යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගැන විවරණයක්!

තරුණ ගායිකාවක් වන යොහානි ද සිල්වා ගයන ”මැණිකේ මගේ හිතේ” (cover song) ගීතය සමාජ මාධ්‍ය ජාලා තුළ අති විශාල ජනප‍්‍රියත්වයක් හිමි කරගනිමින් පවතී. එම ගීතයේ නව තනු සංයෝජනය රසිකයාගේ ආකර්ෂණය දිනාගැනීමට හේතුවක් වී තිබේ. මේ ගීතයේ මුල් ගායනය සතීසන්ගේ වන අතර රැප් ගායනය ඩුලාන් ගෙනි.

මේ ගීතයේ මුල් ගායනයේ සංගීත නිර්මාණවේදීයා විසින් නව සංගීත සංයෝජනයෙන් යොහානිගේ ගායනයෙන් සහ ඩුලාන්ගේ රැප් ගායනයෙන් cover song එකක් නිර්මාණය කර තිබේ. මේ ගීතයේ මුල් ගායනය එතරම් ජනප‍්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත් නොවුනත්, යොහානි ගයන cover song එක දේශ සීමා ඉක්මවා ජනප‍්‍රියත්වයක් අත්කර ගැනීමට සමත්වූ ලංකාවේ පළමු අවස්ථාව ලෙස හඳුනා ගත හැකියි.

ආකර්ශනීය රූ සපුවක් හිමි තරුණ ලලනාවකට මන බඳින තරුණයකුගේ ශෘංගාරාත්මක මතක ආවර්ජනයක් ලෙස මේ ගීතයේ පද වැල නිර්මාණය වී තිබේ. නමුත් මුල් ගායනයේ තිබුණ පිරිමියකුගේ ශෘංගාරාත්මක මන දොළ පිනවන හැ`ගීම cover song එකේ නව සංගීත සංයෝජනයෙන් වෙනස් මගකට යෙමු කොට ඇත.

එවිට ගීතයේ අර්ථ රසයට වඩා ශබ්ද රසය මතු කිරීමට ගෙන තිබූ උත්සාහය ප‍්‍රතිඵලදායක වී තිබේ. මේ පදමාලාවේ අර්ථ රසයට වඩා ශබ්ද රසය බලවත් කළ පසු අර්ථ රසය ගැන සොයන්නට කිසිවෙකුට අවශ්‍යතාවයක් නැත. ගීතයේ ශබ්ද රසයෙන් ධ්වනිත වන නාද රිද්මය භාෂා භේදයකින් තොරව මුමුණන්නට හැකිවීම මේ ගීතය අතිශය ජනප‍්‍රිය වීමට බලපෑ ප‍්‍රබල සාධකයකි.

පසුගිය වසර කීපය තුළ මෙවැනි cover song ලංකාව තුළ ජනප‍්‍රියත්වයට පත්වීම දැක ගත හැකි වුණි. එයින් එක් ගීතයක් වූයේ චන්දන ලියනආරච්චි ගයන ”සඳ කුමාරි මගේ මනාලී” ගීතයි. එයද පිරිමියකුගේ දෘෂ්ටියෙන් තම පෙම්වතිය ගැන කරන ගුණ වර්ණනාවක අරුතක් ගෙන දුන් ගීතයකි. නමුත් එයද තරුණ ගායිකාවකගේ හඬින් නව සංගීත සංයෝජනයට ගැයුව පසුව අතිශය ජනප‍්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත් විය.

පසුගිය කාලයේ විවිධ මුල් ගායනයන් විවිධ රැප්, හිපොප්, ජෑස් සහ ගැන්ගනම් සහ තවත් ශෛලීන් වලින් ගැයූ පසු විශාල ජනප‍්‍රියත්වයක් ලබා ගැනීමට සමත් විය. මේ සියල්ල සිදුවන්නේ සමාජ මාධ්‍ය හරහායි. විශේෂයෙන් you tube හරහායි.

යොහානි තම ගායන හැකියාව ආරම්භ කරන්නේම you tube නාලිකාවක් මගින් විවිධ ගීත ශෛලීන්වල ගීත ගායනා කරමින් සමාජ මාධ්‍ය හරාහා ප‍්‍රචාරය කිරීම මගිනි. ඇය තම කාමරයේ සිට විවිධ ශෛලීන්වල ගීත ගායනා කරමින් සිට ඇති බව ඇයගේ you tube නාලිකාවේ අතීතය පිරික්සීමෙන් දැක ගත හැකියි.

ඇය 2016 සිට වාදන භාණ්ඩයක් අතැතිව ගයමින් එම ගීත you tube හරහා ප‍්‍රචාරය කරමින් රසික ප‍්‍රජාවක් ආකර්ශනය කරගන්නට ප‍්‍රබල උත්සාහයක් දරා තිබුණි. you tube එක මෙලෙස භාවිතා කර සංගීත ලොව ජයගත් පිරිස අපමණය.

ඒ අතර කැනඩාවේ උපත ලද ජස්ටින් බීබර් 2008 සිට මෙවැනි ක‍්‍රමවේදයකින් ජනප‍්‍රියත්වටය පත්වූ ගායකයෙකි. ඒවගේම තම වයලින් වාදන හැකියාවෙන් ලොව වස`ගයට ගැනීමට සමත්වී සිටින කුඩා දැරියක් වන කොරලිනා ප්‍රෝස්ටෙන්කෝ ද සමාජ මාධ්‍ය තුළ ජනප‍්‍රිය චරිතයකි. කොරලිනා තම වයිලීනය වයන්නේ වීදියේය. එම වීදි වාදනය ක්‍ෂණිකව වීදියේ පේක්‍ෂක ප‍්‍රතිචාර මෙන්ම සමාජ මාධ්‍ය හරහා ලබා ඇති ප‍්‍රතිචාරය වෙනම ම කතා කළයුතු මාතෘකාවකි.

මෙවැනි විවිධ හැකියාවන් ප‍්‍රදර්ශනය කරමින් කලා ලොව ජය ගැනීමට ගන්නා උත්සාහය සමාජ මාධ්‍ය හරහා වර්තමානයේ දැක ගත හැකියි.

ගීත කලාවේ පැවති පැරණි සම්ප‍්‍රදායික නිර්මාණ ක‍්‍රමවේදය අවසන් වෙමින් සමාජ මධ්‍ය හරහා ගීත කලාවේ විශාල පරිවර්ථනයන් වෙමින් පවතී. මේ නව කලා අවකාශයට ඇතුළත් නොවී හෙට දවසේ ගායකයෙක් හෝ ගායිකාවක් විය නොහැකි වන තරමට ම, සමාජ මාධ්‍ය ප‍්‍රබල වී තිබේ.

අපේ පැරණි කලාකරුවන් නව මාධ්‍ය හඳුනා ගන්නවා වෙනුවට එය විවේචනය කරමින්, බැණවදිමින් නවකයන්ගේ මේ ක‍්‍රියාවන් ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටිති. එවිට සිදුවන්නේ තමන් පැරණි කලාකරුවෙක් ම බවට පත්වීම පමණි.

සෑම මොහොතකම පැරුණ්නන් සම්ප‍්‍රදාය ආරක්‍ෂා කර ගන්නත්,, නවකයන් නව මානයන් සොයා යාමත් අතර ගැටුම සම්ප‍්‍රදාය සහ නව දේ අතර ගැටුමක් බවට නිරන්තරයෙන් පත් වී ඇත. එවිට අභාවයට යන්නේ පැරණි දේය.

ගීත කලාව සෑම මොහොතකම පවතින්නේ ජනප‍්‍රිය අවකාශය තුළයි. ජනප‍්‍රිය අවකාශයක් නොමැතිව ගීත කලාවක් පවතින්නට නොහැකියි. ගීත කලාව අනෙක් කලා මාධ්‍යන්ගෙන් වෙන්වන සියුම් තැන ජනප‍්‍රියත්වයයි.

වර්තමානයේ ගීත කලාව තාක්‍ෂණය සමග මුසුව ගෝලීය රසවින්දනයක් දක්වා  පරිවර්ථනය කිරීමට ගත් යොහානිගේ උත්සාහය සම්ප‍්‍රදායික මානසිකත්වයෙන් හා කුහකත්වයෙන් තොරව අගය කළ යුතුයි.

චමිල් ජයනෙත්ති විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *