සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි. අරගලය දිගටම

මැයි 01, 2021
හිඟුරක්ගොඩ සත්‍යග්‍රහ භූමියේදී.
සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි. අරගලය දිගටම

ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව වන අපි 2021 මාර්තු 08 වන දින හිඟුරක්ගොඩ ගම් උදාව රාජ ස්මාරකය අභියස සියලු ක්ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කරගැනීම ඇතුළු ඉල්ලීම් පහක් මුල් කරගෙන සත්‍යග්‍රහයක් ආරම්භ කළෙමු. අපගේ අරගලයට දින 55ක් පිරෙන මොහොතේ රටේ උග්‍ර වෙමින් පවතින වසංගත තත්වය හමුවේ අප සාමාජිකයින් ඇතුළු පොදු ප්‍රජාවේ සෞඛ්‍යාරක්ෂාව සලකා සත්‍යග්‍රහය තාවකාලිකව නවතා විකල්ප අරගල ක්‍රියාමාර්ග වලට එළඹෙන්නට අපි තීරණය කළෙමු.

සත්‍යග්‍රහය පැවැත්වූ කාලය තුල අපි අත්පත් කරගත් ජයග්‍රහණයන් බොහෝයි. සියලු ක්ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කරනවායැයි පොරොන්දු දෙමින් බලයට පත්වූ ආණ්ඩුව මාර්තු 08 දක්වා සිටි හොර නින්දෙන් අවදි කරගැනීම පමණක් නොව පොදු සමාජය අපගේ අරගලයට සහයෝගය පිණිස එක්සත් කරගැනීමට අපි සමත් වූවෙමු. අප ව්‍යාපාරයේ කොඳු නාරටිය වන පොළොන්නරු දිස්ත්‍රික්කයේ පමණක් නොව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්ෂුද්‍ර මුල්‍ය වින්දිත කාන්තාවන් මෙහෙයවමින් අපගේ සංවිධාන ශක්තිය තර කරගැනීමට අපිට හැකි විය. ශ්‍රී ලංකාව තුල පමණක් නොව දකුණු අසියා කලාපයේ මෙන්ම ලෝකය පුරා සිටින වෘත්තීය සමිති, ගොවියන්, ධීවරයින්, වතු කම්කරුවන්, ශිෂ්‍ය, කාන්තා සංවිධාන කොල්ලකාරී ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරයට එරෙහිව පෙළ ගැස්වීමට හැකිවීමද අපි ලද තවත් ජයග්‍රහණයකි.

ගෙවීමට නොහැකි ණය උගුලක කාන්තාවන් සිරකරමින් ඔවුන්ට කායික-මානසික-ලිංගික හිංසාකරමින් මිනිසුන්ගේ ඉවසීම තවදුරටත් පරික්ෂා කිරීම නොකරන ලෙස අපි මුල්‍ය සමාඟම් වලට අනතුරු අඟවමු. ගෙවීමට නොහැකි ණය අධිකරණය හරහා අයකරගනිමින් ණය ලබාගත් කාන්තාවන් ජීවන මට්ටමෙන් තවත් පහලට ඇද දමමින් මුල්‍ය සමාඟම් ඇති කරමින් සිටින මානුෂීය ව්‍යසනයට එරෙහිව කාන්තාවන් පෙළ ගැස්වීම දිගටම කරගෙන යනබව අපි ඔවුන්ට අවධාරණය කරමු. රටේ මුල්‍ය ක්ෂේත්‍රය නියාමනය කරමින් මුල්‍ය පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට බැඳී සිටින ශ්‍රී ලංකා මහබැංකුව සහ ආණ්ඩුව තමන්ගේ වගකීම පැහැර හරිමින් මුල්‍ය සමාඟම් වලට අත්තනෝමතික ලෙස මිනිසුන් කොල්ලකෑමට ඉඩ සැලසීම පිළිබඳව අපගේ දැඩි විරෝධය පල කර සිටිමු. තවදුරටත් අපව රැවටීමට ලක් කල නොහැකි බවද දේශපාලඥයින්ට මතක් කිරීමට කැමැත්තෙමු.

ශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මක වන මුල්‍ය සේවා අපගේ සංවර්ධන අවශ්‍යතාවයන්ට නිසි ලෙස ආමන්ත්‍රණය නොකරන බැවින් අප විසින්ම, අප උදෙසාම ගොඩ නඟා ගත් සමුපකාරික මුල්‍ය ක්‍රමයක් තුලින් අපගේ ආර්ථිකය පුනර්ජීවනය කරගැනීමට කටයුතු සැලසීම අපගේ ප්‍රධාන ඉදිරි ක්‍රියාමාර්ගයක් වේ. අතිශයින් විනාශකාරී, අශීලාචාර මුල්‍ය සමාඟම් පෝෂණය කරනවා වෙනුවට අපගේ ස්වෛරීභාවය ආරක්ෂාකරමින් පවතින සමාජ-ආර්ථික දේශපාලනික ක්‍රමය අභියෝගයට ලක් කරමින් සැබෑ සමාජ විමුක්තිය සඳහා වන අපගේ අරගලයට එකතු වන ලෙස සියලු ක්ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයින්ට, ප්‍රගතිශීලිත්වය උදෙසා ක්‍රියාකාරිව මැදිහත්වන සියලු සමාජ ක්‍රියාකාරීන්ට, සමාජ බලවේගයන්ට අපි ඇරයුම් කර සිටිමු.

සියලු ක්ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කරනු!

 22 total views,  4 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *