ජෝසප් ස්ටාලින් ගුරුවරයෙක් ද? ත්‍රස්තවාදියෙක් ද? නායකයෙක් ද? පිළිතුරක්!

කවුද මේ ජෝසප් ස්ටාලින්…. තවත් ගුරුවරයෙක් කියන කථාවක්!

“මම ගුරුවරයෙකු ලෙස පත්වීම භාරගත්තේ 1993දීය. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එවකට මායිම් ගම්මානයක් වන සියඹලාගස්වැව අශෝක විදුහලටයි.

පළමු දවසේ රුපියල් දහයක් දී විලච්චිය බසයෙන් බැස තන්තිරිමලේ හන්දියෙන් තොරතුරු විමසන විට කෙනෙකු කීවේ මේ විදුහල තවත් කැලෑව ඇතුළත තිබෙන, කොටි ත්‍රස්තයන් සිටින මායිම් ගම්මානය ආසන්නයේ ඇති බවයි.

එතනදී මට අපූරු මිනිසකු හමුවිය ඔහු ස්ටාලින්ය. ඔහු ගුරුවරයකු බව ඒ වනවිට මම නොදනිමි. මා සමග සුහදව කථා කළේය. තන්තිරිමලය දෙසට යාමට වාහන නැත. ට්‍රේලරයක් නැති ට්‍රැක්ටරයක් ආවේය. ජෝසා මට “වරෙන් මේකෙ නැගපන් “කීවේය. මඩ් ගාඩ් එක අල්ලාගෙන අපි දෙන්නා කිලෝ මීටර් දෙකක් ඉදිරියට ගියෙමුග “දැන් බැහැපන්” ජෝසා කීවේ වන්නිහැලඹ විදුහල ලඟඳියි.

ඊළඟට “උඹ කාල ද” ඉන්නේ කියා මාගෙන් ඇසුවේය. ඔහු තම දිවා ආහාරය මට ලබා දී මේක කාපං කීවේය. ත්‍රස්ත බියෙන් වෙලුණ, නොදන්නා පළාතක ඔහු මට දෙවිකෙනෙක් වීය”.

මේ පෙරවදන මා ප්‍රකාශ කළේ මේ දිනවල නොදරුවන් පිරිසක් ස්ටාලින් ගැන කතා කරන නිසාය. ජෝසා මා සමග වෘත්තීය සමිතියෙ නායකයෙකුට වඩා වසර 27 කට වැඩි මිත්‍රත්වයක් ඇත.

ඔහු අමුතු මිනිසෙකි. නිතරම කළේ අන් අයගේ ප්‍රශ්න තමන්ගේ කර ගැනීමයි. හවසට මම විදුහල ලඟින් යනවිට ජෝසාගේ කටහඩ මහ ඉහළින් ඇසේ. ඒ හඬ ගමේ අහිංසක දරුවන්ට ජෝෂප් ගේ අකුරු ඉගැන්වීමයි. ඔහු හවසට දරුවන්ගේ ගෙවල් වලට ගියා. දුෂ්කරතා ඇති දරුවන්ට අවශ්‍ය දේ තමන්ගේ වියදමින් අරන් දුන්නා. ජෝසාගේ කටහඬ ඇහෙන විට දරුවන් පැල්පත් නිවාස වල සිට ඔහුට ඇසෙන ලෙස පෙළ පොත මහ හයියෙන් කියවන්න ගන්නවා.

දවසක් සවස හතට පමණ ජෝසා මට පණිවුඩයක් එවා තිබුනා. ඒ භීෂණ සමයයි. රාත්‍රියේ තන්තිරිමලය විදුහලේ ගුරුවරුන් ට ඉන්ට අපහසු ප්‍රශ්නයක් ගැන කතා කිරීමටයි.

බිල්ලෑව ප්‍රදේශයෙන් මාගේ චැලි බයිසිකල් ඔහු සමග යන විට රාත්‍රී 10 පමණ වුණා. හමුදාවෙන් අප දෙදෙනා නතර කළා අපි කිව්වා තන්තිරිමලේ විමලඥාණ විදුහලට යන්න ඕනෑ කියා. හමුදාවෙන් කීවා මෙතනින් එහාට ගියොත් දෙන්නගේ ජීවිතයේ පිළිබඳව වගකීම භාර ගැනීමට නොහැකියි කියා. ජෝසා ගේ පිළිතුර වූයේ කමක් නැහැ අපිට යන්ඩ ඕනෑ කියාය. ජෝසා අන් අයගේ ප්‍රශ්න දෙස බැලුවේ ජිවිතේ දෙවැනි කොටය.

තවත් දවසක මා වන්නිහැලඹෑව විදුහලට යනවිට විදුහලේ ප්‍රධාන ශාලාවෙහි නිවාඩු දිනයෙක ළමා ඩෙස් අතුරා ජෝසා නිදාගෙන පොතක් කියවනවා මා දුටුවා. මා විදුහලට ගොඩ වී ඇයි මේ එළියෙ නිදාගෙන කියා අසන විට ඔහු මට කීවේ “මචං අලුතෙන් ගුරුවරියන් දෙදෙනෙක් ආවා. උන්ට ඉන්න තැනක් නෑ ඒ නිසා මාගේ කාමරය උන්ට දීලා මම මේ එළියට ආවා” කියාය. මේ උතුම් පුද්ගලයා මට දුන්න පිළිතුර වුයේ එයයි.

මට ඔහු ගැන පොතක් ලිවිය හැකිය. ඒ ඔහු සද්භාවයෙන් කළ උතුම් ක්‍රියා ගැනය. එදා මෙන් අද ද ඔහුට උස් පහත් භේදයක් නැත. අපි කවුරුහරි ළඟ මුදල් නැති බව දැන ගත්තොත් ඔහුගේ කාඩ් එකයි අංකයයි දෙනවා ගිහින් ඒකෙ තියන සල්ලි ටික ගනින් කියනවා. හැකි හැම විටම ගුරුවරුන්ට උදව් කරන ඔහු මුදලට කෑදර නැත. ඔහුට යාන වාහන අවශ්‍ය නැත. ලොකු මන්දිර අවශ්‍ය නැත. ඔහුට ඕනෑ වූ යේ අසාධාරණයන්ට වංචාවට උත්තර දීම පමණි.

මේ සටහන පළ කළේ මේ දිනවල ජෝසාගේ ඉතිහාසය ගැන කතා කියන නො දරුවන්ගේ දැනගැනීම සඳහාය

ස්තුතිය!

අජිත් හේරත්, මහනුවර

Nandika Beddegama ගේ මුහුණු පොතෙන් ගත් උපුටනයකි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *