හනේ හනිච්චං!

ඒ කාලේ ජනාධිපතිවරණ ඡන්ද උණුසුම වාර්තා කිරීම සඳහා රට පුරා ඇවිදිමින් සිටි සූටිනුත් මමත් මහනුවරට ආවේ ඡන්දයදාට පෙර දිනයේදී.

ජනමාධ්‍යවේදීන් ලෙස අපේ යුතුකම් ඉටුකරමින් තවත් කිහිප දෙනෙකුගේ අදහස් දැන ගැනීමටයි නුවර ගියේ. බෝගම්බර වැව පසුකරමින් යන විට අපට නායක සාදුලා කීප නමක් හමුවුනා.

”අපේ හාමුදුරුවනේ මේ ඡන්දෙදී ඔබ වහන්සේලා මොනවද ජනතාවට අනුශාසනා කරන්නේ” මම ඉතාමත් ගරු  සරු ඇතිව ඇසුවෙමි.

”අපේ මහත්තැන්ලා මාධ්‍යයෙන්ද?” එක් හිමි නමක් අපගෙන් ඇසුවේය.

”එහෙමයි අපේ හාමුදුරුවනේ” මගේ පිළිතුර විය.

”මේ අය දන්නව නේද මේ සිංහල බෞද්ධ රට අද වෙනකොට අනාරක්‍ෂිත වෙලා තියෙන බව. සහරාන්ලා බෝම්බ දාන්න එනව. සාෆිල අපේ ජනතාව නැතිකරන් යනව. අද රටට  ඕනෑ කරන්නේ සිංහල දේශප්‍රේමී නායකයෙක්. දොස්තර සාපිලාට නඩු දාල, නඩු අහල, ගල් ගහල මරන්න පුළුවන් එඩිතර නායකයෙක්, අපේ බලාපොරොත්තුව ඒක.”

”හොඳමයි නායක හාමුදුරුවනේ”

අප ආපසු එන විට අපට හමුවුනේ පූර්ණ යුරෝපීය ඇඳුම් හැඳගත් මහත්වරු දෙපලකි.

”අපි මේ දෙන්නත් ඉන්ටවිව් කරමු ද” සූටින් ඇසීය. ”අර වෙද නලාව කරේ දාගෙන එන්නේ මේ ගොල්ලෝ දොස්තර මහත්තුරුන්ලා වෙන්න ඇති.” මට නිකමට කියවුනි.

ඒකත් හොඳයි කියූ සූටින් ”ඩොක්ටර් මේ පාර ඡන්දය ගැන ඔබ තුමන්ලට යම් අදහසක් කියන්න පුළුවන්ද? අපි මාධ්‍යයෙන්” මම කිවෙමි.

”අපිට පරක්කු වෙනව මේ චැනල් එකට යන ගමන්. හෙට එනව, හෙට එනව” එක් අයකු කීය.

”ඩොක්ටර් අපි මේ කොළඹ යන ගමන්. හෙට එන්න වෙන්නේ නෑ” මම කීවෙමි.

ඒ පාරේ ඇවිදගෙන යන ගමන් ම දොස්තර මහත්තුරැ දෙන්න ම තරගෙට කථා කරන්න වුනා.

”අද රටට  ඕනේ නියම සිංහල බෞද්ධ නායකයෙක්. මරක්කල වෙළෙන්දෝ සිංහල ජාතිය වඳකරන්න වඳ කුඩු ගාපු යට ඇඳුම් විකුණනව.”

”ඇයි ඉතිං ඩොක්ටර්ල ඒවා ගන්නේ” සූටිං ඇසීය.

”අපි ගන්නේ නෑ  ඕයි. අපේ රටේ සිංහල කාන්තාවෝ ගන්නව. ඒක නවත්තන්න හයියක් තියෙන නායකයෙක් මේ රටට  ඕනේ කරනව. ඒක මහතෙක් කියද්දි ”අපේ කාන්තාවෝ මේ අපි ඉන්දැද්දි සාපිල ලඟට ගිහින් බඩ කප්පව ගන්නව. ඒවා නවත්තන්න පුළුවන් නායකයෙක්  ඕනි.” අනෙක් දොස්තර කීය.

”බොහෝම ස්තූතියි” කියමින් අපි නැවත ගමන් ඇරඹීමු.

 

ඉන් පසුව අපට හමුවූයේ ටවුමට එමින් සිටි ගැමියන් කීප දෙනෙකි. ඔවුන්ගේ අදහස් දැන ගැනීමට අපි ඔවුන් අසලට ගියෙමු. ”අපි ජනමාධ්‍යයෙන්. මේ පාර ඡන්දය ගැන ඔයගොල්ලන්ගේ අදහස? මොනව හරි  කියන්න පුළුවන්ද” මම කෙටියෙන් කීවෙමි.

”අද අපේ රටට බෞද්ධ පිළිවෙත් ගුණධර්මවල අඩුවක් තියෙනව. පන්සල් හදන, සිල් රෙදි බෙදන වගේ පිංකම් කරන එක්කෙනෙක් මේ පාර ජනාධිපති කරන්න  ඕනේ.”

”මහජන මුදලින් සිල්රෙදි බෙදුවාම ඒක හොඳයි ද?” මම ඇසිමි.

”මොකක්ද ඇති වැරද්ද. මේ ආණ්ඩුව යටතේ තියෙනවද මිනිස්සුන්ට දං පිං කරන්න තරං ආර්ථිකයක්. ඒ හින්ද මහජන මුදල් වලිං හරි දන් දුන්නොත් ඒවැයින් ලැබෙන පිං මහජනතාවට ලැබෙනව. ඒ හින්ද නිකම්ම පිනක් කරන්න ලැබෙන එක නරක ද? ඒ හින්ද ඒ වගේ පිං කරන පවුලක බෞද්ධයෙක් ජනාධිපති කරන්න  ඕන. ඒ වගේම තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ඒ ගොල්ල සිහිකරන්න ස්මාරක හදන පිංවත් දරුවෙකු අපි ජනාධිපති හැටියට තෝරගන්න  ඕනෙ. දෙමව්පියන්ට සළකන දරුවෝ අද වෙනකොට මේ රටින් නැතිවීගෙන යනව. අපේ ඡන්දේ ඒ වගේ දරුවෙකුට.”

”බොහොම ස්තුතියි” කියමින් අපි එතනින් මාරු වුනේ දීර්ඝ බණ දේශනාවක් බවට එම කථාව ඇදී යා හැකි නිසාය.

අපි දැන් යමු ව්‍යාපාරික ප‍්‍රජාව හමු වෙන්න සූටින් කීය.

ව්‍යාපාරික ප‍්‍රජාව හමුවී ”අපි ජනමාධ්‍යයෙන්” මම සුපුරුදු කථාව පැවසිමි.

”මහත්තය මේ රටේ ගොං මිනිස්සු කියන්නේ මහජන මුදල් තමන්ගේ සාක්කුවට දමාගැනීම වැරදි කියලනේ.  ඕකේ ඇත්තක් තියෙනව ද? රටක් හදන්න ඉස්සෙල්ල තමන් හැදිල ඉන්න  ඕනි. පැරැන්නෝ  ඕව කිව්වේ කට කහනවටද? එහෙම හැදුන පවුලකට තමයි රටක් හදන්න පුළුවන් වෙන්නේ. ඒ හින්ද අපේ ඡන්දෙ එහෙම හැදිච්ච පවුලක සිංහල, බෞද්ධ අපේක්‍ෂකයට දෙනව.”

”එතකොට එකම පවුලේ කීපදෙනෙක් ඉන්න රජයකින් රටට යහපතක් වේවිද?” අපේ ඊග ප‍්‍රශ්නය විය.

”දැන් බලන්න ඉස්සර එකම පවුලේ තාත්තල, පුත්තු, දේවීන් වහන්සේල, මල්ලිල නේද රජකම් කෙරුවේ. සුද්දෝ ඇවිල්ල ඒ ක‍්‍රමේ කෑව. අන්න ඒ පැරණි ක‍්‍රමය රැක ගන්න  ඕන. අපේ ඡන්දය දෙන්නෙ ඒ වෙනුවෙන්” ඔහු පැවසීය.

 

”අපිට ගොවිජනතාවගේ අදහස් දැනගන්න බැරි වුනානේ” සූටිං කීය. අපි කුඹුරු වැඩ කරමින් සිටි ගොවීන් පිරිසක් හොයාගෙන ඇවිදගෙන ගිහින් ඔවුන්ට මම මගේ පුරුදු වාක්‍යය කීවෙමි.

”බොහොම හොඳයි මහත්තයෝ අපේ මේ කර්මාන්තය සිංහල රජ දරුවෝ එදා ඉදං කරපු කර්මාන්තයක්. අපිට මේ කර්මාන්තය කරන්න සිංහල බෞද්ධ ආණ්ඩුවක් තියෙන්න  ඕනේ” ඔවුන් ද පැවසීය.

විශ්ව විද්‍යාල බුද්ධිමතෙකුගෙන්  අදහස් දැන ගැනීමට බැරිවීම ගැන කනස්සල්ලෙන් සිටි අප දෙදෙනාට පුදුමයකට මෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගෙන් අදහස් ලබාගැනීමට මහපාරෙදී  හැකිවුනේ අහම්බයකිනි.

එතුමාගේ අදහස වුනේ මේ වගේ එකක්.“මේ රට එක්සේසත් කරපු මිනිස්සු හිටියේ දකුණේ. දේශප්‍රේමීන් එදා හිටියේ දකුණේ. උතුර ජයගන්න පුළුවන්වුනත් දකුණේ ඉන්න සිංහල නායකයෙකුට විතරයි. ඒ හින්ද ජනාධිපති කම යන්න  ඕනේ දකුණට. දකුණේ තද නායකයෙකුට. මේ රටට බුරුලෙන් ඉඳල බෑ. තදින් ඉන්න  ඕනෙ. ඒ හින්ද අපේ ඡුන්දය ඒ වගේ අපේක්‍ෂකයෙකුට.”

බොහෝ වෙහෙසී සිටි අපට පොඩි අඩියක් ගහන්න ඇත්නම් යයි සූටිං යෝජනා කලෙන් ඒ සඳහා නගරයේ මුල්ලක තිබූ පුංචි පොට් එකකට ගියෙමු. පදමට පදමේ හුන් කීපදෙනෙක් අප වටකරගෙන

”ඔයගොල්ල මාධ්‍යයෙන් ද? අපෙනුත් ගන්න වොයිස් කට් එකක්. අපි කළු ද?”

බේරෙන්න බැරිම තැන ”ඒකට තමයි අපි ආවේ” සූටිං කීය.

”සහෝදරය දන්නවද අපි දකුණේ හොඳ කොමියුනිස්ට් කාරයෝ මේ පාර අපේ සපෝට්එක රියල් ජෙන්ටල් මෑන් කෙනෙකුට. සහෝදරවරු තරහ වෙන්න එපා මේ පත්තර කාරයෝ එක්ක රට ගෙනියන්න බෑ. හැම මගුලක්ම පත්තරේ දානව. තම්බියොයි දෙමළුයි ඒකෙන් කෙරුමො වෙනව. ඒවා නවත්වන්න පුළුවන් කෙනෙකුට මේ පාර අපේ ඡන්දේ.” පිරිස එක හඩින් කීහ.

පසුදා උදෑසන අපේ රටේ බුද්ධිමත් ජනතාවගේ අදහස් යනුවෙන් අප ලබාගත් රූප සහ හඩ පට රූපවාහිනියෙන් ප‍්‍රචාරය වෙද්දී බඩ දැඟලිල්ලක් සමග ඇති වූ අප්පිරියාව නවතා ගැනීමට ගල් භාගයක පිහිට පැතීමට මට සිදුවිය.

ගුනයා විසින් ලියන ලදී!

 24 total views,  4 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *