ලෙනින්ගේ බෝල්ෂේවික් පක්ෂය හුදු කේඩර පක්ෂයක් ද?

පක්ෂයක් ගොඩනැගීම යන්නෙන් කුමක් අදහස් වන්නේ ද? (තෙවන කොටස)
රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දෙවන සම්මේලනය පක්ෂය කෑලි දෙකකට බෙදා දැමුවේ ය. ඒ බෙදීමේ හේතුව ලෙනින් ගේ “කලයුත්තේ කුමක්ද?” පොතේ අන්තර්ගත තර්කයන් නොවේ. මාටොව් මෙන්ම ට්‍රොට්ස්කි ද ඒ අදහස් සමග එකගවූහ. දෙවන සම්මේලනයේ බෙදුම කරුණු දෙකක් පදනම් කොට ඇතිවින.

1.        පක්ෂ සාමාජිකයා කවරෙක් ද?

මෙහිදී ලෙනින් සහ මාටොව් වෙනත් යෝජනා ඉදිරිපත් කලහ. ඒ වෙනස එතරම් තීරණාත්මක එකක් ලෙස සැලකිය               නොහැක්කේ මාටොව් ඇතුලු මෙන්ෂේවික්වරු 1905 දී ලෙනින්ගේ අදහස පිලිගත් හෙයිනි. මේ වෙනස මගින්                       රුසියානු සන්දර්භය තුල ලෙනින් ශක්තිමත් කේඩර පක්ෂයක් වෙනුවෙනුත්, මාටොව් ලිහිල් පක්ෂයක් වෙනුවෙනුත්               පෙනී සිටියේයැයි යන අදහස සත්‍ය නොවේ.

2.      ඉස්ක්‍රා කර්තෘ මණ්ඩලය ගැන පැනනැඟුන ප්‍රශ්නය ය. සම්මේලනය එකඟ වූ පරිදි කර්තෘ මණ්ඩලය තිදෙනෙකුගෙන්               සමන්විත යුතු වේ.

එයට, ප්ලෙකනොව්, ලෙනින්, සහ මාටොව් ගේ නම් ඉදිරිපත් කෙරින. එමගින් එතෙක් ඉස්ක්‍රා කර්තෘ මංඩලයේ පැරණි සාමාජිකයන් වූ වේරා සෝසිලිච්, ඇක්සලරොඩ් සහ පොට්‍රෙසොව් ඇතුලත් නොකෙරින. පැරණි සාමාජිකයන් නැති කර්තෘ මංඩලයක සාමාජිකත්වය ගැන්මට මාටොව් අකමැති විය. ලෙනින් සම්මේලන යෝජනාව අබිබවා යෑමට විරුද්ධත්වය පළකළේ ය. ආඥාදායකයෙකු ලෙනින් සිත්තම් කෙරුනේ මේ මතභේදය තුළ ය.

කෙසේ වුවද මෙම මතභේදයන් දෙක පදනම් කොට බෝල්ෂේවික් සහ මෙන්ෂවික් බෙදුම ගොඩනඟන පක්ෂයේ ස්වභාවය ගැන ඇති වූවකැයි විචිත්‍රණය කිරීම නිවැරදි නොවේ. පක්ෂ වැඩ පිළිවෙල සැලකිල්ලට ගතහොත් මේ ආරම්භක අවධියේ දී මෙන්ශේවික්වරු වඩා ඉදිරියෙන් සිටියේ යැයි මම සිතමි. සාර් විරෝධී අරගලය හරහා ප්‍රජාතන්ත්‍රීය තන්ත්‍රයක් කරායාම දෙපාර්ශවයම ආසන්න කර්තව්‍යයන් ලෙස දුටුවද ඇක්සලරොඩ් සඳහන් කළේ මෙයට එහා ගොස් නිර්ධන පංතිය තම සුවිශේෂ කාර්‍යය වෙන්ව ඉදිරිපත් කළ යුතු බව ය. ලෙනින් සාර් විරෝධී අරගලය සමග සිටින සියලු බලවේග හා සම්බන්ධවීම යුගයේ කාර්‍යභාරය ලෙස දැක්වී ය. ඒ නිසාම සංවිධානය රහසේ කටයුතු කිරීම ගැන හේ වැඩි අවධාරණයක් කිරීම ස්වාභාවික ය.

ලෙනින්ගේ බෝල්ෂේවික් පක්ෂය හුදු කේඩර පක්ෂයක් ලෙස දැක්වීම නිවැරදි නොවේ. එක් අතකින් බෝල්ෂේවික් පක්ෂය තූළ පක්ෂයේ කාර්‍යය පිලිබද සවිඥානික පූර්ණ කාලීන සාමාජික පිරිසක් සිටියහ. මේ පිරිස අතර වූ චලනය විශාල ය. දිගුකාලීනව පක්ෂය තුළ රැදීසිටි පිරිස විශාල නොවේ. අනෙක් අතින් රුසියාවේ විවිධ පලාත්වල රහස්‍යව ක්‍රියාකාරී වූ ක්‍රියාකාරිහු පිරිසක් පක්ෂය තුල සිටියහ. ඔව්හු පක්ෂයේ මූලික වැඩ පිලිවෙල මත පිහිටා ක්‍රියා කළහ. පළමු කාණ්ඩයට උදාහරණය බොග්ඩනොව් නම් දෙවෙනි ගණයට හොඳම උදාහරණය ලෙස මා සලකන්නේ ස්වැඩ්ලොව් ය. කෙසේ වුවද එකක් කිවයුතු ය. මෙම බෙදුම ඉතාමත් ආකෘතිවාදී ය.

මෙම දෙවන කොටස ලෙනින්ගේ සැබෑ ශක්තිය විය.

රුසියානු විප්ලවය සාධක තුනක සමපාත වීමකි.

1. පළමුවෙනි ලෝක යුද්ධය සමග ඇතිවූ පුපුරායාම;

2. මහජන බල ආකෘති යලි පණ ගැන්වීම, මෙහිලා 1905 පෙට්‍රොග්‍රැඩ් සෝවියටය මෙන්ම රුසියානු සමාජයේ පැවති                  සාමුහික ගොවි සංවිධානද බල පෑවේයැයි සිතිය හැක.

3. ලෙනින්ගේ චලනයන් කියවීමේ ශක්තිය හා ඒ හා ගමන් ගැන්මට ලෑස්ති ක්‍රියාධරයන් සමූහයක පැවැත්ම.

මා මෙහිදී බෝල්ෂේවික් පක්ෂය තරමක අවතක්සේරුවකට දමන්නේ ද? ඔව්. මක්නිසාද විප්ලවය ජයග්‍රහණයේ මාවතට ගෙනයාමට ෆෙබරවාරි සහ නොවැම්බර් අතර ඇතිවූ බාධාවන් ආවේ සමහර බෝල්ෂේවික් වරුන් ගෙනි.
සහයෝගය ආවේ ට්‍රොට්ස්කි වැනි බෝල්ෂේවික් නොවූවන් ගෙනි.

මෙය පාඩම් දෙකක් උගන්වයි. ජයග්‍රහණය සදහා නායක පෞද්ගලිකත්වය තීරණාත්මක ය. එමෙන්ම, ඔහු හෝ ඇය සමග ගමන් ගැන්මට ලෑස්ති සමාජ සටන් තුළ ගිල්වුන සටන් හරහා පුහුණු වූ ක්‍රියාකාරීන් පිරිසක් ඇවසි ය.

සුමනසිරි ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *