3 පරම්පාරාවේ පාඨලී, 2000 නව පරම්පාවට සත්‍ය පවසමු

උපුටාගෙන පළ කිරීම : http://vivaranews.com/archives/42840

මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම් , නන්දසේන රාජපක්ෂ සහ රාජපක්ෂ වංශයේ ඒකාධිපති පාලනයෙන් පුරවැසියා මුදවා ගැනීමට මේ මොහොතේ ගොඩනැගෙමින් තිබෙන විකල්ප බලවේගයක නායකත්වය ගනු ලැබූ, පාඨලී චම්පික රණවක විසින් 2021, මැයි 18 , තබන ලද සමාජ මාධ්‍ය ප්‍රකාශනයක් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමටය. ඔහු ගේ ලිපියේ අන්තර්ගතය නම්, ජනඝාතන යුද්ධයක් වෙනුවෙන් වූ සිය උරුමය, ජනයා වෙත සිහිකැඳ වීමකි (https://www.facebook.com/PataliChampika/posts/2960007657614066).

පාඨලී ට අනුව යුධ ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් වන්නේ ජිවිත පරිත්‍යාගයෙන් සටන් කළ රණ විරුවන් විය යුතුය. ඔබ පවසන රණ විරුවන් (මාගේ අර්ථකථනය අනුව හමුදා ශ්‍රමිකයන් ) සහ ඔවුන් ගේ ආදරණීයයන් ගේ ජිවිත යුධ ජනග්‍රහණයේ හිමි කරුවන් ලෙස විශාල සංවර්ධනයකට මේ මොහොතේ දී පත් වී තිබේද ? අවම වශයෙන් ඔවුන් හට covid 19 වසංගතයට එදිරි එන්නත ලබා දීමේ දී වත් ප්‍රමුඛත්වයක් හිමි වේද ?

මාගේ මුලිකම අත්දැකීම ට අනුව , හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය කොට්ටාශයේ, ලුනම ග්‍රාමසේවා වසම තුල පිහිටුවා ඇති, රණවිරු ගම්මානයක , අබාධිත හමුදා ශ්‍රමිකයන් සහ අතුරුදහන් වූ හමුදා ශ්‍රමිකයන් ගේ ආදරනියන් හර්දසාක්ෂිය පෙන්වා දෙනු ලබන්නේ යුධ ජයග්‍රහණයෙන් ඔවුන් ගේ ජිවිත හි කිසිදු සාධනීය වෙනස් වී නොමැති බවය. අහිමි වූ දකුණු කකුල වෙනුවට වූ කෘතීම පාදය ද පොළවට බරකර විර්රයෙන් ඇදගෙන යන ජිවිතයක් හිමි එම හමුදා ශ්‍රමිකයකු එදිනද, දැඩි හිරු කිරණ පතිතවන පොලොවේ , කන්නය වැපිරීමමෙන් හෙම්බත්වී සිටියේය. ඔවුන් ගේ දරුවන් මල්පෙත්තාව හෝ ඒ ආශ්‍රීත වූ අවම පහසුකම් යටතේ වූ පාසැල් හි අධ්‍යාපනය ලබමින් සිටියෝය. එකම ප්‍රතිලාභය නම්, ඔවුන් ගේ හිසට ඉහළින් වහලක් “රණවිරු ගම්මාන සංකල්පය ” යටතේ හිමි වීම පමණි . මාගේ ගැටලුව නම්, හිසට සෙවනක් ලබාගැනීමට අමානුෂික යුද්ධයක් වෙනුවෙන් ජීවිතය මිලකළ යුතුද ?

යුද්ධය ප්‍රයෝජනවත් වුයේ ඔබ ඇතුළු මධ්‍යම පාංතිකයන්ට පමණි. අමානුෂීය යුධ ජයග්‍රහණය ආයෝජනය කරමින් බලය ලබාගනිමින්, ආණ්ඩුකරණයට සහ දේශීය හෝ විදේශීය නිෂ්පාදන බලවේග මෙහෙය වීමේ වරප්‍රසාදය හිමි වූයේ ඔබ, සරත් වීරසේකර, ප්‍රදීප් උඳුගොඩ , ගෙවිදු කුමාරතුංග, ද ඇතුලත් යනාදීන් ද මධ්‍යම පාංතික කණ්ඩායම වෙතය. රාජපක්ෂවරු පිළිබද නැවත පැවසිය යුතු නොවේ

පාඨලී , ඔබ මේ මොහොතේ ශ්‍රී ලංකාවවෙත අවධානය යොමු කරන්න. මාරාන්තික කොවීඩ් 19 වසංගතය හේතුවෙන් අහිමි වන ජිවිත මතින් දේශපලනය කිරීමට ඔබගේ පරම්පාරාවේ බොහොමයක් උත්සුක වන්නේ, එදා ඔබ ඇතුළු කණ්ඩායම , ජනඝාතනයක් උත්කර්ශනය ට නංවමින් , දේශපාලන බලය ලබාගැනීමට කටයුතු කිරීමේ අශිලාචාර ආදර්ශනය අනුගමනය කරමිනි. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය ඇමැතිනියට අනුව , මෙම වසංගතය හේතුවෙන් මියයන ප්‍රමාණය අවම කරගැනීම උදෙසා මුල්‍ය සහ මානව සම්පත හිඟතාවයකින් ශ්‍රී ලංකාව පෙළෙන පසුබිමක , එය නොතකා , වරාය නගරය පිලිබඳ පනත සම්මත කරගැනීමට උත්සුක වන ආණ්ඩුවේ ආරම්භය ඇත්තේ , ජනඝානතන ය හරහා බලය ලබාගැනීමට ඉතිහාසයේ දී කටයුතු කිරිමේ වැරදි පුර්වාදර්ශනය මත සිටය.

පාඨලී ඔබ මෙන්ම මාද දන්නා පොදු කරුණකි . දෙමළ අරගලය යනු , දකුණේ වාර්ගික දේශපාලනය හරහා වූ සමුල ඝානත, අතුර්දහන් කිරීම්, සුළුජනවර්ගයා ගේ අයිතිය උල්ලංඝනය යනාදිය වෙත දැක්වූ ප්‍රතිචාරයක් බව. ඔවුන් නිදහස ඉල්ලා සිටි අතර ඒ වෙනුවෙන් වූ යෝජනා දකුණේ ආණ්ඩු කිසිවක් බරපතල ලෙස නොසැලකීම ඔබ හොදින්ම දන්නා කරුණකි.

යුද්ධය තෝරාගැනීම හැර වෙනත් විකල්පයක් ලබා දීමට දකුණේ ආණ්ඩු කිසිදිනක කටයුතු කලේද ? “යුද්ධය තුළින් සාමය” යන ධනේෂ්වර අසත්‍යකරනය සමඟ ගනු දෙනු කරමින් , බටහිර ට විරුද්ධ වුවද , බටහිර යුධ ඤාණය සහ අවි ආයුධ භාවිතා කරමින් කරන ලද ජනසංහාරය, පසුව දේශීය විජයග්‍රහණයක් ලෙස නම් කරන්නේ කෙසේද ?

රත්මලානේ මෙන්ම උදයාර්කට්ටු හි ද බෝම්බ පුපුරුනි. දියණියන් සිටින පියාණන් කෙනෙකු ලෙස ඔබ නොදන්නවා නෙවේ, උතුරේ ස්ත්‍රීන් ට සිදුවු ලිංගික හිංසනය, දුෂණ කිරීම් සහ ඉන්අනතුරුව වූ මරාදැමීම් සහ අතුරුදහන් කිරීම්. එසේම ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත යටත් වූ පසු අතුරුදහන් වූ ජිවිත හෙළිදරව් කලයුතු කරුණු වේ . අදටත් උතුරේ මිනිසුන්ගේ බහුතරය ස්ථාවර ගෘහභාණ්ඩ භාවිතා නොකරන්නේ, කොයි මොහොතේ හෝ, තමන්ගේ හිස පැලීමට බෝම්ම හෙලනු ඇති යන අවිනිශ්චිතාවය හේතුවෙනි.

මාගේ දෙමළ මිතුරෙකු මෑතකදීහෙළිකළ අඛ්යානයක් සමඟ මම ලිපිය අවසන් කරමි. ඔහුගේ උපන්බිම, යාපනයේ අච්චුවෙලිය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය පිඨයේ උගනමින් සිටි හෙතෙම, 1983 කළුජුලියෙන් ජීවිතය බේරාගෙන තිබුනේ, විශ්ව විද්‍යාල නේවාසිකාගාර වැසිකිළියක සැඟවී සිටිමිනි. “අපි අමාරුවේ න් ගෙදර ගියා, එදා ජිවිතේ බේරාගෙන . කලබල අඩු වුනාම මම නැවත පැමිණියාට, මාගේ මිතුරන් බොහෝ දෙනෙකු නැවත පැමිණියේ නැහැ. ඔවුන් යාපනයේ රැඳුනා. අපිට තිබුනේ තෝරාගැනීම් දෙකයි. එක්කෝ, රටේම නැවතිලා, අරගලය කරගෙන යන්න. නැතිනම්, රට දාලා යන්න. එවිට අරගලය තෝරාගැනීම වැරදිද ? “.

අංකයක් නොවේ පරම්පාරාවක් වන 43 සෙන්නාංකයේ නායකත්වය දරන ඔබෙන් මම අසන සරලම පැනය , ප්‍රචණ්ඩත්වය හරහා දකුණෙන් හැමවිටම නෙරපා හැරී දෙමළ සමාජය අරගලය තෝරාගැනීම වැරදිද ? ඔබම පවසන ලෙස , ඔබේ පරම්පාරව , මෙම අරගලයේ ආරම්භය හොදින් දැනුවත් වන හෙයින් , කේක් -කිරිබත් සහ ගී රචනා හරහා යුධ වින්දනය ලබන 2000 පරම්පාරාවට පැවසිය යුතු වන්නේ මෙම සත්‍ය නොවේද ?

අරුණි සමරකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *