උද්ඝෝෂණ තහනම වසංගත මර්ධන පියවරක් නොව දේශපාලන මර්ධනයකි! !

සෞඛ්‍ය අධිකාරිවරයාගේ තහනම් ලැයිස්තුවට උද්ඝොෂණ සහ වර්ජන එක්කෙරුනේ කෙසේද යන්න තේරුම් කිරීමට නොහැකි එකක් ලෙස පෙනෙන, එහෙත් සක්සුදක් ලෙස පැහැදිලි කරුණෙකි. එය සෞඛ්‍ය කරුණු පදනම් කොටගෙන සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් ගත් එකක් නොවන බව ද ඒ තරමට ම පැහැදිලි ය.

එක් රොක්වීම් සහ දුරස්ථභාවය නොතබාගැන්ම සහ මුවාවරණ නොපැලඳීම කෝවිඩ් පැතිරයාමට හේතුවන ආධාරකයක් ය යන්න ගැන සැකයක් නැත. පොලිසියේ ක්‍රියාකාරිත්වය පෙන්වන්නේ උද්ඝොෂණ සහ වර්ජන නොවන එක් රොක්වීම් වැරදි නොවන බව ය.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස දිවරුම් දීම නිමිත්තෙන් ආධාරකරුවෝ කිරිබත් කමින් එක්‍ රොක් වූහ. මෙවන් චර්යාවන් ගැන සාක්ෂි එමට ය. පොලිසිය අපක්ෂපාතීව ක්‍රියා කරන්නේ යැයි සිතීමට කිසිදු හේතුවක් නැත.

මා දන්නා තරමින් උද්ඝොෂණවලට සහභාගි වූවන් එසේ කළේ මුවාවරණ පැළඳ සහේතුක දුරක් තබා ගනිමිනි. එවන් උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කරනු ලැබුව ද පොලිසිය එහි වරදක් දුටුවේ නැත. අත් අඩංගුවට ගැනීමක් කෙරුනේ ද නැත.

උද්ඝෝෂණවලට සහභාගි වූවන් උසාවිය මගින් ඇපමත නිදහස් කළ ද පොලිසිය කළේ මහජන සෞඛ්‍ය නිලධාරි අනුදැනුමක් නැතිව ඔවුන් නිරෝධායනයට යැවීම ය. ඔවුන්ට PCR පරීක්ෂණ කළ බවක් වාර්තා නොවේ. මේ වනවිට එකී පරීක්ෂණ ප්‍රතිඵල ඔවුන් රෝග ආසාදිතයින් නොවන බව පෙන්වා ඇත.

මේ වාර්තාව පෙන්වන්නේ උද්ඝොෂණ තහනම වසංගත මර්ධන පියවරක් නොව දේශපාලන මර්ධනයක පියවරක් බව ය. එය පෙන්වන්නේ සමාජ ඉහළ මාලයට තවදුරටත් පෙරපරිදි ආංඩුකර නොහැකි බව ය. ලෙනින්ගේ  විග්‍රහය අනුව ගියොත් අප සිටින්නේ විප්ලවීය අවධියක අද්දර ය. වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංවිධාන මේ තර්ජනයට මුහුණදීමට ලෑස්තිය. ඔව්හු ඒ සඳහා ක්‍රමානුකූලව සැරසෙති.

මේ හා බැඳුන අනතුරක් නැත්තේ නොවේ. සමාජ ඉහළ පැලැන්තියේ අනෙක් තීරුව මේ අවස්ථාවේ තැත් කරන්නේ 2015 දී මෙන් පංති අරගලය පීලි මාරුකර වෙනතකට ගෙන යෑමට ය. මේ සඳහා මුලින්ම එවා ඇති පිල්ලිය සමන් රත්නප්‍රිය ය. කලකට පෙර ඔහු නායකත්වය දැරූ ඊනියා ස්වාධීන වෘත්තීය සමිති වළල්ල මේ සඳහා යොදා ගැන්මට සැරසෙනු ඇත. මෙම වෘත්තීය සමිති කෙලින්ම සමගි ජන බලවේගය සමග සමාන්තරව එහි දේශපාලනය පෙරට ගෙනයෑම තම ව්‍යපෘතිය බවට පත්කරගෙන ඇත.

සටන ගමන් ගන්නා පීල්ල තීරණය කළ යුත්තේ චන්නලා, රන්ජන්ලා, චතුරලා, දුමින්ද ලා, සිල්වෙස්ටර් ලා, හරිසදුන් ලා, සංජීව ලා, ලීනස් ලා මිස මේ මංකොල්ලකාරීන් නොවේ. හරිනම් ලාල්කාන්ත සිටිය යුත්තේ මේ රැහේ ය.

තවත් එක් කරුණක් අවධාරණය කළ යුතු ය. මෙය හුදු ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන අරගලයකට ලඝු නොකළ යුතු ය. මෙය නිදහස් අධ්‍යාපනය පිළිබඳ සටනක තවත් පියවරකි. එහිලා පෙරමුණේ ම ඉන්නේ සහ සිටියේ අන්තරේ ය. අන්තරේ ට රථ පෙළපාලි යන්න වාහන නැත. 12 වෙනිදා හවස ලිප්ටන් වට රවුමේ ඔවුන් පෑ සටන්කාමිත්වය ඊට අඩු ලන්සුවේ ක්‍රියාකාරිකම් වලින් බාල්දු නොකල යුතු ය.

ස්ටාලින්, දුමින්ද, තැන්නෙ හාමුදුරුවෝ ඇතුලු පිරිස වහාම ගෙදර එවනු!

සෞඛ්‍ය නීති රකිමින් භාෂණයට පූර්ණ නිදහස තහවුරු කරනු!!

නිදහස් අධ්‍යාපන සටන පෙරට!!!

සුමනසිරි ලියනගේ

sumanasiri.liyanage@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *