කැමූගේ ප්‍රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය

කල්ප රාජපක්ෂ විසින් පොතක් ගැන කතාවක් හි දැක්වූ අදහස් වල පුර්විකාව එකතු කිරීම් සහිතව.

Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම් පොරොන්දුව වන්නේ දෙවියන් වහන්සේ/ ජේසුස් ක්‍රිස්තුන් සමග කිසිදු ඒජන්තයෙකු නැතිව ඔබට ආධ්‍යාත්මිකව සම්බන්ධවීමේ යම් විදිහක් නිර්මාණය කර දීමයි. මෙහිදී ඔබ භෞතිකව උපදිනවා වෙනුවට ආධ්‍යාත්මිකව නැවත ඉපදීමක් බෞතීස්ම කිරීමකින් තොරව ඔබට ලබාගත හැක. අවශ්‍ය වන්නේ ජීවිතයේ යම් මොහොතක – නැත්නම් මේ මොහොතේම (sponteniously)- දෙවියන් වහන්සේ හෝ ජේසුස් ක්‍රිස්තුන් ගැන විශ්වාසයක් ඇතිකර ගැනීම පමණි. ඔබ කළු ද සුදු ද ඉන්දියානුවෙක් ජපනෙක්ද ලාංකිකයෙක් ද නැත්නම් රාජපක්ෂ පවුල් ගසේ කෙනෙක් ද යන්න මේ ශුද්ධවූ අවතාරය (holy spirit) සමඟ ඇතිකරගන්නා මනෝමූලික සම්බන්ධතාව නැත්නම් ගිවිසුමට අදාළ වන්නේ නැත. අදාල වන්නේ ඔබ ක්‍රිස්තියානුවෙකු ලෙස මවුකුසින් ඉපදීම නොව දෙවියන්ගේ සාරය සමඟ ඔබේ ඉදිරි පැවැත්ම සම්බන්ධ කරන්න ඔබ එකඟද කියන තීරණාත්මක ප්‍රශ්නයට ‘ඔව්’ ලෙස පිළිතුරු දීම පමණි.. 2008 ලෝක මූල්‍ය අර්බුදයෙන් පසුව සම්පූර්ණයෙන්ම බංකොලොත්භාවයට පත් වූ මූල්‍ය සමාගමක අධ්‍යක්ෂවරයෙකුට මෙන්ම එම සමාගමේ ව්‍යාජ ලෙස පිම්බූ කොටස් වලට වහවැටී තම ගේ දොර ඉඩකඩම් යාන වාහන සහ සුනඛයන් පවා බැංකුවලට සින්න වූ අයෙකුට වුවත් එකම යාච්ඤා ශාලාව තුළදෙවියන්ගේ ආත්මය මුණ ගැසීමටත්, ඔහුගේ උපකාරය ලබා ගැනීමටත් කිසිදු ආධ්‍යාත්මික හෝ ආචාරධාර්මික බාධාවක් නැත. අවශ්‍ය වන්නේ ඔබ විශ්වාස කරන බව අනෙක් අයට ඇඟවීමයි. ස්වයංජාත විශ්වාස යනු අලුත්ම සම්මුතියයි. බටහිර ලෝකයේ ධනේශ්වර පුද්ගලවාදය අවසන් වෙමින් ඇත්තේ නැවත වරක් වර්ගවාදය සෑම තැන් මතුවීම, සාමූහික පරිභෝජනවාදය සහ Collective Religious Performativity කියන සමස්ථතාවන් ඇතුලේ.

කාල් මාක්ස් තමන්ගේ පළමු විවේචනය ආගම සහ දෙවියන් ගැන සිද්ධ කරන්නේ අහම්බයකින් හෝ දාර්ශනිකවාදී උන්මාදයකින් නොවේ. ඔහුගේ දේශපාලන ලියවිලි දෙස පරිස්සමෙන් බලන කෙනෙකුට පෙනී යනු ඇත්තේ මාක්ස් ධනවාදය තුළ ආගමේ කාර්ය කොටස යනු හුදෙක් ආගම ආයතනයක් වශයෙන් රාජ්‍යයට දක්වන අනිවාර්ය සංවිධානාත්මක සම්බන්ධයට වඩා ධනවාදය තුළ විශ්වාසය ඇති කරන්නේ කෙසේද යන දෘෂ්ටිවාදී සංකීර්ණයට මුල් තැනක් දුන් බවයි. ධනවාදය යනු අනිවාර්ය වශයෙන් අරාජිකවාදයක්. වෙළඳපොළ යනු මේ අරාජිකවාදය ස්වයං සංවිධානයකට ලක් කරනවා යැයි අප සිතන සමාජ සම්බන්ධතාව. මේ සමාජ සම්බන්ධතාව අරාජිකත්වය තොරව පවත්වා ගත හැක්කේ අනුමැතිය, විශ්වාසය සහ භක්තිය නිර්මාණය කරන සමාජයක පමණි. Born Again Christianity හෝ කාලි ගේ ධම්මික පැණිය යනු කඩාවැටෙන භක්තිය, අනුමැතිය සහ විශ්වාසය නැවත මේ පවත්නා ක්‍රමයටම අනුකූල වන පරිදි නැවත දිශා ගත කරන තත්ත්වයන් වේ. විද්‍යාවේ නාථ දෙවි විධික්‍රමය යනු වියත්මගේ විද්‍යාත්මක දෘෂ්ටිවාදය යයි. එසේත් නැත්නම් ජාතිකවාදයේ තාක්ෂණික වාදී හැඩතල යයි. මේ අත්දැකීම් තුනම ධනවාදයේ පසුගාමී තත්ත්වයන් නොව නූතනම තත්ත්වයන් වේ. එසේත් නැත්නම් ධනවාදයේ අසමත්කමේ දේශපාලනයෙහි පණ ගැහෙන ආත්මය යි. සීතල වතුර විදුරුවක් හෝ කුරුම්බා ගෙඩියකින් මේ භක්තිය ගොඩනගන අඩ්වර්ටයිසින් කරන නෝනලා සහ මහත්වරු ආගමික අනුමැතිවාදීන්ට සහ පසුගාමින්ට දෙවැනි නෑ.

විශිෂ්ට ගායන ශිල්පියකු වන වික්ටර් රත්නායක මහතා දේවාශීර්වාදයෙන් රෝග සුව කරන Born Again පූජාවකට ගොස් තමන්ගේ කටහඬ (voice) නැවත ලබා ගැනීමේ උත්සාහයක නිරතවන වීඩියෝවක් මා දුටුවා. පාස්ටවරයෙක් හෝ දේවගැතිවරයෙක් වික්ටර් රත්නායකයන්ගේ බෙල්ල මුලින් අල්ලාගෙන ඔහුගේ නැතිවුන යමක් (something lost) ලබාදෙන මෙන් කන්නලව් කරනවා. වික්ටර් යනු කටහඬම නිසා ඔහු දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කටහඬ කියා මා සිතුවා. වටේ සිටින අනිත් අය දේවගැතිවරයා අනුව මෙන් යටි ගිරියෙන් බෙරිහන් දෙනවා. නොපෙනෙන යමකට/ යමෙකුට වික්ටර් ජීවිතේ බර, ඔහුගේ ඉදිරි අරමුණු සහ ඔහුට අනිත් අය කර ඇති හදි හූනියම් සියල්ල බාර කරනවා. මේ සියල්ල අති නවීන ඩිජිටල් කැමරාවක සටහන් වෙලා සමාජ ජාලා ඇතුළෙ සැරිසරනවා. මේ තමයි අපි ජීවත් වෙන සන්නිවේදන ලබ්ධිය. Jodi Dean කියන ඇමරිකානු මහාචාර්යවරිය මේ තත්ත්වය හඳුන්වන්නේ සන්නිවේදන ධනවාදය වශයෙන් (Communicative Capitalism). ඇය මතු කරන එක වැදගත් කාරණයක් නම් ඩිජිටල් අවකාශය තුළ මනුෂ්‍යයාගේ සන්නිවේදනයේ පවතින භාවිත වටිනාකම (use value) නැත්නම් සන්නිවේදනය මනුෂ්‍ය ගුණය අනිවාර්යයෙන්ම හුවමාරු වටිනාකමක් (exchange value) බවට පත් වෙන බවයි. එහිදී අප ග්‍රහකයන් බවට පත් වුණාට වඩා සිද්ධ වන්නේ සන්නිවේදනයේ ස්වරූපය තුලම අප යම් විදිහක අතිරික්ත වටිනාකම නිර්මාණය කරන පුද්ගලයන් බවට සියලුම virtual අවකාශවල පත්වීමයි. Christian Fuchs ගේ Reading Marx in the age of digital capitalism වැදගත් වෙන්නේ මේ මොහොතේයි. අපේ සියලු විශ්වාසයන් අන් කවරදාටත් වඩා ‍ද්‍රවීය (fluid) සහ පහසු බවට පත්වෙලා. විස්වාස නොකර විස්වාස කරන්න පුළුවන්කමක් අපි හැමෝටම භාන්ඩ කළබ හරහා අපිට ලැබිලා තියනවා. මෙහි තියෙන දේශපාලන අනතුර තමයි අපේ විවේචන අතිශයින් spontaneous බවට පත්වීම සහ දේශපාලනය වෙනුවෙන් මිඩංගු කළ යුතු කාලය ඩිජිටල් ධනවාදය පෝෂණය කිරීම වෙනුවෙන් නැත්නම් ඇල්ගෝරිදම් නිර්මාණය කිරීමේ සංහතික ක්‍රියාවලියට දායක වන්නන් බවට අපි හැමෝටම සිද්ධ වීමයි. මෙහි අග්ගිස්සේ එල්ලී තිබෙන විමුක්තිකාමී පිළිතුරක් ගැන ආලෝකයක් අපට දැකිය හැක්කේ ජූලියන් අසාන්ජ්,එඩ්වර්ඩ් ස්නෝඩන් සහ ට්‍රොට්ස්කිගේ උපක්‍රමශිලිත්වය හැදෑරීමෙන්.

මානව ශිෂ්ටාචාරයේ දරුණුතම ගෝලීය වසංගත තත්ත්වයක් තුළ, මරණය අති සාමාන්‍ය වූ පසුබිමක වික්ටර් තමන්ගේ කටහඬ නැවත සොයා ගැනීමට දෙවියන් ළඟට යන්න සිද්ධ වෙනවා. ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන්ඉන්දියාවේ ඇතැම් මිනිස්සු ගව මුත්‍රා පානය කරන අතරතුර කාලි පැණිය ලංකාවේ ජාතික සෞඛ්‍ය සේවයේ විශ්වාසයට හිලව් වෙනවා. මේ ප්‍රවණතාව තුන්වන ලෝකය මනුෂ්‍යයාගේ ආත්මීයත්වයේ ප්‍රශ්නයක් නොව ධනේශ්වර ආත්මීයත්වයේ ප්‍රශ්නයක්. ප්‍රාග්ධනයේ තර්කනයට උත්තර නැති හැම තැනකම පැවැත්මට ලබා දෙන සහනදායි උත්තර. මාක්ස් වඩා නිවැරදිව පැවසූ පරිදි ආගම යනු හදවතක් නැති ලෝකයක හදවත. ආගම සම්බන්ධයෙන් කාල්මාක්ස්ගේ විවේචනය අතිෂය නිර්දය එකක්. එය ස්වභාවිකව වරදවා වටහා ගැනීමට වඩා බූෂුවා ලෝකය ඇතුලේ සිල්ලර අරමුණු වෙනුවෙන් වැරදි විදිහට නිර්වචනය කිරීමේ ඉඩ බොහෝයි. එය අතීතයේත් සිද්ධ වුණා අනාගතයෙත් සිද්ධවේවි. මගේ මිතුරියක් මට එවූ සටහනක තිබුනේ ආගමික පාසලක් මාක්ස්ගේ එක් උපුටනයක් ආගම සාධාරණීකරණය කිරීමට කපටි විදිහට යොදාගෙන තිබුණු ආකාරය. මාක්ස්ගේ කටහඩින් දෙවියන්ට නැවත ජීවය දෙන්න හදන විදිහ. මනුෂයයත්වය සහ විමුක්තිය ගැන විස්වාසයක් තියන හැම කෙනෙක්ටම මම යෝජනා කරන්නේ මාක්ස්ගේ A Contribution to the critique of Hegel’s Philosophy of Right පරිස්සමෙන් කියවන්න කියන එක. අමාරුයි තමයි. නමුත් පිටින් තියන අරගලයක් ගැන හිතන අපිට අපිව වෙනස් කරගන්න පුලුවන්ද කියන තීරණාත්මක ප්‍රශ්නය අපි අපෙන් ඇසිය යුතුව තිබෙනවා. කියවීම කියන්නේ මේ යුගයේ අනිවාර්යතාවක්. (මේ සංවාදයට පාරේ ලයිට් කණුවක එළියෙන් සම්බන්ධ උන ක්ලැරන්ස් ගාමිණී සහෝදරයා ආදරෙන් මතක් කරන්න ඕන. දැනුම, පොත් සහ මිනිස්සුන්ට වෙන්න ඕන දේ ගැන ක්ලැරන්ස් ගාමිණී හොදම උදාහරණය).

කැමූගේ විශිෂ්ට නවකතාවක් වන පිටස්තරයා (The stranger) හි මර්සෝට Born Again හී වගේම පොලිස් පරීක්ෂක සහ ඔහු මරණයට නියම වූ විට සිරමැදිරියට එන පාදිලිවරයා කරන්න උත්සාහ කරන්නේ ඔහුගේ ආත්මය දමනය කිරීම නැත්නම් දෙවියන්ට ඔහුගේ ආත්මය භාර කිරීම. මර්සෝට ඩ්‍රැකියුලා ට මෙන් කුරුසයක් පෙන්වමින් දමනය කරන්න හදන පොලිස් පරීක්ෂකගේත් , මරණයෙන් පසු ආත්මය ගැන ආධ්‍යාත්මික දෘෂ්ටියකින් ඔහුට ගැළවීමේ මාර්ගය වැටී ඇත්තේ දෙවියන් හරහා යැයි කියන පාදිලිගේත් දෙවියන් වික්ටර් රත්නායක කැපවෙන, ඔහුගේ කටහඬ සුව කරන දෙවියන්ම ද? නැත්නම් වෙනත් දෙවියෙක්ද? අන්තර් යුධ කාලීන තත්වය තුළ විශ්වාස කළ දෙවියන් ධනවාදයේ ගෝලීය අර්බුද දෙකක් (2008 – 2021) අතරතුර විශ්වාස කරන්න දෙවියන්ටද. වෙනත් විදිහකට කියනවා නම් පව් කමා කරන දෙවියන් ෆෝන් චාර්ජ් කරන සහ reload දාන දෙවියන්ම ද? පිටස්තරයාහි මර්සෝ පාදිලි ගේ ලෝගුවෙන් අල්ලාගෙන නුඹේ දෙවියන්ගෙන් හෝ ආත්මීය විමුක්තියෙන් මට සතයක වැඩක් නෑ කියන විට විසි එක්වන සියවසේ දෙවියන් අපේ බොහෝ නරක තැන් වලින් අල්ලා ගෙන සිටී. විස්වාසය මිය යමින් තිබෙන සමාජයක දෙවියන්ට අවශ්‍ය අපව තවදුරටත් ධනාත්මකව සිතන (Positive Thinking) සහ ප්‍රාග්ධනය නාමයෙන් ඵලදායි මිනිසුන් (Productive) බවට පත් කිරීමටයි. ඒ අර්ථයෙන් කෑමු පිටස්තරයා හි අපෙන් අසන ප්‍රශ්නය දහනවවන සියවසේ එකක් නොව විසි දෙවන සියවසේ එකකි.

From: https://www.facebook.com/kalpa.rajapaksha.90

 16 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *