‘චින්තා ලක්ෂ්මී සිංහාරච්චි‘ කියවිය යුතු චරිතයක්!

චින්තා ලක්ෂ්මි සිංහාරච්චි ගැන ඉතා කෙටි ලිපියක් අද කියවන්න ලැබුනා. චින්තා ලක්ෂ්මී තමන්ගේ පොත් වලින් පුද්ගලිකව මගේ ඇතුලේ ඇති කරපු කම්පනය සහ සිතිවිලිවල දෝංකාරය තවමත් දැනෙනසුලු එකක්. ඇගේ ‘ශ්‍රීකාන්ත‘ පොත මම කියවන්නේ 8 හෝ 9 වසර වගේ කාලේදී.

වසංගතයෙන් මැරෙන මිනිස්සු, ගංගාවල පාවෙන් සිරුරු සහ දැවෙන සිරුරු අතරේ ශ්‍රීකාන්ත රැයක් පුරා ඇවිදින සිහිනාසන්න පැය කිහිපය කොරෝනා වසංගතයෙන් මියගිය මිනිස්සු ගැන පුවත් ඇසුණු හැම වෙලාවකම මගේ ඔලුවේ කොනකින් නැගෙන ක්ෂිතිමය සම්බන්ධතාවක්.

සත්‍යජිත් රායිගේ ‘පතොර් පංචාලි‘ බලන හැම වෙලාවකම චින්තා ලක්ෂ්මී, බස ඇතුලේ මවන ජිවිතයේ පිරික්සා නොබැලූ අහුමුලු, කාංසාව සහ ජිවිතයේ පාද යාත්‍රා අතර ඇති වෙන්නේ අප්‍රමාණ සමානකමක්.

ශ්‍රීකාන්ත්ගේ මේ ජිවන පාද යාත්‍රාව නැත්නම් පරිව්‍රාජක චරිත ලක්ෂණය ඇය මතු කරන්නේ ලෝකය දැන ගැනීමේ තදබල උවමනාවක් තිබෙන යමෙකු තුළ ඇති වෙන අපුර්වත්වය හොදින් දන්නා කෙනෙක් වගේ.

එවන් අපුර්වත්වයක් මෑත කාලයේ මම දැක්කේ වින්සන්ට් වැන්ගෝ ඇවිදීමේ කොතරම් ආශාවක් තිබුණු අයෙක් ද කියනවානම් දින ගණනක් ඇවිද ගියා පමණක් නොවෙයි තමන්ගේ හා අනුන්ගේ සපත්තු ම සිතුවමට නගන්නත් ඔහු පෙළබුනා කියන දේත් එක්ක.

චින්තා ලක්ෂ්මි ඇති කරපු භෂාත්මක චමත්කාරය මේ හැම අත්දැකීමක් එක්කම හරිම නොස්ටැල්ජික විදිහට සම්බන්ධවීම අර්ථවත් චමත්කාරයක්.

ඇය කෙසේ ඇගේ භාෂාත්මක ආවේශය සහ වංග සාහිත්‍යට තිබුණු ඇල්ම ඇති කරගත්තේ ද යන්න දැනගැනීමට සමාජයක් විදිහට අපි ගොඩක් ප්‍රමාදයි. නමුත් ඇගේ ලිවීම් නැවත සාකච්චාවට ගැනීමට සහ චින්තා ලක්ෂ්මීගේ ජීවිතය ගැන පර්යේෂණාත්මකව හැදෑරීමටත් තවමත් කල් පමා වී නැත.

තමන්ගේ ලිවීම ඇතුලේ ලෝකයක් විවර කරන්නේ, අතලොස්සක් බොහෝ අය කරන්නේ තමන්ගේ ලිවීම් ඇතුලේ හදාගන්න කුටියකට වෙලා ඉන්ඩස්ට්‍රියල් වැඩ කරන එක, නැත්තම් කල්ට් ගෘප් හදා ගන්න එක. චින්තා ලක්ෂ්මී කියන්නේ එහෙම ලෝකයක් විවර කරපු ස්ත්‍රියක්!

කල්ප රාජපක්ෂ

 8 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *