විය. එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීහු වසංගත රෝග නිවාරණ රෙගුලාසි දිගින් දිගටම අවධාරණය කළහ.25 දෙනෙකුට වැඩි පිරිසක් ශාලාවක රැස්වීම වැළැක්වීම,මීටර් 2ක දුරස්ථ සීමාවක් පවත්වාගැනීම එම රෙගුලාසිවලට අයත්විය.අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ පවත්වාගෙන යන බවට සහතික වුවද රැස්වීම පැවැත්වීමට අවසර නොලැබුණි.රැස්ව සිටි පිරිස උද්ඝෝෂණ මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.කම්කරු හා වෘත්තීය සංවිධානවල බැනර්, විරෝධතා පුවරු රැගත් පිරිස එම ස්ථානයට පෙළපාලියකින් ගමන් කළේය.එය කොළඹ නගරයේ පැවති එකම මැයි දින පෙළපාලිය විය.

                විවාහ මංගල උත්සව පැවැත්වීමට සදුදා දිනය දක්වා කල්දී තිබියදී, නිරෝධායන රෙගුලාසි යටතේ පවත්වන කම්කරු  රැස්වීම් වැළැක්වීමට කටයුතු කිරීම කම්කරු අයිතිය  උදුරා ගැනීමකි.බස්රථ හා දුම්රියේදී මෙම නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වන්නේද යන්න ගැන විමසිලමත් විය යුතුවේ.මෙම රෙගුලාසිවලින් බැහැර වූ මැයි දින සැමරුම් හා වෙනත් උත්සව පැවති අන්දම මාධ්‍යයේ දැකගත හැකිවිය.කම්කරු දින රැස්වීම්වලට සහභාගිවන සේවකයින් අනිවාර්යයෙන්ම වැටුප් රහිත දින 14 ක නිරෝධායනයකට යටත් කිරීමේ තර්ජනය වසංගත රෝග නිවාරණයට කිසිසේත් අදාල නොවන්නකි.

            වසංගත රෝග මැඩලීමේ භාවිතය මැයිදිනය එල්ල කරගෙනම සිදුවීම විවාදාත්මක කරුණකි.ආසාදිතයින්හා මරණ සංඛ්‍යාව වැඩිවීම,වහාම පැතිරී යන නව ප්‍රභේදයක්ද හඳුනාගැනීම මෙම උද්වේගකාරී තත්ත්වයට හේතු විය.බ්‍රිතාන්‍යයේ පැතිරී යන මෙම වෛරස් ප්‍රභේදය මෙරට පැතිරීමේ ප්‍රවණතාවක් ඇතැයි වෛද්‍ය අංශ අනතුරු ඇඟවූයේ මීට සති කීපයකට පෙරය.මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග මොනවාද යන්න පිළිබඳව වෛද්‍ය විශේෂඥයෝ ප්‍රශ්න කරති.

                  අලුත් අවුරුදුවලින් අනතුරුව p.c.r.පරීක්ෂණ වැඩිකිරීමක්ද ඒ අනුව වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගැනීමට හැකි වූ බවද මාධ්‍යයේ කියැවුණි.මින් පැහැදිලිවන කරුණ වන්නේ කොවිඩ් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් ඒවනවිටද සමාජය තුල සිටි බවයි.දිගින් දිගටම  p.c.r.පරීක්ෂණ  කළ යුතුයැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ කියා තිබුණද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීමද ප්‍රශ්නගත කරුණකි.

                  වර්තමානයේ මෙවැනි තත්ත්වයක් උද්ගතවුවද, අලුත් අවුරුදු දිනවල වසංගත නිවාරණ රෙගුලාසි නොසළකා හැරුණි,ගම සමග පිළිසදරක් වැඩසටහන නොකඩවා ක්‍රියාත්මක විය.නුවරඑළිය අවුරුදු සැණකෙළිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.අවසානයේ කොරෝනා මැඩලීමේ එකම භාවිතය ‘මැයිදිනය නොපැවැත්වීම’ යන අරමුණ දෙසට යොමු විය.එය පීඩිත ජනතාව වෙතින් වත්මන් පාලනයට එල්ලවන විරෝධතාව යටපත්කිරීමේ කදිම උපායකි. 

 

ප්‍රියන්ත සිල්වා.

 12 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *