නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සාකච්ජාවට අදහස් කීපයක්…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිම සඳහා ආරම්භක පියවරක් වශයෙන් ජනතාවගෙන් යෝජනා හා අදහස් විමසීමට සකසා ඇති කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී නූතන ලෝකය පිළිගන්නා ජන සහභාගී ක්‍රියාවලිය වෙනුවෙන් කිසි ලෙසකින් ප්‍රමාණවත් නොවන බව ආරම්භයේදීම සටහන් කළ යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ සමාජ අවශ්‍යතාව කවරේද යන්න ගැන හෝ සමාජ කතිකාවකට බඳුන් නොකර යෝජනා හා අදහස් විමසීම බරපතල අඩුවක් යැයි කිව යුතුය. එබැවින් අප ඉදිරිපත් කරන යෝජනා මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් ඉදිරිපත් කරන යෝජනා හා අදහස් දීර්ඝ සමාජ කතිකාවකට තැබීමේ අවකාශයක් මේ කමිටුව මගින් සැපයෙන්නේ නැත. එනිසාම ඉතා ඝෝසාකාරී ජාතිවාදී හා අන්තවාදී කණ්ඩායම් වල බලපෑමට අනුව කටයුතු කිරීමේ අනතුර අපි දකිමු. එය මීට පෙර සිදුවූ අන්දමට සැම වැදගත් කාරණාවකදීම මේ රට අත්දුටු අවාසනාවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යනු හුදු ලේඛණ වාර්තා හෝ තවත් ලියවිල්ලක් පමණක් නොවන අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවන එනම් විවිධ ජන කණ්ඩායම්වල විරෝධතා පෙළපාලි උද්ඝෝෂණ හා වැඩ වර්ජන කිරීමේ අයිතින් ආරක්ෂා කෙරෙන ජාති කුල හා ආගම් භේදයෙන් තොර නිතියේ බලය සැමට එකසමානව ක්‍රියාත්මක වන ගැහැනුන් පිරිමින් සහ වෙනත් ලිංගිකයින්ගේ අවශ්‍යතාවයන් ආරක්ෂා කෙරෙන උත්සාහයක ප්‍රථිපලයක් විය යුතුය.

ලංකාව වැනි දුප්පත් රටවල සමාජ ආර්ථික අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතුව ඇත. එබැවින් එයට ළමා අයිතිවාසිකම් කාන්තා අයිතින් හා ආබාධ සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනස් ලිංගික වර්ණයන් සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් හා වයස්ගත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ පරිසරය සුරැකීමේ අයිතිවාසිකම් ඊට අනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතුව ඇත.

පූර්විකාව

අප තේරුම් ගන්නා අකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වන්නේ නිදහසින් පසු මෙතෙක් අවුරුදු 72කට වැඩි කාලයක් පුරා බහුත්වවාදී අනාගමික රාජ්‍යයක් සමග ස්වාධින දේශයක් පිහිටුවා ගැනීමට තිබූ නොහැකියාව අවසන් කිරීමටය. ඒ සමස්ථ ඉතිහාසය අතහැර දමා අවාසනාවන්ත වාර්ගික හා ආගමික ගැටුම් ඔස්සේ ගතකළ සමාජීය දේශපාලන පැවැත්ම අහෝසිකර ඒ වෙනුවට ශ්‍රී ලංකාව නව සියවසට ඔබින නූතන රාජ්‍යයක් වශයෙන් පෙරට ගෙනයාමට අවශ්‍ය පසුබිම සකසාගත යුතුය. සෑම ජන කොටසකටම එකසමානවයින් ලෙස ජීවත්වීමේ මූලික නෛතික පදනම හදා ගැනීමට උත්සාහ කළ යුතුය. ඒ සදහා සියල්ලට පෙර ලාංකේය පාලන තන්ත්‍රය තවමත් කරපින්නා ගෙන සිටින සියලු වැඩවසම් බැදීම් වලින් මිදී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට ක්‍රියා කල යුතුය.

ඒ සමග පැවසිය යුත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම වකවානුවේ බලයේ සිටින ධනපති පාලක පන්තියේ ආර්ථික දැක්ම සහ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයෑම සඳහා වන නෛතික රාමුව සකසන ලේඛනයක් පමණක් බවට පත්ව ඇති බවය. ඒ අනුව ජේ. ආර් ජයවර්ධන වත්මන් ව්‍යවස්ථාව 1978දි නිර්මාණය කළේ ඔහුට අවශ්‍යවූ නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හදුන්වාදීම සදහාය. ඒ සදහා  ඔහු ආදර්ශයට ගත්තේ සිංගප්පුරුව සහ දකුණු කොරියාවයි, සිංගප්පුරුවේ පැවතියේ අගමැති ප්‍රමුඛ කැබිනට් ආණ්ඩුක්‍රමයකි. එරට පාර්ලිමේන්තුවේ එකක් දෙකක් හැර සියලු ආසන ලීක්වාන්යූගේ පාලක පක්ෂය අත පැවතිනි. එහෙත් ලංකාවේ එවන් තත්වයක් නොතිබිනි. ඊට ප්‍රබල හේතුව වන්නේ වමේ දේශපාලන සම්ප්‍රදායන්ට උරුමකම්කී මෙරටේ කම්කරු පන්ති ව්‍යාපාරය ශක්තිමත්ව ගොඩනැගි තිබිමය.

මේ අනුව කම්කරු පන්තියෙන් එල්ලවන අභියෝගවලට මුහුණදිය හැකි ශක්තිමත් මධ්‍යගත බලයක් ජේ. ආර්ට අවශ්‍ය විය. ඔහුගේ එම තේරීමේ අරමුණ 1980 ජුලි වැඩ වර්ජනය මර්ධනය කිරිම සඳහා ජේ. ආර්ගේ එජාපය මුහුණදුන් ආකාරයෙන් පෙනීයයි. එබැවින් ධනපති පාලක පංතිය විසින් අවසන් වශයෙන් සකස් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුලින් කම්කරු පන්තිය ඇතුලු සමස්ථ පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් සුරකිනු ඇති බවට හෝ අවශ්‍යතා ඉටුකරනු ඇති බවට අපි බලාපොරොත්තු නොවෙමු. එනිසා අප මෙහිදි පෙනී සිටින්නේ අවම වශයෙන් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයන් හැකිතාක්දුරට තහවුරු කර ගැනීමටය.
වත්මන් ආණ්ඩුව විසින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම සදහා සම්පාදක මණ්ඩලයක් යෝජනා ඉදිරිපත් කර තිබේ. දැනට පවතින දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978දී සම්මත කරන ලද විධායක ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මෙම ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස්කළ යුතුබවට කලක සිට රටේම ජනමතයක් ගොඩනැගී තිබුනද එය ඉටු කිරිමට ඉන්පසු බලයට පත් සියලු ජනාධිපතිවරු අසමත්වුහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර සහ මුලික නිතිය ලෙස සඳහන්වේ. එය රටේ සියලු ජන කොටස්වල පිළිගැනීමට ලක්වන රටේ සියලු ජනකොටස් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කරන රාජ්‍ය සදහා සාමුහික හිමිකාරිත්වයක් බුක්ති විදින රටක් සදහා වන ලේඛනයක් විය යුතුයි.

එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේදී අවශ්‍ය ජාතික ජනතා ක්‍රියාවලිය වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදනය කිරිම සදහා උපරිම සක්‍රීය ජනතා සහභාගිත්වයක් සහතික කිරිම අත්‍යවශ්‍ය වන්නකි. ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලු දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ගොවිජන සංවිධාන, වෘත්තිකයින්ගේ සම්මේලන, ප්‍රජා හා වෙනත් සමාජයීය සංවිධානවල සහභාගිත්වයක් සහතික කෙරෙන පළාත් මට්ටමේ ජන සභා ( Provincial People’s Councils)  ඔස්සේ ජාතික මහජන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් National People’s Constituional Assmbly  කැඳවීමට වහා පියවර ගන්නා මෙන් එක්සත් සමාජවාදී පක්ෂය ලෙස අපි පළමුව යෝජනා කරමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතු නිශ්චිත යෝජනා හා අදහස් කිහිපයක්

සැමට පොදු රටක් වශයෙන් ඉදිරියට යාමට අපරට අනාගමික නැතහොත් ලෝකායත (Secular )  රාජ්‍යයක් විය යුතුය. දැනට පවත්නා ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුත්තේය යන වගන්තිය ඒ මුලික අවශ්‍යතාව ඉටුකර ගැනිමට බරපතල බාධාවකි. රාජ්‍ය හා  ආගම අතර බැදීමක් තිබීම බහු වාර්ගික බහු සංස්කෘතික රටක පැවැත්මට හිරිහැරයක් මෙන්ම  බාධාවකි. හින්දු ආගමිකයන් අති බහුතරයක්ද සැළකිය යුතු මුස්ලිම් ප්‍රජාවක්ද තවත් සුළු ආගමික කොටස් විශාල සංඛ්‍යාවක්ද සිටින ඉන්දියාව මේ දක්වා එකට තබා ගැනීමේ එක ප්‍රධාන සාධකය වී ඇත්තේ නිදහස ලැබීමෙන් පසු 1950දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේදීම ඉන්දියානු රාජ්‍ය අනාගමික රාජ්‍යයක් වශයෙන් නිර්මාණය කිරිමය. බංගලාදේශය ඉන්දුනිසියාව තුර්කිය වැනි මුස්ලිම් අති බහුතරයක් වෙසෙන ධනපති රටවල් පවා අනාගමික රාජ්‍යයන් වශයෙන් ඔවුන්ගේ පැවැත්ම සහතික කරගෙන ඇත. එහෙත් මෙම රට පාලනය කළ දේශපාලන නායකයන් සිංහල ස්වොත්තමවාදින් සුලු පිරිසකගේ ඝෝෂාවට යටවී බුද්ධාගම සදහා දෙනු ලබන විශේෂ රාජ්‍ය පිළිගැනුම හේතුවෙන් අනෙක් වාර්ගික හා ආගමික ප්‍රජාවන් මේ රටේ සමානයන් වශයෙන් සැලකීම නොකරනු ලැබිනි. එය  1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කළ බරපතල වරදක් ලෙස අපි දකිමු

  1. එනිසා අලුතින් සම්පාදනය කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිසිදු ආගමක් ගැන විශේෂිත සදහනක් කිසිදු ආකාරයකින් ඇතුලු නොකළ යුතුයැයි අපි යෝජනා කරමු.

1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරිම තිස්වරක් පුරා ඇදීගිය යුද්ධයට බලපෑ එක ප්‍රධාන සාධකයක් වන අතර ඉදිරියේදී දෙමළ ජාතික අපේක්ෂාවන් සදහා විසදුම් සෙවීමේදී ඊට හරස්වන මුලික බාධාවක්ද වනු ඇත. එක්සත්  රටක් වශයෙන් ව්‍යවස්ථාගත කළ කිසිදු රටක් බෙදී වෙන් නොවන බව ඒ වෙනුවෙන් අවධාරණය කළ යුත්තකි. 1936 පමණ සිට ද්‍රවිඩ රාජ්‍ය සංකල්පය ආරම්භවූ ඉන්දියාව තවමත් තනි රටක් සේ එක්සත්ව පැවතීමට එක් හේතුවක් වන්නේ ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර දැමු හෙයිනි. ලංකාවද සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුලු සියලු ජනකොටස් ඒකරාශී කරගත් ස්වයංනිර්ණය අයිතිය නැමැති සිද්ධාන්තය පිළිගැනීම හරහා එක්සත් රටක් නිර්මාණය කරගත හැකිය. එමෙන්ම අවම වශයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හදුන්වා දෙන ලද බලය බෙදීම පදනම් කර ගනිමින් කේන්ද්‍රය සහ පරිධිය අතර බලය හවුලේ බෙදාහදා ගැනීමේ (Power sharing  )  නෛතික තත්වයක් නිර්මාණය කිරිම අත්‍යවශ්‍ය වන්නකි. පරිධිියේ බල ඒකකය සියලු පාර්ශ්වයන් අතර සාකච්ජා මගින් තීරණය කළ යුතු අතර පරිධියේ බලය කේන්ද්‍රයට අවශ්‍ය පරිදි යටත් කළ නොහැකි ආකාරයේ ව්‍යවස්ථා රාමුවක් නිර්මාණය කළයුතු වෙයි.

2. එබැවින් එවැනි බලය බෙදීගිය බල හවුලක් සහිත එක්සත් රටක් සදහා වන අනු ව්‍යවස්ථාවන් පැහැදිලිව හා නිශ්චිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් විය යුතු අතර එවැනි අවකාශයන් අභිබවා කටයුතු කිරිමේ අධිබලයක් මධ්‍යම ආණ්ඩුව සදහා නොලැබෙන අයුරින් ව්‍යවස්ථාව සකස්විය යුතුයැයි අපි යෝජනා කරමු. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු සම්මත මුලික මානව අයිතිවාසිකම් විසින් පුරවැසියනට සාර්ථක හා සමාජීය අරක්ෂණයක් සහිත ජීවිතයක් පූර්ණ ලෙස සහතික නොවන්නේ යැයි අපි විශ්වාස කරමු. එහෙත්  එවැනි පූර්ණ ජීවිතයක් සහතික කිරීමේ වගකිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතු වගකිමකි.

3. එබැවින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙහි ඇතුලත්ව තිබෙන මුලික අයිතිවාසිකම් සහතිකයට අමතරව පහත සදහන් අයිතිවාසිකම් ද එළෙසින්ම ඇතුලත් කළයුතු යැයි අපි යෝජනා කරමු.

4. ජාත්‍යන්තර කම්කරු සංවිධාන (ILO) සම්මත කර ඇති සහ මතු සම්මත කිරිමට ඉඩ ඇති ප්‍රධාන සම්මුතීන් (Core ILO Conventions) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මුලික අයිතින් ලෙස සහතික කළ යුතුය.

5. වාර්ගික ආගමික ස්ත්‍රී පුරුෂ හෝ වෙනත් භේදයකින් තොරව සියලු පුරවැසියන්ට සංතෘප්ත සමාජීය ආර්ථික හා සංස්කෘතික ජිවිතයකට ඇති අයිතිය මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කළයුතුය. ඒ අනුව සෑම පුරවැසියකුටම එවැනි ජීවිතයක් වෙනුවෙන් අවශ්‍ය අවම ආදායම සහතික කිරිමේ පූර්ණ වගකිම ආණ්ඩුව වෙත පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ යුතුය.

මෙම ව්‍යවස්ථා කෙටුම්පත මගින් තෝරාපත්ව සිටිින ජනතා නියෝජිතයින් වන එනම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් ජනතා විශ්වාසය කඩකළ අවස්ථාවන්හිදී ඔවුන් ආපසු කැඳවීමේ බලය ජනතාවට ලබාදීම සදහා අවශ්‍ය වන ප්‍රතිපාදන මෙයට ඇතුලත් කළ යුතුය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසය පෙන්නුම් කරනුයේ එය බලයේ සිටින ධනපති පංති කොට්ඨාශයේ උවමනාව මුලික කරගනිමින් සිදුව ඇත්තක් ලෙසය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු පාලක පක්ෂයේ ලියවිල්ලක් නොවිය යුතුය. එය රටේ මුලික ලියවිල්ලක් වන බැවින් සමස්ථ ජනතාවගේ අදහස් එනම් බුද්ධිමතුන් වෘත්තියවේදීන් කම්කරු පංතිය ගොවි ජනතාව තරුණ හා ශිෂ්‍ය ප්‍රජාව පමණක් නොව විශේෂයෙන් උතුරු නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන දෙමළ හා මුස්ලිම් ජනතාවගේ අදහස් උවමනාවන් හා අභිලාෂයන් නියෝජනය විය යුතුය. එසේම එම නියෝජනයන් ඇතුල් කර ගැනිම සදහා පාර්ලිමේන්තුවට සීමානොවී ඉන් පිටස්තරව ක්‍රියාත්මක වන ඉහත සදහන් සමාජ කණ්ඩායම් නියෝජනය කිරිම සදහා පාර්ලිමේන්තුවෙන් බැහැර දේශපාලන පක්ෂ හා සමාජයේ පවතින විවිධ සමාජ සංස්ථාවන්ගේ අදහස් ලබා ගැනීමේ ක්‍රමවේදයන් සැකසීම අත්‍යව්‍යශ කරුණක් බව අවධාරණය කරමු.

එක්සත් සමාජවාදී පක්ෂය

 18 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *