ගැමිගොවි සමාජ ව්‍යාපාරයක් කරා…

සමාජ ව්‍යාපාරයක් කියන්නෙ කිසියම් නිශ්චිත අරමුණක් සමාජගත කොට ඒ අරමුණ දිනා ගැන්මට ගොඩනැඟෙන සාමූහික ප්‍රයත්නයන්ට. ඒ අරමුණ ජයගැන්ම සමග ඒ ව්‍යාපාරය විසිරී නිමවීයාම ස්වාභාවික යි. එහෙත් සමාජ ව්‍යාපාරයක් සදහා මේ සම්ප්‍රදායයික නිර්වචනය අදට මේ විධියටම ගැලපෙන්නෙ නෑ. ඊට ප්‍රධාන හේතුව වන්නේ අර්බුදයට යමින් තිබෙන නවලිබරල්වාදය එක් සමාජ අරමුණක් තවත් සමාජ අරමුණු සමග ගැටගහන නිසයි. අපි උදාහරණයක් ගනිමු. පොහොර
ඉල්ලා ගොවි ජනතාව අතරින් සමාජ ව්‍යාපාරයක් පැන නැගුන. ඒක සාධාරණ ඉල්ලීමක් මත ආපු එකක්. කෘෂිකර්ම අමාත්‍යාංශයෙ ලේකම්ල හතර දෙනෙක් අවුරුදු දෙකට. වෙන රටවල ඔහොම ප්‍රශ්නයක් ආවහම විසිවෙන්නෙ ඇමතිවරු. මෙහේ නිලධාරි. ඒ මේ කලියුග කාලය නිසයි.

ඒත් පොහොර විරෝධය සමග ගොවින් තමන්ගෙන්ම ප්‍රශ්න කළා “පොහොර විතරද ප්‍රශ්නය” කියල. වල්සපුගල ගොවියො/ ගැමියො, හිගුරක්ගොඩ ගොවි ගැහණු, මුලතිවු ගොවියො මීට කලින් සටන් කලේ පොහොරවලට නෙවෙයි. අපි හිතමු. ගොවින්ගෙ පොහොර ප්‍රශ්නෙ ගොවින්ට රිසිලෙසම විසදුනා කියල. වැඩේ ගොඩද? කැකිරාවෙදි ගොවියෙක් කීවෙ ළමයි තුන්දෙනෙක් ඉන්න ගොවි පවුලකට මාසෙකට රුපියල් 65000 ක් 70000 ක් විතර ඕන කියලයි. 2016 ආදායම් වියදම්
සමීක්ෂණයෙ ඉලක්කම් එක්ක හොදට ගැලපෙනව. අවුරුද්දකට කන්න දෙකම වගා කරත් රුපියල් 840,000 ක් හොයන්න හෙක්ටයාරයක් වගාකරන ගොවියෙකුට ලේසි නෑ. ලංකාවෙ වැඩිපුර ගොවින්ට තියෙන්නෙ හෙක්ටයාර බාගෙකට අඩු ඉඩම්. මේ එක උදාහරණයක් විතරයි.

අද ළමයි ඉස්කෝලෙ ගිහින් මදි. ටියුෂන් යවන්නත් වෙනව. ස්මාර්ට් ෆෝන් එකක්වත් ගෙදරකට ඕන. ගමේ ඩිස්පෙන්සරියෙන් පලාතේ ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් මදි, චැනලින් කරන්නත් ඕන. ඔය අතරෙ මගුල්, මරණ. මේ ඔක්කොම ගොවින්ගෙ පුනර්-නිශ්පාදන වියදමට (reproduction cost) එකතු වෙනව.

මේ අනුව ගැමි ගොවි සමාජ ව්‍යාපාරයක් අත්‍යන්තයෙන්ම බහුමානීය එකක්. මෙයට හොඳ උදාහරණයක් තමයි “ලා කැම්පැසිනා” ව්‍යාපාරය. මීට පෙර ලීනස් ජයතිලක සහෝදරයා උත්සාහයක් ගත්තා පහළ මාලයේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න. ඒත් චන්ද උණුහුම නගින කොට ඒ ගොනුවුන පිරිස් චන්ද කාණ්ඩවලට කුටිගත වුනා. අර ප්‍රයත්නය වියලී ගියා. පොහොර ප්‍රශ්නයෙන්, ණය ගැටලුවෙන්, වන අලි කරදරෙන් ඔබ්බට ගිය ඒ සීමා මායින් පැන්න ගැමි ගොවි සියලු ප්‍රශ්න
එක දෝතකට ගත්ත සමාජ ව්‍යාපාරයක් නොකඩවා ඉදිරියට ගෙනයාම අපේ අරමුණ වෙන්න ඕන.

මෙතනදී යමෙකු ප්‍රශ්න කරන්න පුලුවන් එවන් ගැමි ගොවි සමාජ ව්‍යාපාරයක් පතිත වන්නේ වමේ ද? දකුණෙ ද? වංගු නැතුව උක්ත ප්‍රශ්නයට උත්තරයක් ඕන. එය අනීවාර්‍යයෙන්ම වමේ ව්‍යාපාරයක්.

එහෙනම් මොකක්ද වම?

ආධිපත්‍ය ජනමාධ්‍යයන් වම විචිත්‍රණය කර ඇති ආකාරයෙන් තමා අප බොහෝදෙනෙකු වම දිහා බලන්න පුරුදුව ඉන්නෙ. වමේ වැරදිත් මේකට උදව් වෙල තියෙන බවත් අප පිළිගන්න ඕන. වම අපි මෙහෙම නිර්වචනය කරගනිමු. මේක මා උපුටා ගත්තෙ චිලි ජාතික වාමාංශික කාන්තාවක් වූ මාර්තා හනෙකර් ගෙන්. “වම කියන්නෙ ධනේශ්වර ක්‍රමයට හා එහි ලාභය හඹායාමට එරෙහි බලවේග සමූහයකි. එමෙන්ම එය, විකල්ප, මානුෂවාදී, සහයෝගිතාවය පිරිපුන් සමාජවාදී සමාජයක් වෙනුවෙන් සටන් කරයි. එම සමාජය ධනේශ්වර ක්‍රමය මගින් ඇතිකරන භෞතික දුගීබවෙන් මෙන්ම ආධාත්මික                               කාලකණ්ණිකමින් විනිර්මුක්ත ය.” 

සමාජ වම සහ පක්ෂ වම

මේ වමට අයත්වන්නේ සමාජවාදී වැඩ පිළිවෙලක් තම වැඩ පිළිවෙල ලෙස පිලිගත් පක්ෂ පමණක් නොවේ. එයට ස්වාධීන අවකාශයක් නිර්මාණය කරන පුද්ගලයන් හා සමාජ ව්‍යාපාරයන් ද අයිති වේ. සමහරවිටෙක එම සමාජ ව්‍යාපාර වාමාංශික පක්ෂවලට වඩා ක්‍රියාශීලී ය, සටන්කාමී ය.

ගැමි ගොවි සමාජ ව්‍යාපාරයක් සමස්ත ගැමි ගොවි ජනතාව පෙළන සියලු සූරාකෑම් සහ මර්ධනයනට එරෙහිව සටන් කරයි. එමෙන්ම, ඒ බලවේග හඳුනාගනියි. එපමණක් නොව ගැමි ගොවි ස්වාධීන සාමූහික බලයක් ස්ථාපිත කරගැන්ම සඳහා සටන් වදියි.

සටහන – සුමනසිරි ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *