“වමට පවතින්න පුළුවන් වන්නේ නැවත නැවතත් මාක්ස් – ලෙනින් වාදයට හැරෙමින් පමණයි” සරණපාල පලිහේන…

ප්‍රශ්නය: පුද්ගලික හා දේශපාලන ජීවිතය යන දෙකම එකක්ද?

ඇත්තටම මට පුද්ගලික න්‍යාය පත‍්‍රයක් තිබුණේ නැහැ. මම අදටත් පුද්ගලික න්‍යාය පත‍්‍ර උඩ වැඩ කරන්නෙත් නැහැ. මගේ මුළු ජීවතයම කැප කලේත්, අදටත් මා කැපවී සිටින්නේත් කම්කරු පංති බලයක් වෙනුවෙන්.

ප්‍රශ්නය: 1980 ජූලි මහ වැඩ වර්ජනය දකින්නේ කෙසේද?

71 ජනතා විමුක්ති පෙරමුණේ තරුණ නැගිටීම පීඩිත ජනයාගෙන් හා වැඩකරන පංතියෙන් වියෝ වූ එකක්. ඒක පරාජය වීමට ප‍්‍රධාන හේතුව හැටියට මම දකින්නේ ඒකයි. අනෙක් එක 80 වර්ජනය හරිද වැරදිද කියන කාරණය මතබේදයට තුඩු දී ඇති කරුණක්. මොකද 77 බලයට පත් JR,78 ඒකාධිපති ව්‍යවස්ථාව සම්මත කරලා නව ලිබරල් ආර්ථිකයට ආරම්භයක් ගත්තා. මම අහලා තියෙන විදිහට ලෝකයේ මෙම ක‍්‍රමය අත්හදා බලන්න තෝර ගත්ත දෙවන රට ලංකාවයි. මේක දේශපාලන වශයෙන් තේරුම් ගත්ත නායකයෝ හිටියේ නව සම සමාජ පක්‍ෂයේ විතරයි කියලා අද මට හැගෙනවා. මම කැමතියි මේ වෙලාවේ ඒ නායකයින්ගේ නම් ටික කියන්න. අද ව්‍යාපාරයෙන් පලා ගියා වුනත් (වික‍්‍රමබාහු, සුමනසිරි ලියනගේ, කුමාර් ඩේවිඩි, ශාන්ත ද අල්විස්, නලින් ද සිල්වා, වාසුදේව) මේ නායකයෝ හිටපු පක්‍ෂයේ මම ලොකු විශ්වාසයකින් වැඩ කළේ. JR ගේ නව ලිබරල් වැඩ පිළිවෙළ ආරම්භයේ දීම පරාජය කරන්න ලැබුණ නම් අද තත්ත්වය වෙනස්. ඒ නිසා තමයා 77 බලයට පත් UNP ආණ්ඩුවට එරෙහිව වසර 3 ක් වැනි කෙටි කාලයක් තුළ අරගලයක් දියත් කරන්න සිද්ධ වුනේ. (මේ තීරණය ගැන බරපතල විවේචන තිබෙනවා.) නමුත් ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට හා කම්කරු පංතියට නව ලිබරල් ආර්ථිකයට විරුද්ධව ක‍්‍රියා කරන්න වෙන මාවතක් තිබුණේ නැහැ. 80 තීරණාත්මක සාධකය නව සම සමාජ පක්‍ෂය බව කීවොත් එය නිවැරදියි. මොකද ඒ වෙන කොට රජය හා පුද්ගලික අංශයේ පංතියේ බහුතර බලයක් එදා නව සම සමාජ පක්‍ෂයට තිබුණා. ඒ නිසා JR ගේ අළුත් ආර්ථික වැඩ පිළිවෙළට විරුද්ධව බරපතලව මුහුණ දීම වමේ කාර්ය භාරයක් නිසා වර්ජනයට මුහුණ දුන්නා අපි බැලූවොත් 80 වර්ජනයේ ඉල්ලීම් දිහා රු. 300 කින් වැටුප් වැඩි කිරීමත්, පුද්ගලීකරණය අහෝසි කිරීමත්, සහනාධාර කප්පාදුව නවතන ලෙසත් යන ඉල්ලීම් ප‍්‍රධාන වුනා. මෙම ඉල්ලීම් වල රු. 300 වැඩි කිරීම හැරන කොට අනෙක් ඉල්ලීම් රටේ අනාගත ආර්ථිකයත් පීඩිත ජනතාවගේ සහන ආරක්‍ෂා කිරීමත් සඳහා ප‍්‍රකාශ වුනා. මේ නිසා මෙම සටනට ජනතාවගේ යම් සහයෝගයක් ද ලැබුණා. 80 මේ සටන තමයි ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් කම්කරු පංතිය කළ අවසන් සටන. එදා සිට අද දක්වා එවැනි ජනතා අරගලයක් දියත් වුනේ නැහැ. ඊට පස්සේ තමයි ඔය දේශපාලනයෙන් තොර ස්වාධීන කියන කුණුහරුපය ඉස්සරහට ආවේ. වර්ජනය මෙහෙයවපු JTUAC එකේ මම ආණ්ඩුවේ සම්මේලනයේ නියෝජිතයා ලෙස හිටපු නිසා 80 වර්ජනයේ බොහෝ තොරතුරු දන්නවා. මේ වෙලාවේ ඒවා කියන එක තුවාල පාරන වැඩක්. ඒකෙන් කාටවත් ප‍්‍රයෝජනයක් නැහැ. සියල්ල ඉතිහාසයට එකතුවෙලා ඉවරයි. දැන් ඉදිරියට වැඩ කරමු.

ප්‍රශ්නය: ඔබ නව සම සමාජ පක්ෂයෙන් ඉවත් වූයේ ඇයි?

මම නව සමාජ පක්‍ෂයෙන් ඉවත් වුනේ නැහැ. වික‍්‍රමබාහු මට යෝජනා කළා ඉවත් වෙන්න කියලා. මොකද ඒ වෙලාවේ පක්‍ෂය සුළු ධනේශ්වර කාලකන්නි මතවාදයට යට වෙලා තිබුණේ. අජන්ත, පිලිප් ඇතුළු තරුණ කැළ (අද ඒ අයගේ විප්ලවීය අදහස් බලූවෙලා) බාහුට යෝජනා කළාලූ සරණපාලගේ පරිනත භාවය ගැන ප‍්‍රශ්ණයක් තිබෙනවා කියලා. මේ අය තමයි වික‍්‍රමබාහු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කරන්න හැදුවේ. ජවිපේ වගේ පෝස්ටර් ගහන්න, ජවිපේ වගේ සංදර්ශන කරන්න කි‍්‍රයා කළේ. අද ඒ අය සිටින තැන බලපුවහම හොඳට තේරුම් ගන්න පුළුවන් සුළු ධනේශ්වර මතවාදය කියන්නේ මොකද්ද කියලා. අද නව සම සමාජ පක්‍ෂයට වැඩ කරන පංතියේ නාඩි අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඉබාගාත දේශපාලනය කරනවා කියලයි මට හිතෙන්නේ. ඉතිහාසයේ කම්කරුවන්ගේ ශක්තියෙන් සහ ජීවිත පරිත්‍යාග කරපු පක්‍ෂ නායකයින්ගේ කීර්තියෙන් නව සම සමාජ කියන නම තියාගෙන තොරොම්බල් කරන එකයි අද කරන්නේ.

ප්‍රශ්නය: ශ්‍රි ලංකාවේ සමාජවාදී පක්‍ෂය මිරිගුවක් පසුපසද යන්නේ?

මම ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්‍ෂයේ වැඩ කරන්නේ නව සම සමාජ පක්‍ෂයට මම ඇතුලූ වන කොට ලබපු අධ්‍යාපනය උඩ. මම ඉගෙනගත්තේ තනි රටක සමාජවාදය හදන්න බැහැ, නොනවතින විප්ලවය හදාරන්න අවශ්‍යයයි, කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ මූලධාර්මික කරුණ මත සිටිය යුතුයි. එහි සඳහන් පරදි ලෝකයේ කම්කරුවන් සමඟි කළ යුතුයි, ලෝකයේ කම්කරුවන්ට එක පක්‍ෂයක් සැදිය යුතුයි, ඒ වෙනුවෙන් කැපවිය යුතුයි යන කරුණු මත තමයි මම සමාජවාදී පක්‍ෂයේ වැඩ කරන්නේ. අද ලොකයේත් රට රටවලත් කැපවෙන පිරිස ඉතා සීමිතයි. ඒ නිසයි මේ අහේනිය. එහෙම නැතිව අප මිරිගුවක් පිටුපස යනවා නෙවෙයි .

ප්‍රශ්නය: ශ්‍රි ලංකාවේ වැඩ කරන ජනතාවගේ නායකත්වයන් ධනපති පන්ති වල බළල් අතක් වෙලාද?

ඔබේ ප‍්‍රශ්ණයේම උත්තරයක් තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ වැඩකරන ජනතාවට තමයි හැම සටනකටම නායකත්වය දෙන්න පුළුවන්. හැබැයි අද ඔබ කියන විදිහට වැඩ කරන පංතිය දුර්වලයි. අසංවිධානාත්මකයි. ඒක මම පළිගන්නවා. නමුත් 53 හර්තාලයේ දී එහි නායකත්වය ගත්තේ වැඩකරන පංතිය. 67 වර්ජනයේ දීත්, 80 වර්ජනයේ දීත් පංතිය පෙරට ආවා. කුමණ තත්ත්වයක් යටතේ වුවත් වැඩකරන පංතිය තමයි අරගලයට නායකත්වය දිය යුත්තේ. අපිට දැවැන්ත කම්කරු නායයෝ හිටියා. සම සමාජ, කොමියුනිස්ට්, නව සම සමාජ කම්කරු නායකයින් එඩිතරයෝ සහ සටන්කාමියෝ විතරයි. ඒ අය විප්ලවකාරී අදහස් වලින් හිස්. පක්‍ෂ නායකයෝ හිතුවේ ඒ අයගේ න්‍යායට කම්කරුවෝ ක‍්‍රියාකළාම හරි කියලා. හැබැයි නායකයෝ කෙලවගත්තොත් කම්කරුවන්ට යන එන මං නැති බව තේරුම් ගන්නකොට ගොඩක් පරක්කුවෙලා. ලංකාවේ කම්කරු ව්‍යාපාරයට වුනේ ඒකයි. ඒ නිසා වැඩකරන පංතිය සංවිධානය කරනවා කියන්නේ එඩිතර කමට සටන්කාමී බවට හුරුකිරීම වගේම පංති හැඟීම සහ පංති ක‍්‍රියාකාරීත්වයන් උගන්වන්න අවශ්‍යයයි. මම අන්තිම වශයෙන් හිතන්නේ කම්කරුවෝ අප්පිරියා වුනත් කොමියුනිස්ට් ප‍්‍රකාශනය කියවන්න  ඕනේ කියලා. කොමියුනිස්ට් ප‍්‍රකාශයනය එපා වෙලා තිබෙන්නේ ඒ මතවාදයෙන් පලාගිය උන්ට. අලූත් පරම්පරාවට කොමියුනිස්ට් ප‍්‍රකාශනය අලූත්. ඒ නිසා හැම පංති කි‍්‍රයාකාරියෙක් ම මේ සම්බන්ධව දැනුවත් කළ යුතුයි. මම හිතන්නේ එහෙමයි. මේ පිළිසදරකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක දිග කථාවක්. ඒ දිගකථාවේ අවසානය දක්වා නොසැලී සිටීම තමයි නායකත්වය කියන්නේ.

ප්‍රශ්නය: නැගෙනහිර ජැටිය පමණක් බේරා ගැනීමේ වෘත්තීය සමිති අදහසට ඔබ එකඟද?

අද මේ වන විට වරාය බටහිර ජැටිය අදානි සමාගමට දෙන්න තීරණය කරලා. අන්තිමට නැගෙනහිර ජැටිය බේරගන්න කියලා කරපු සටන සංදර්ශනයක් බවට පත්වෙනවා. මොකද ටික කාලයකින් අදානි සමාගම බටහිර  ජැටිය සංවර්ධනය කරලා වරාය ආදායම ඒ පැත්තට ගත්තට පස්සේ ලංකා ආණ්ඩුවට කියයි නැගෙනහිර ජටියත් දෙන්න කියලා. මම අර කිව්ව විදිහට JR ආරම්භ කරපු වෙළඳපල ආර්ථිකය උඩ අපේ රටට ආපු ශිල්පීය ඥාණයකුත් නැහැ. ප‍්‍රාග්ධනයකුත් නැහැ. ඒක තමයි තාමත් වෙමින් පවතින්නේ. එන්න එන්නම අපි විකිණෙනවා විතරයි. ඒ නිසා මේ ක‍්‍රමයේ උඩු යටිකුරු වීමක් අවශ්‍යයයි. ඒ දිසාවට කම්කරු පංතිය සංවිධානය කළොත් පමණයි මේ රටේ ජනතාවට සහනයක් අත්පත් වෙන්නේ. කෙටි උත්තර නැහැ.

ප්‍රශ්නය: වාම විප්ලවකාරී කුඩා පක්ෂ හා කණ්ඩායම් කළ යුත්තේ කුමක්ද ?

දැනට ලංකාවේ වාමාංශික පක්‍ෂ කියන හැම එකක්ම ගෑවී නොගෑවී ධනපති සභාග දේශපාලනයට යටවෙලා ඉවරයි. ඉතිරි වී තිබෙන පුංචි පුංචි කණඩායම් වලට පවතින්න පුළුවන්වන්නේ නැවත නැවතත් මාකස් – ලෙනින් වාදයට හැරමින් පමණයි. ඒක වලංගු නැහැ කියන එවුන්ට කියන්න තිබෙන්නේ 1917 රුසියානු විප්ලවය සිදුවීමත් අනිකුත් රටවල සමාජ විප්ලවය සිදුවීමත් එම න්‍යාය ආභාෂයෙන් සිදුවූ බව සහ පසුකාලයක ලේසි මාවත් සෙවීමට පිවිසීමෙන් සියල්ල විනාශ වී ගිය බවයි. පසුගිය දශක 05 තුළ මාකස් – ලෙනින් වාදයට පිටතින් න්‍යායන් හදපු හැම එකාම අද විනාශ වෙලා. අවසාන වශයෙන් උන් විනාශ වුනා පමණක් නෙමෙයි ඔවුන් මාක්ස් – ලෙනින් වාදය විනාශ කිරීමට ද ක‍්‍රියා කළා. ඒ නිසා මේ යුගයේ කම්කරුවන්ට ඉතා බරපතල සහ අනවරත අරගයක් කරන්න සිදුවෙලා.

සාකච්ඡා කළේ :  සමන්ත රාජපක්ෂ

 22 total views,  2 views today

One Reply to ““වමට පවතින්න පුළුවන් වන්නේ නැවත නැවතත් මාක්ස් – ලෙනින් වාදයට හැරෙමින් පමණයි” සරණපාල පලිහේන…”

  1. හොද කියවීමක්. සටන්කාමී වෘත්තීය සමිති නායකයෙක් ලෙස සරණපාල සහෝදරයාට මේ සටන පෙරට ගෙන යාමට ලොකු වගකීමක්. එක්සත් කම්කරු සම්මේලනයේ නායකයෙක් ලෙස එය යළි සංවිධානය කර ගැන්ම ගැන සිතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *