පහල මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගොවි පවුල් 2002 අවතැන් වේ…

පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව විසින් පසුගියදා (අගෝ.05) මල්වතු ඔය ව්‍යාපෘතිය තුළින් තමන්ට විඳින්නට සිදුවන අනර්ථයන් පිළබඳව පැහැදිළි කෙරෙන මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

එම මාධ්‍ය හමුව අමතමින් එහි කැදවුම්කරු අමරසිංහ ගොවි මහතා කියා සිටියේ “2021 අප්‍රේල් මස බහු කාර්‍ය ජල ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කලත්, මේ දක්වා ව්‍යාපෘතිය නිසා ගොවින් ට සිදුවන හානිය පිලිබඳව හෝ ඒ හේතුවෙන් අවතැන් වන පවුල් සංඛ්‍යාව පිලිබඳ පැහැදිලි අදහසක් තවමත් පවසා නැත.

පලමුවෙන් පවුල් 360 ක් අවතැන් වන බව පැවසුවත් දැන් මේ වන විට පවසා සිටින්නේ වසස්ථාන අහිමි වන පිරිස 204 ක් බවයි. නමුත් ජනාධිපති ලේකම් විසින් එවන ලද ලිපියේ දැනුම් දී ඇත්‍ තේ පවුල් 2002 බලපෑමට ලක් වන බවයි. මෙම ව්‍යාපෘතිය යටතේ අවතැන්වන ගොවි පවුල් සංඛ්‍යාව පිලිබඳව කිසිදු සඳහනක් ඔවුන් වෙත දන්වා නෑ.

මෙම ව්‍යාපෘතිය නිසා දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක ගම්මාන 22ක, වැව් 22 ක් සමග ගොඩ මඩ ඉඩම් අක්කර 7000ක් පමණ වෙනව. සමස්ථ වශයෙන් ව්‍යාපෘතිය හේතුවෙන් අක්කර 6568 ක ගොඩබිම් ප්‍රදේශයක් විනාවීමට නියමිතයි.

පසුගිය රජය පැවසුවේ පහල මල්වතුඔය ජලාශය ඉදිකිරිමට පෙර අවතැන් ජනතාවට සාධාරණ වන්දි මුදලක්, පදිංචියට සුදුසු ප්‍රදේශයක ඉදිකල නිවසක් ලබාදීමටත්, එම පවුල් සදහා යල, මහ, වගා කළ හැකි කුඹුරු ඉඩම් ගොවීන්ට ලබා දෙන බවයි.

දෙවන වතාවට ව්‍යාපෘතිය ආරම්භ කිරිමේදී මේ කිසිදු සොයා බැලීමක් කළේ නෑ”.

රස්මික වැව ආර්.සිරිපාල ගොවි මහතා “2015 දී තමන් මෙම ව්‍යාපෘතිය පිලිබඳව දැනුවත් වුනා. එසේ දැනුවත්වීමෙන් පසුව තන්තිරිමලේ රජමහා විහාරයේ නායක් ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් සෑම ගමකම අවතැන් වන්නගේ සමිති ආරම්භ කළා. සමිතිවලට මඩින් අක්කරක් හා ගොඩ ඉඩම් වලින් අක්කර 1 1/2 ක් ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වුනා. නමුත් දැන් කියනවා අක්කර 1/2 යි දෙන්නෙ කියලා.‍ අපි ගොවියෝ අපි දන්නේ ගොවිතැන් කරන්න. අපිට ඔය කියන නගර සැලසුම් වලින් වැඩක් නැහැ. මේ ගම් වල 80% ක් ඉන්නේ ගොවියෝ එයිනුත් 50% කට වඩා ඉන්නේ කිරි ගොවියෝ. ඉතින් අපිට ඔය කියන ඉඩම් ප්‍රමාණය කොහොමවත් ප්‍රමාණවත් නැහැ.

අපි මෙහෙට ආවේ 1982 -83 කාලයේ ‘සාගිනි නිවිමේ ව්‍යාපාරය’ යටතේ ඉඩම් ලැබිලා. අපි හොදට ගොඩ මඩ වවනවා. අපේ ගමේ සමෘද්ධි පවුල් ඉන්නෙත් කිහිපයයි. අපි ඒක නිසා ආණ්ඩු අපිට කල දේවල් වලට ණය නැහැ”.

අනුලාවතී ගොවි මහත්මිය “අපි වසට 30ක් පැවති යුද්ධය නිසා පීඩා වින්දා. දැන් අපි හොඳට හොවිතැන් කරගෙන ඉන්නවා. අපි දාඩිය මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සු. දැන් ඩෑම් එක හදන්න පටන් අරන් තියෙන්නේ අලි මරු වන බිම් ප්‍රදේශයක.  දැනටම ඔවුන්ගේ ගමන් මාර්ග වෙනස් වෙලා නිසා අලි ගම් වැදිලා. සදමල් එලිය ගමේ ගෙවල් කීපයක් ම මේවනවිටත් ගම්වදින අලි කඩා දලා. දැන් මහ දවල්ටත් අලි පාරේ. වනසත්තු ගම් වදිනවා. ඒක සිදුවෙන්නෙත් මේ ව්‍යාපෘතිය නිසා නම් අපිත් මෙහි අවතැන් වන ජනතාවක් වෙනවා. අපිට වන සත්තු එක්ක ඔට්ටු වෙවී ගොවිතැන් කරන්නවත් ජීවත් වෙන්නවත් බැහැ. කොහොම වුනත් අපි කියන්නේ මේ ප්‍රදේශයේ පවුල් 12500 ක් විතර මේ ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් වෙයි කියලා.

මධ්‍යම නුවර ගම් පලාත ප්‍රදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සුමිත් මංත්‍රීවරයා “ මෙම ව්‍යාපෘතිය තුළ විශාල අක්‍රමිකතා ප්‍රමාණක් සිදුවෙනවා. ජනතාව ට සහන සලසන ක්‍රමවේදක් පිලිබඳව තවමත් පැහැදිලි අදහසක් නෑ. ප්‍රදේශයේ ජනතාව විසින් නැවත් ඉඩම් ලබාදීම පිලිබඳව විකල්පයන් ඉදිරිපත්කර තිබෙනවා. ඒ සඳහා ද කිසිදු සැළකිල්ලක් දක්වන්නේ නෑ.

ඉඳල ම ප්‍රදේශවාසින් මෙම ව්‍යාපෘතිය නැවත්වීමට උත්සහයන් බොහෝමයක් ගත්තත්, මේ වනවිට ව්‍යාපෘතිය ආරම්භකර තිබෙන නිසාත්, උමා ඔය, යාන් ඔය ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වූ ජනතාව තවමත් නිසි ලෙස වන්දි හෝ ඉඩම් ලබා ගෙන නොමැති නිසාත් ඔවුන් ඔවුන්ගේ අරගලය ගෙන යනවා.

එමෙන්ම ව්‍යාපෘති ආරම්භක යෝජනාවෙදී කියා සිටියේ අවතැන් ජනතා හට ව්‍යාපෘත්වල රැකියා අවස්ථා සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙනව කියල. නමුත් මේවන විට ඒ සඳහා ඉතා අධික මුදලකක් ගෙවමින් අම්පාර ප්‍රදේශයේ පුද්ගලයන් මෙහි කම්කරුවන් ලෙස බඳවා ගෙන තියෙනවා. එමෙන්ම මෙහි පස් අදින්න ටිපර් යොදා ගනිමින් අම්පාර ආදම්බවා නම් කොන්ත්‍රාත්කරුවකු කරගෙන යනවා. මෙවැනි අක්‍රමිකතා සිදුකරම්න් ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මංකොල්ල කන බව ඉතා පැහැදිළියි.

සටහන විමුක්ති ද සිල්වා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *