ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් පිහිටුවීමට කම්කරු ඇමති පියවර ගනී!

Protect Union සංගමයේ ලේකම් කල්ප මධුරංග, ගෘහස්ථ කම්කරු සංගමයේ සභාපති එස්. සත්‍යවානි, ඇතුළු පිරිසක් පසුගියදා අපේ රටේ ගෘහස්ථ කම්කරුවන් මුහුණදෙන දුෂ්කරතා පිළිබඳව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාව දී පැහැදිළිකර දී තිබේ.

මෙහි දී එම සංවිධාන නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ වසර 100කට වඩා පැරණි වෘත්තිය ඉතිහාසයක් ඇති මෙම ගෘහස්ථ කම්කරුවන්ට මෙතෙක් මෙරට සෙසු කම්කරුවන් භුක්ති විඳිනු ලබන කිසිදු කම්කරු අයිතිවාසිකමක් හෝ රැකවරණයක් ලැබි නොමැති බවය. අවම වශයෙන් ඔවුන් මෙරට කම්කරුවන් පිරිසක් වශයෙන් හෝ කිසිදු පිළිගැනීමකට ලක්ව නොමැති බවත්, රට පුරා ගෘහස්ථ කම්කරුවන් 85,000 ට ආසන්න පිරිසක් සේවය කරමින් සිටින බව ය.

Protect Union සංගමය හා ගෘහස්ථ කම්කරු සංගමය සමග පැවති සාකච්ඡාවේදී ප්‍රතිචාර දැක්වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත්තේ, ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් පිහිටුවීමට සහ එම ගෘහ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබා දීම සිදු කිරීමට අදාළ පනත් කෙටුම්පත් සංශෝධනය තමන් කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.

සේවක අර්ථසාධක අරමුදල් (EPF) පනත, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් (ETF) පනත සහ ජාතික අවම වේතන පනත ද අයවැය සහන දීමනා පනත ද ඒ අනුව සංශෝධනය කරන බව ද ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

පළමු වරට මෙවැනි පනතක් ගෙන ඒමට ක්‍රියාකිරීම පිළිබඳව වත්මන් කම්කරු අමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කරන බව පැවසූ සංගම් නියෝජිතයෝ කම්කරු අමාත්‍යංශය ගෙන එන මෙම නව නීති සම්පාදනය තුළින් කම්කරු දෙපාර්තමේන්තුව ගෘහ සේවකයන් කම්කරු ප්‍රජාවක් ලෙස පිළිගැනීමකට ලක්වන බව ය. මෙම පණත මෙරට ගෘහස්ථ කම්කරු ප්‍රජාවට විශාල රැකවරණයක් ලබාදෙන බව එම සංගම් නියෝජිතයෝ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *