සොබාදහමේ ගොවිතැන ගැන පැහැදිළි කිරීමක් !

පෙරදිග ධාන්‍යාගාරය

ලංකාවේ කෘෂි කර්මාන්තය ආරම්භ වී අවුරුදු 3000ක අතීතයක් ගෙවී අවසන්. කෘෂි කර්මාන්තයට සමගාමීව ආර්ම්භ වූ වාරි කර්මාන්තය ද ඒ හා සමාන ඉතිහාසයකට උරුමයක් ඇත. මේ කර්මාන්තයන් දෙකක් වුවත් ඉතිහාසය පුරාම පැවතියේ එකකින් අනෙක පෝෂණය වන ක‍්‍රියාදාමයක ය. ලංකාවේ කෘෂි කර්මාන්තය ආරම්භයේ සිට 1950 දශකය වන තුරු පැවතියේ ස්වභාවිකත්වය සමග මුසු වූ ගොවිතැන් ක‍්‍රමයක ය. වැඩිහිටි පරම්පරාවෙන් තරුණ පරම්පරාවට දැනුම, ඥාණය හුවමාරුවීම මගින් අවුරුදු 3000ක දීර්ඝ ඉතිහාසයක් උරුමවීමට හේතු සාධක විය. ලංකාවේ පැවති ස්වාභාවික කෘෂි කර්මාන්තය මෙතරම් කාලයක් පැවතීමට හැකි වූයේ සොබාදහමට අනූන වූ කි‍්‍රයාවලියක් ඒ තුළ අන්තර් ගත වී තිබීම හේතුවෙන්ය. ලංකාව කෘෂි කර්මාන්තයෙන් ලැබූ දියුණුව නිසා අතීතයේ ලංකාව හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසිනි.

ශාක පෝෂක විද්‍යාව

වනාන්තරයක ගස් වැල් වර්ධන වී ඵළ දරන්නේ ස්වභාවික ක‍්‍රමවේදයකට අනුවයි. ඒ ශාකයක් වැඞීමට අවශ්‍ය පෝෂක පදාර්ථ එම වනය තුළ ස්වභාවික නිර්මාණයවීම මගිිනි. එය සිදුවන්නේ ප‍්‍රධාන ලෙස වායුන්වලින් සහ පොළව තුළ සිදුවන සමතුලිත ස්වභාවික ප‍්‍රතිඵලයක් වශයෙනි. ශාකයක වර්ධනයට ස්වභාවික පරිසරයේ තිබෙන මූල ද්‍රව්‍ය 17ක් අවශ්‍යයි. ඒ කාබන්, හයිඩි‍්‍රජන්, ඔක්සිජන්, නයිටි‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්පර්, බොරෝන්, ක්ලෝරීන්, තඹ, යකඩ, මැග්නිස්, මොලිබිඩියන්, සින්ක් හෙවත් තුන්තනායගම් වැනි මූලද්‍රව්‍ය. ඇතැම් ශාකවලට නිකල් සහ ඇලූමිනියම් යන මූල ද්‍රව්‍යයද එම ශාකවල විශේෂ කර්තව්‍යක් සඳහා අවශ්‍ය බව විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙනවා. මේ මූල ද්‍රව්‍යවල ප‍්‍රධාන සංඝකට තුන වන කාබන්, හයිඩි‍්‍රජන් සහ ඔක්සිජන් ලබා ගන්නේ වායුගෝල මගින් සහ ජලයෙන්. ඒ වගේම සුර්යාලෝකය ශාකයේ හරිතප‍්‍රද නිපදවා ගැනීමට සහ ශාකයේ වර්ධනයට විශාල මෙහෙවරක් ඉටු කරනවා. ඉතිරි පෝෂක පදාර්ථ ලබාගන්නේ පොළොවෙන්. ශාක නයිටි‍්‍රජන් අවශෝෂණය කර ගන්නේ ඇමෝනියම් හෝ නයිටේ‍්‍රට මගින්. පොස්පරස් ලබා ගන්නේ පොස්පේට් මගින්. පොටෑසියම් ලබා ගන්නේ පොටෑසියම් අයන මගින්. සල්ෆර් ලබා ගන්නේ සල්ෆේට් මගින්. කැල්සියම් අයන මැග්නීසිම් මගින්, බොරොන් බේරේට මගින්, තඹ යකඩ ලෙසත්, මැග්නීසියම් අයන ලෙසත්, මොලිබ්සනම් මොලිබේට ලෙසත්, තුන්තනාගම් හෙවත් සින්ක් ලෙසත්, ශාක මේ පෝෂක පදාර්ථ පොළවෙන් අවශෝෂණය කරගන්නවා.

වනාන්තරයක ශාකයක් ඉපදී, වර්ධන වී ඵල දරන කාලය පැමිණි පසු මලින් බරවී ඵල දරනවා. ධාන්‍ය, අල, පලතුරු, එළවළු යන ඵලය හට ගන්නේ තම ශාක ප‍්‍රජාවේ ව්‍යාප්තිය සඳහා. ඵලය යනු කාබන්, හයිඩි‍්‍රජන්, ඔක්සිජන් සංයෝග තුන විසින් කාබෝහයිඞ්රේට් නිපදවීමේ කි‍්‍රයාවලියයි. කාබෝහයිඞ්රෝට් යනු පිෂ්ටය. කාබන්, හයිඩි‍්‍රජන්, ඔක්සිජන්වල සංයුතියේ වෙනස්කම් අනුව ශාකයෙන් ශාකයට හටගන්නා ඵළයෙන් ඵලයට වෙනස්කම් වනාන්තරයක දකින්න පුලූවන්. වනාන්තරයක ශාක හට ගැනීමේදී ප‍්‍රාදේශීය ආවේනික ලක්‍ෂණ වගේම එහි ශාක වැවෙන විවිධත්වයක්ද දකින්නට පුලූවන්. එවිට කුඩා භූමියක හටගන්නා ඵලයේ විවිධත්වය විසින් ශාක ව්‍යාප්තියේ පැවැත්ම ආරක්‍ෂාවනවා සේම එමගින් පසට ලැබෙන පෝෂණ ගුණය අති විශාල වෙයි.

එම ඵලයයෙන් කොටසක් සත්ව ප‍්‍රජාවගේ ආහාර බවට පත්වෙනවා. එවිට සතුන් බැහැර කරන අපද්‍රව්‍යය (මල සහ මුත‍්‍රා) පෝෂක කොටස් ලෙස වනාන්තරයට ම නැවත එකතුවෙනවා. කැළයේ සතුන්ගේ ආහාර දාමය විසින් පෝෂක පදාර්ථවලින් පසට සුවිශේෂී කාර්යභාරයක් ලැබෙනවා. ඒ වගේම ශාකයකින් බිමට වැටෙන ඵලයක් සමග ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක‍්‍රියා කි‍්‍රයාරිත්වය තවත් රසායනික ක‍්‍රියාවලියක ආරම්භයයි. එම ක‍්‍රියාවලියට පොළොව මතුපිට කෘමීන් බැක්ටීරියා වගේම පොළොව අභ්‍යන්තරයේ සිටින ක්‍ෂුද්‍ර ජීවීනගේ සිට ගැඩිවිල්ලන් දක්වා මේ පෝෂක ක‍්‍රියාවලිය එකතු කරන්නේ විශාල දායකත්වයක්. එවිට ශාකයකට අවශ්‍ය පෝෂක සියල්ල නිෂ්පාදනය වන්නේ ස්වභාවික ජීවී කි‍්‍රයාවලියක් හරහා. ඒ වගේම එම ශාකය මියගිය පසුත් තවත් ක්‍ෂුද්‍ර ජීවී ක‍්‍රියාවලියක් ආරම්භ වෙනවා. එමගින්ද පසේ පෝෂක කි‍්‍ර‍්‍රයාවලිය තවත් ශක්තිමත් වෙනවා. වනාන්තරයක ගසක් පැලවී, වැඞී, ඵළ දරා, කාලයත් සමග මියගියත් ස්වභාවික පෝෂක පදාර්ථ වර්ධනයේ පවතින්නේ අපූර්වත්වයක්. ඒ නිසා වනාන්තරකට බාහිරින් පෝෂක පදාර්ථ යෙදීම අවශ්‍ය වෙන්නෙ නැහැ. එවිට වන්නතරයක සිදුවන පෝෂණ ක‍්‍රියාවලිය හඳුනා ගන්නෙ ස්වභාවික පෝෂණකරනය යන නමින්.

කෘෂි බෝග පෝෂක විද්‍යාව

කෘෂි කර්මාන්තයේදී වගා භූමියක් කියන්නේ ස්වභාවික පරිසර පද්ධතියක් නොවෙයි. එය මිනිසා විසින් ගොඩ හෝ මඩ ලෙස වගාවන් සඳහා සකස් කර ගත් භූමි ප‍්‍රදේශයක්. මේ භූමියේ වගාවන් කර ඒවායේ අස්වැන්න එම භූමියෙන් මිනිසා විසින් ඉවත් කර ගනිති. ධාන්‍ය, අල, පලතුරු සහ එලවළු වගාවේදී ඉවත්වන අස්වැන්න 70% (ධාන්‍ය), 80% (අල) සහ 40% (පලතුරු සහ එලවළු) ප‍්‍රමාණයක් වගා භූමියෙන් ඉවත් වෙනව. එවිට වනාන්තරයක සිදුවන ඵලය සහ මියගිය ශාක මෙන්ම සත්ව ප‍්‍රජාවගේ දේහයන් වලින් පසට එකතුවන ස්වභාවික පෝෂක කි‍්‍රයාවලිය කෘෂි කර්මාන්තයේදී සිදු වෙන්නෙ නැහැ. යම් කෘෂි භූමියකින් අස්වැන්න සමග ඉවත්වන පෝෂක පදාර්ථ එම භූමියට පිටතින් නොලැබුනොත් නැවත වගා කිරීමේදී එම භූමියෙන් ලැබෙන අස්වැන්න අඩු වීමට බලපාන ප‍්‍රධාන හේතුවක් වෙනවා.

එවිට මේ පෝෂක පදාර්ථ ස්වාභාවික ක‍්‍රමයට කාබනික පොහොර ලෙස සකස් කර ගත්තත්, රසායනික පොහොර ලෙස කෘතිමව සකස් කර ගත්තත් කෘෂි කර්මාතයට යෙදිය හැකියි. මේ මොන ආකරයටකට පෝෂක පදාර්ථ යෙදුවත් බෝගයකට පෝෂක පදාර්ථ අවශශෝෂණය කර ගන්නේ එකම ක‍්‍රමවේදයකට අනුව. රසායනික පොහොරවල පෝෂණ ගුණය ඉහළ ප‍්‍රතිශතයක් තිබෙන අතර, කුඩා භූමි ප‍්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලැබිය හැකි ගුණයක් රසායනික පොහොර තුළ අඩංගුව පවතිනවා. රසායනික පොහොර වර්ගයක් වන මොනෝ පොටෑසිම් පොස්ෆේට්වල පොටෑසියම් ගුණය 34%ක ප‍්‍රතිශතයක් තිබෙන අතර, පොස්පරස් 52%ක ප‍්‍රතිශතයක් අඩංගුයි. ඒ වගේම ඉන්ධන නිපදවීමේ අතුරුඵලයක් ලෙස නිපදවන යුරියාවල නයිටි‍්‍රජන් 46% ප‍්‍රතිශතයක් අඩංගුව තිබෙනවා. රසායනික පොහොර නිපදවීමේදී ලබාගන්නා අමුද්‍රව්‍යවල විෂ සහිත බැරලෝහ මෙන්ම විෂ සහිත රසායනික කොටස් අඩංගුව පවතිනවා.

රසායනික පොහොර ඉක්මනින් ජලයේ දියවෙන නිසා පෝෂක කොටස් බෝගයට අවශෝෂණය කරගැනීම වේගවත්. ඒ නිසා වගාවට අවශ්‍ය පෝෂණය ඉක්මනින් ලබා දිය හැකි ක‍්‍රමවේදයක් ලෙස රසායනික පොහොර හඳුනා ගතහැකියි. ඒ වගේම රසායනික පොහොරවල ඇති විෂ සහිත බැර ලෝහ මෙන්ම විෂ සහිත රසායනික කොටස්ද ඉක්මනින් ශාකයට අවශෝෂණය කර ගන්නවා. එවිට විෂ සහිත බැර ලෝහ ඵලයටද (අස්වැන්නටද) සම්බන්ධ වෙනවා. ඒ වගේම රසායනික පොහොර ක්‍ෂණිකව ජලයේ දියවෙන නිසා භාවිතයෙන් පසු වැඩි කොටසක් ජලය සමග මුසු වී ගසාගෙන ගොස් ගංගාවල, වැව්වල වගේම භූගත ජලය සමග මුසුවෙනවා. මෙලෙස රසායනික පොහොරවලින් 70% පමණ ප‍්‍රමාණයක් ජලය සමග මුසුවී ගසා ගෙන යයි.

එවිට කෘෂි කර්මාන්තයේදී මේ තීරණාත්මකව පෝෂ්‍ය පදාර්ථ කාබනික පොහොර මගින් ද ලබා දිය හැකියි. කාබනික පොහොර තුළ මේ පෝෂක පදාර්ථ සමහරක් ඉතා ඉහල අගයක් පැවතුණත් නයිටි‍්‍රජන් ස්වභාවිකව නිෂ්පාදනය කිරීමෙන් ලැබෙන ප‍්‍රතිඵලය ඉතා දුර්වල මට්ටමක පවතින්නේ. ශාකයකට නයිටි‍්‍රජන් අවශ්‍ය වන්නේ ශක්තිමත්ව වර්ධනය වීම සඳහා. ධාන්‍ය සහ අල වර්ගවල ස්වාභාවික බීජයේ 15% පමණ පැවැත්ම සඳහා අවශ්‍ය නයිටි‍්‍රජන් ප‍්‍රමාණයක් අඩංගුව පවතියි. මේ ප‍්‍රමාණය අස්වැන්න සමග ඉවත් වූ පසුව වගා භූමිය තුළ නයිටි‍්‍රජන් ඌනතාවයක් ඇතිවේ. ස්වභාවිකව නිෂ්පාදනය කරන කාබනික පොහොර තුළ නයිටි‍්‍රජන් ප‍්‍රතිශතය 8% කට වඩා වැඩි කර ගන්නට හැකියාවක් තවම දියුණු වී නැහැ.

වායුගෝලයේ 78%ක ප‍්‍රතිශතයක් තියෙන්නෙ නයිටි‍්‍රජන් වායුව. නමුත් වායුගෝලයේ තිබෙන නයිටි‍්‍රජන් ශාකයකට වායුවක් ලෙස අවශෝෂණය කර ගන්නේ නැහැ. නයිටි‍්‍රජන් ශාකයට අවශෝෂණය කරගන්නේ පසට එකතුවන නයිටි‍්‍රජන්වලින් පමණයි. වායුගෝලයේ තියෙන නයිටි‍්‍රජන් පොළොවට එකතු වන්නේ අකුණුවලින්. ඒ වගේම නයිටි‍්‍රජන් අඩංගු ජලජ ශාක වගේම ගොඩබිම මත වැවෙන ශාක ද තිබෙනවා. ඒවායේ නයිටි‍්‍රජන් ප‍්‍රතිශතය 2%ක 3%ක වැනි අවම ප‍්‍රමාණයක් පමණයි අඩංගු වෙන්නෙ.

පසට නයිටි‍්‍රජන් එකතු වෙන්නේ පසේ සිටින බැක්ටීරියා ක‍්‍රියාකාරිත්වය මගින්. බැක්ටීරියා ඵලය සමග මියගිය ශාක සහ සත්ව සිරුරු සමග මෙන්ම සතුන්ගේ අපද්‍රව්‍ය සමග  ක‍්‍රියාකාරී වී නයිටි‍්‍රජන් පසට එකතු කරනව. අනෙක් පසින් ගැඩිවිල් පණූවන් මගින් ස්වභාවික ක‍්‍රමවේද යොදාගෙන නයිටි‍්‍රජන් නිෂ්පාදනයෙන් 22%ක ප‍්‍රතිශතයක් ලබා ගත හැකි බව පාංශු විද්‍යාඥයන්ගේ මතයයි. ගැඩිවිල් පණුවන්ගෙන් නයිටි‍්‍රජන් නිපදවන ක‍්‍රමවේදය ස්වාභාවිකව නයිටි‍්‍රජන් නිපදවන වර්තමානයේ පවතින දියුණුම ක‍්‍රමවේදය ලෙස හඳුනා ගත හැකියි. ඒ වගේම මාළුන්ගේ අපද්‍රව්‍ය වලින් කාබනික පොහොර සාදන්නේ නම් 12% පමණ නයිටි‍්‍රජන් ප‍්‍රතිශතයක් ලබා ගත හැකි බව ඔවුන්ගේ මතයයි. මේ ක‍්‍රම දෙකම ඉතාත් දුෂ්කර පොහොර නිපදවීමේ ක‍්‍රමවේදයන් වගේම මහා පරිමාණයෙන් නිපදවා ගත හැකි නම් යම් කාබනික පොහොර සහ ගැඩවිල් පණුවන්ගේ නයිටි‍්‍රජන් එකතුවෙන් 30% එකතුවක් සාදාගත හැකි බව පාංශු විද්‍යාඥයන් තහවුරු කර තිබෙනවා. ඒත් යුරියාවල තියෙන නයිටි‍්‍රජන් පෝෂක ගුණය වන 46%ට ළ`ගා වන්නට ස්වාභාවික නිපදවා ගත හැකි කාබනික පොහොර ක‍්‍රමවේදයක් දැනට ලෝකයේ සොයාගෙන නොමැත.

හරිත විප්ලවය

ලංකාවේ පාරම්පාරික කෘෂි කර්මාන්තය වෙනස්වන්ට පටන් ගත්තේ 1950දී ලෝකයේ හරිත විප්ලවය නමින් ආරම්භ වූ නව සංකල්පයත් සමගින්. එහිදී පැරණි ස්වාභාවික කෘෂි බෝග වගා ක‍්‍රමය වෙනුවට වාණිජ පරමාර්ථයක් මත රසායනික පොහොර යොදා ගෙන බෝග වගා ක‍්‍රමය වෙනස් කිරීමට පියවර ගෙන තිබුණේ. එහිදි පැරණි ස්වාභාවික බෝග වගා ක‍්‍රමයේ පැවති අඩු අස්වැන්න වෙනුවට වැඩි අස්වැන්නක් ලබාගැනීමේ ක‍්‍රමවේදයන් හරිත විප්ලවය මගින් හඳුන්වා දෙනු ලැබුවා.

එහිදී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අවශ්‍ය දෙමුහුන් බීජ සහ ඒවාට සරිලන රසායනික පොහොර වගේම කෘෂි රසායනික ද්‍රව්‍ය හඳුන්වාදීම ද සිදුවුනා. ලංකාවේ සියළුම දිස්ත‍්‍රික්කවල රසායනික පොහොර වගාව වේගයෙන් හඳුන්වා දීමට එවකට පැවති රජයන් පියවර ගෙන තිබුණා. එවිට පැවති ස්වාභාවික බෝග වගා ක‍්‍රමයේ තිබූ පාරම්පාරික ඥාණය සහිතව සිටි වැඩිහිටි පරම්පරාව මේ අවුරුදු 70ක කාලය තුළ මිය ගිය අතර, නව පරපුර ඒ පිළිබඳ අවධානය යොමු නොකර හරිත විප්ලවයෙන් ඇරඹි නව බෝග වගාවේ නිරත වෙනවා. ඒ නිසා කෘෂි කර්මාන්තයේ අවුරුදු 3000ක් පැවති පාරම්පාරීක ඥාණය ලංකාවෙන් ගිලිහී යාමද සිදුවුනා.

රසායනික පොහොර භාවිතය

හරිත විප්ලවය විසින් සමස්ථ බෝග වගාව දැවැන්ත පරිවර්තනයකට භාජනය කර තිබෙනවා. පැරණි සම්ප‍්‍රදායික ගොවිතැන උඩු යටිකුරු කර වෙනස්ම මගකට ගැනීමට කි‍්‍රයාකරනු ලැබුවා. පැරණි බීජ ක‍්‍රමය වෙනුවට පර්යේෂණ මගින් වැඩි දියුණු කළ දෙමුහුන් බීජ හඳුන්වා දීම සිදුවුනා. එවිට බෝග වගාවෙන් ලැබෙන අස්වැන්න ස්වාභාවික බෝග වගාවට වඩා ඉහල අස්වැන්නක් ගැනීමට හැකියාව වර්ධනය වූනා. ඒ වගේම යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතය මගින් බෝග වගාවට අවශ්‍ය මිනිස් ශ‍්‍රමය අඩුකොට වගා කිරීමට අඩු වියදම් ක‍්‍රමවේදයක් හඳුන්වා දීම සිදුවුනා. ඒ වගේම අඩු භූමි ප‍්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලැබීමේ හැකියාව ද වර්ධනය කලා. මේ ක‍්‍රමවේදයේ දී ප‍්‍රධාන ලෙස කෘතිමව නිපදවූ රසායනික පොහොර භාවිතය කෘෂි රසායනික භාවිතය වැනි නවීන ක‍්‍රමවේදයන් හඳුන්වා දීම ද සිදුවුනා. මෙහිදී කෘෂි බෝග වගාවේ අංශ දෙක වන ගොඩ මඩ වගාවන් විශාල ලෙස ව්‍යාප්ත කිරීමටත් ලංකාව පුරා භූමි ප‍්‍රමාණය වැඩි කරමින් රටේ ආර්ථික ක‍්‍රියාවලිය වේගවත් කිරීමටත් සමත් වුනා. යල මහ කන්න දෙක වගා කරන මඩ භූමි ප‍්‍රමාණය හෙක්ටර්යාර් මිලියන 133ක් දක්වා වර්ධනය කිරීමට එවකට පැවති රජයන් සමත් වූනා. ගොඩ බෝගවගාව සඳහා හෙක්ටර්යාර 97,120ක් දක්වා වර්ධනයක් සිදුවුනා.

දකුණ ප‍්‍රදේශයේ කෘෂි කර්මාන්තයේ නිරතවන ජී. ඞී ජිනදාස මහතා අදහස් දක්වමින් ”මට අවුරුදු අසූපක් විතර වෙනව දැන්. මම පුංචි කාලෙ ඉදල ගොවිතැන් කරනවා. ඒ දවස්වල අපි වැපුරුවෙ දේශීය වී වර්ග තමයි. ඒවාට පොහොර හැටියට දැම්මෙ කැප්පෙටිය, මකුලත, ගෙඩි ඇට පෝර වගේ දේවල්. 1960 ගණන්වල වගේ තමයි රසායනික පොහොර ආවෙ. ඊට පස්සෙ ඒකට හුරු වුනා. රසායනික පොහොර දැම්මහම අස්වැන්න වැඩියි. ඒ දවස්වල දේශීය වී වගා කරල වී බුසලට අස්වැන්න වී මලූ අටක් විතර තමයි තිබුනෙ. රසායනික පොහොර දාන්න පටන් ගත්තට පස්සෙ ඒක තුන් ගුණයකින් වැඩි වුනා. ඒ කියන්නෙ බුසලෙන් මලූ විසිහතරකට වැඩිය තියෙනවා”.

රසායනික පොහොර සහ කෘෂි රසායනික භාවිතය නිසා පසේ පැවති ස්වාභාවික ගුණය අහොසි වී යනවා. කෘෂි රසායනිකවල සහ රසායනික පොහොරවල විෂ රසායනික ගුණය ක්‍ෂුද්‍ර ජීවීන්ට පවතින්නට නෙැහැකි පරිසරයක් නිර්මාණය කරනවා. ඒ නිසා ක්‍ෂුද්‍ර ජීවීන් ගොවි බිම් වලින් වඳ වී යාම ද සිදු වෙනවා. එවිට පසේ සිදු වූ ක්‍ෂුද්‍ර ජීවී පෝෂක ක‍්‍රමවේදය නොමැතිවයි කෘතිමව සමස්ත බෝග වගාව ඉදිරියට ගමන් කරන්නේ. රසායනික පොහොර වගාවෙන් කන්නයෙන් කන්නයට කෘතිම පෝෂක පදාර්ථ පොළොවට එකතු කරමින් අස්වැන්න වර්ධනය කිරීමයි සිදුවන්නේ. හරිත විප්ලවය ආරම්භයේ පැවති තත්වයට වඩා රසායනික පොහොර බෝග වගාව වර්තමානනේ අධික වියදම් ක‍්‍රියාවලියක් බවට පත්ව තිබෙන්නේ මේ නිසා.

අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් පරිදි රාජ්‍ය අයවැය ලේඛණය මගින්ද අතිවිශාල මුදලක් රසායනික පොහොර සහනාධාර සඳහා ලබා දෙන අතර 2019 දී රුපියල් බිලියන 35ක මුදලක් වැය කර ඇත. 2020 දී රුපියල් බිලියන 50ක ප‍්‍රතිපාදනයක්ද ඒ සඳහා වෙන්කර ඇත. රසායනික පොහොර, වල්නාශක හා පලිබෝධනාශක සඳහා අතිවිශාල ජාතික වියදමක් දැරුවද කෘෂිකාර්මික නිෂ්පාදනවල ගුණාත්මක භාවයෙන් යුත් ඉහළ නිෂ්පාදනයක් ද සිදුවී නැත. පසෙහි සාරවත් බව අඩුවීමත් ජෛව විවිධත්වය විනාශවීමත් තුළ ඉහළ ඵලදායිතාවයකට අවශ්‍ය පසෙහි පී.එච්. අගය හීන වී ඇත. පස නිසරුවීමට සහ ජීවීන් විනාශවීමද සීඝ‍්‍ර වී තිබෙනවා.

සෞඛ්‍ය ගැටළුව

මේ අවුරුදු හැත්තෑව තුළ රසායනික පොහොර භාවිතය නිසා ඇතිවී තිබෙන ප‍්‍රධාන ගැටළු නම් ජනතාවගේ සෞඛ්‍යයට හානි පමුණුවමින් පැවතීමයි. දිගින් දිගටම රසායනික පොහොර භාවිතය නිසා විෂ රසායනික අඩංගු ආහාර ගැනීම මගින් මතු ඉපදෙන්නට කුස තුළ සිටින දරුවාගේ සිට වැඩිහිටියා දක්වා බලපෑම් ඇති කර තිබෙනවා. නොසිතූ විරූ ලෙස සමාජයේ රෝගීවන වැඩිහිටියන් වගේම කුඩා දරුවන් ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

පසට අධික රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක යෙදීම නිසා ඇල දොළ ගං`ගා ජලය ¥ෂණය වී ඇති අතර ජනතාවට ගුණාත්මක භාවයෙන් යුත් පානීය ජලය සැපයීමද දැඩි අභියෝගයක් වෙමින් පවතී. රසායනික පොහොර භාවිතය තුළ නිෂ්පාදනය වන සහල්, ධාන්‍ය වර්ග, එලවළු හා පලතුරුවල වස විෂ අන්තර්ගත වීමත්, ජලයේ ගුණාත්මක බව හීනවීමත් තුළ පිළිකා වකුගඩු රෝග බහුල වී තිබෙනවා. ග‍්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමිවීමත්, සෞඛ්‍ය තත්වය දුර්වලවීමත්, ජනතාවගේ ඵලදායිතාවය අඩුවීමත් රට මුහුණ දෙන තවත් අභියෝගයක් වී තිබෙනවා.

වෛද්‍ය විශේෂඥ මතය වන්නේ පවතින ආහාර තුළ විෂ රසායනික පදාර්ථ අඩංගුවීම නිසා මිනිස් සිරැුරේ අවයව පද්ධතියට හානි විය හැකි බවයි. 2020දී පිලිකා රෝගයට අළුතින් ගොදුරුවූ පිරිස 29,604ක් බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වර්ෂයේදීම පිළිකා රෝගය නිසා 16,691ක් මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවා. අනෙක් අතට වගා බිම්වලින් ජලයට එකතුවූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම නොවැලැක්විය හැකියි. ආහාරවල සහ ජලයේ විෂ රසායනික අඩංගු වීම නිසා විවිධ රෝග වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ වගේම විෂ රසායනික ශරීර ගතවීම නිසා ශරීරයේ විවිධ රෝගාබාධවලට ලක් වූ රෝගීන්ට කොවිඞ් වෛරසය ශරීර ගතවූ පසු ප‍්‍රතිශක්තිකරණය තම ශරීරය තුළ නිපදවා ගැනීමටද නොහැකිව සංකූලතා ඇතිවී මිය යාම ද බහුල වී තිබෙනවා. එවිට මිනිසා සොභාදහම සමග පැවති ජීවිතයෙන් වියෝවී නූතන සමාජයේ විගලිත මිනිසෙක් මේ කෘෂි රසායනික භාවිතය මගින් නිර්මාණය කර තිබෙනවා. එවිට ආර්ථිකමය, දේශපාලනමය හා සමාජීය ගැටළු රාශියක් කෘෂි රසායනික භාවිතය නිසා නිර්මාණය කර තිබෙනවා.

කාබනික පොහොර වගාව

කාබනික පොහොර ගොවිතැන් ක‍්‍රමයේ පවතින ප‍්‍රධාන ලක්‍ෂණය වන්නේ භෞතික සාධක හා ජීව විද්‍යාත්මක සාධකයි. පසේ පී එච් අගය, ජලය රඳවා ගැනීම, පසේ අන්තර්ගත වායු ප‍්‍රමාණය, පසේ ගැඹුර, වැලි, මැටි, රොන් මඩ වැනි කොටස්වල අනුපාතය ඒ අනුව වැදගත්. පසක මෙවැනි ලක්‍ෂණ වැඩි දියුණු කිරීමට කාබනික පොහොර වැදගත් වන අතර, ඒ අනුව බෝග වගාව ඵලදායීතාවය ක‍්‍රමක‍්‍රමයෙන් වර්ධනය කරගැනීමට හැකියාව පවතිනවා. කාබනික පොහොර භාවිතය නිසා පසේ නැවත ක්‍ෂුද්‍ර ජීවීනගේ ක‍්‍රියාකාරීත්වය ඇති වී පසේ පෝෂක පදාර්ථ නිපදවීමට යම් කෙටි කාලයක් ගතවෙනවා. අනෙක් අතට කාබනික පොහොර භාවිතය නිසා ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක‍්‍රියාකාරීත්වයෙන් පෝෂක පදාර්ථ නිර්මාණය වීම කාබනි පොහොර වගාවට අත්‍යවශ්‍යම සාධකයක්. මෙලෙස කාබනික පොහොර යෙ¥ පසු පසෙහි ස්වභාවික රසායන කි‍්‍රයාවලිය සක‍්‍රීය වී භෞතික හා ජීව විද්‍යාත්මක ලක්‍ෂණ වැඩි දියුණු වීම නිසා පසෙහි සාරවත් බව දිගින් දිගටම ආරක්‍ෂා කර ගැනීමට හැකියාව වැඩි කරනවා. එවිට සුලූ වශයෙන් පස ජලයේ මුසුවී සෝදා ගියත් අහිතකර ප‍්‍රතිඵල අත් විදින්නට සිදු නොවීම විශේෂ තත්වයක් ලෙස සැලකිය හැකියි. මන්ද මේ සෝදා යන්නේ ස්වාභාවිකත්වය විසින් ඇති කළ ක‍්‍රියාවලියක් නිසාවෙනි.

මහමන්කඩවල පියරතන ස්වාමින් වහන්සේගේ අදහස වුනේ ”රාජාංගනයේ කාබනික පොහොර බෝග වගාව කරන පහළොස් දෙනෙක් විතර ඉන්නවා. මේ අය අවුරුදු දහයක විතර ඉඳල මේ වගාවෙ යෙදිල ඉන්නෙ. කාබනික පොහොර වගාව ව්‍යාප්ත කරන්න විශාල මැදිහත් වීමක් අපි ගත්තත් ඉතා කුඩා පිරිසක් තමයි එකතු කරගන්න පුලූවන් වුනේ. මේ එක් ගොවියෙක් අක්කර දෙකාහමාරක් විතර වගා කරල වී බුසල් දෙසීයක් විතර ගන්නවා. ආණ්ඩුව අලූතින් කියනවා අපි රසායනික පොහොර වෙනුවට මීට පසු දෙන්නෙ කාබනික පොහොර කියල. මේ කරන්න හදන්නෙත් බොරුවක්නෙ. දැන් මේ ප‍්‍රදේශයේ කාබනික පොහොර වගා කරන ගොවින් පොහොර තමාම හදාගන්නෙ ස්වභාවික ක‍්‍රමවේද පාවිච්චි කරල. ඉතින් මිනිස්සුන්ව යොමු කරන්න  ඕනෙ ස්වාභාවිකව ගොවිතැන් කරන එවැනි දිශාවකට.”

කාබනික පොහොර බෝග වගාව යනු පස සමග මුසුවූ ක්‍ෂුද්‍රජීවීන් සමග කරන වගාවක්. එහිදී ඉවත්වන අස්වැන්නට සරිලන පෝෂක පදාර්ථ ස්වාභාවික ක‍්‍රමවේදයන් මගින් සකස් කර ගැනීම කාබනික පොහොර වගාවේදී ප‍්‍රධාන ක‍්‍රමවේදයයි. මේ ක‍්‍රමවේදය අත් හදා බලන රටවල් බොහොමයක් තිබෙනවා. ඒ ඊසාන දිග ඉන්දියාවේ පිහිටි සිකිම් ප‍්‍රාන්තයේ සුබාෂ් පලේකාර් විසින් ඇරඹි ගවපාලනය මුල්කරගත් ස්වාභාවික ගොවිතැන ව්‍යාපාරය, බ‍්‍රසීලය, කියුබාව ඇතුළු ලතින් ඇමරිකාවේ සමහර රටවල ව්‍යාප්ත වී තිබෙන වියකොම්පොසිනා ස්වාභාවික ගොවිතැන ව්‍යාපාරය, ජපානයේ මහාචාර්ය මසකෝවා පූකියෝතා විසින් ඇරඹූ (කුකුලන් ආශ‍්‍රිතව* ස්වාභාවික ගොවිතැන ව්‍යාපාරය, පිලිපීනයේ ගැඩිවිල් පණුවන් යොදා ගනිමින් නිෂ්පාදනය කරන පොහොරවලින් කරන ස්වාභාවික ගොවිතැන, යුරෝපයේ ඉතාලියේ, ප‍්‍රංසයේ, ජර්මනියේ, නෙදර්ලන්තයේ සහ එංගලන්තයේ  ඕගනික් ෆාමින් කණ්ඩායම් විසින් කරගෙන යන ස්වාභාවික ආහාර නිපදවන ව්‍යාපාර හඳුන්වා දිය හැකියි. මේ කණ්ඩායම් විසින් ඉතා ස්වල්ප වශයෙන් වුවත් එම රටවල මහා පරිමාන රසායනික පොහොර භාවිතා කරමින් කරන ආහාර නිෂ්පාදනයට අභියෝග කරමින් ස්වාභාවික ආහාර නිෂ්පාදනයේ නීයලී සිටිති. මොවුන්ගේ වගා ක‍්‍රමවල ඇති සාධනීය ක‍්‍රමවේදයන් ලංකාවේ ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කාබනික පොහොර වගාවට ආදර්ශයක්. සොබාදහමට හිතකර ආහාර නිෂ්පාදනයක් ගොඩ නැගීමට විවිධ රටවල් ඉදිරිපත් වෙමින් සිටින මේ යුගයේ අප රට තුළත් සොබාදහමේ ගොවිතැන ව්‍යාප්ත කිරීම සඳහා විප්ලවවාදීන් ප‍්‍රමුඛත්වය ගත යුතුයි.

චමිල් ජයනෙත්ති

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *