කොවිඩ් වසංගතය නොතකා ඉදිරියට එන වෘත්තීය, ශිෂ්‍ය හා ගොවි අරගල….

ලාංකේය සමාජ ආර්ථික පසුබිමේ ගැටලු දිනෙන් දිනම උග්‍රවෙමින් පවතී. අර්බුදය හමුවේ වර්ධනය වන ජනතා පීඩනය ලිහිල් කිරීමේ නිවැරදි භාවිතයන් හෝ උපක්‍රමයන්  රජය සතුව නොමැත. පීඩාවට එරෙහිව මතුවෙන ජනතා විරෝධය කොවිඩ් වසංගතය නොතකා ඉදිරියට එමින් තිබේ.වෘත්තීය, ශිෂ්‍ය හා ගොවි අරගල තවදුරටත් වර්ධනය වීමේ ඉඩකඩ විවෘත ය.

ඇතැම් උද්ඝෝෂණවල නිශ්චිත දේශපාලන ඉලක්කයක් හඳුනාගැනීම ද අපහසුය. නැගී එන මෙම උද්ඝෝෂණ විරුද්ධ පාක්ෂිකයින් විසින් සංවිධානයකර මුදාහරින නිර්මිතයන් බව රජය කියා සිටිය ද, ජනතා ක්‍රියාකාරිත්වයකට එළඹීමට අවශ්‍ය තරම් පීඩාකාරී වාතාවරණයක් මේ වනවිට ජන සමාජය තුළ පවතී. මෙම අරගල ජනතා ක්ෂෙත්‍රයේ හටගත් පීඩාවන්ට එරෙහි වූ නැගිටීම් වන බැවින්, අරගලවලට නායකත්වය දීමේ වගකීමක් ද දේශපාලන පක්ෂ හා බහුජන සංවිධානවලට තිබේ.

ආණ්ඩු විරෝධී පෙළගැසීමකට හේතුවූ කරුණු කාරණා රාශියක් මේ වනවිට මතුවී ඇතැයි යන්න බැහැර කළ නොහැක. එසේ වුවද, හුදෙක් රාජ්‍ය  විරෝධය ප්‍රකාශ කිරීම පමණක් හා විරුද්ධ පක්ෂවලට ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණු දක්වා පටු වූ විරෝධයන් ද මෙහිදී හඳුනාගත හැක. මේ යටතේ වැඩකරන ජනතාවගේ දේශපාලන අභිමතාර්ථයන් ද සීමිත රාමුවකට කොටුවී ඇති අන්දම පැහැදිලිය. පංතිමය දේශපාලනයක් වටා එකතුවීමේ උද්ඝෝෂණය පවත්නා පාලනයට විරෝධය දැක්වීමේ ප්‍රකාශනයට සීමාවී ඇත. පීඩාවට පත්වූ ජනතා අරගලයන්හි ලක්ෂණ මෙම සටන්වල ගැබ් වීම මත, එම බලවේගයන් එක්සත් කරමින් නිශ්චිත දේශපාලන අරමුණක් වෙත ඉදිරියට ගෙන යන සංවිධානගත යාන්ත්‍රණයක අවශ්‍යතාවය මේ මොහොතේදී පැහැදිලි වේ.

පවත්නා වපසරිය තුළ, ජන පීඩක පාලනයකට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා මායිම්  පුළුල්කර ගැනීම සඳහාවන මාවතට එළඹිය යුතුය. එහි විවාදයක් නොමැත. නමුත් මෙම විරෝධතා හා බද්ධ වූ වැඩකරන ජනතාවගේ අරගල වඩා ශක්තිමත් ක්‍රියාමාර්ගයක් වෙත නැඹුරු කරගැනීමේ අවශ්‍යතාවය ඉදිරියට පැමිණ ඇත.

මෑත ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී, පීඩිත ජනතාවගේ දේශපාලන එකඟතාවයන් අවධාරණයට ලක්වීමට හේතුවූ කරුණු රාශියකි. වැඩකරන ජනතාවගේ හා පීඩිතයින්ගේ දේශපාලන බලය යටතේ වැඩුණු සහාසික බල අධිකාරිත්වයන් පිළිබඳ මෙරට ජනතාවගේ මතකයේ ඇත. පීඩිත ජනතාවගේ දේශපාලන ජයග්‍රහණ, පරාජිත මතවාදයන්ට යටපත්කළ අමිහිරි සළකුණු මෙරට දේශපාලන ඉතිහාසයේ සුලබ අත්දැකීමකි.

ප්‍රියන්ත සිල්වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *