ජවිපේ දේශපාලනයට එකඟ නැතිනම් වැටුප් වැඩිකරගැනීමේ සටනට ගන්න බෑ?

රු.10.000 කින් වැටුප් වැඩි කර ගැනීමේ උද්ඝෝෂණය සඳහා තම සංවිධානයේ සම්පූර්‍ණ සහාය ලබාදෙන්නට සූදානම් බවත් ඒ සඳහා ඉදිරි ක්‍රියාකාරකම් සමග එක්සත්ව ක්‍රියා කිරීමට සුදානම් බව පුකාශ කරමින් 2021.12.09 දිනැති ලිපිය කැඳවුම්කරු, වෘත්තීය සමිති එකමුතුවේ වසන්ත සමරසිංහ සහ උදේනි දිසානායක යන සහොදරවරු වෙත “එක්සත් පොදු සේවක සංගමය” ලිපියක් යවා තිබේ.
එම ලිපිය ගැන සඳහන් කරමින් සංගමයේ ප්‍රධාන ලේකම්  නීල් විජේතිලක සහෝදරයාට දුරකථනයෙන් කථා කළ අන්තර් සමාගම් සේවක සංගමයේ භාණ්ඩාගාරික යයි කියනු ලබන ගමගේ නැමති සහෝදරයෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පිළිනොගන්නා අයට එම වෘත්තීය පෙරමුණට සම්බන්ධළුීමට අවස්ථාවක් නොමැති බව ප්‍රකාශකර තිබේ.
ඒ පිළිබඳව සඳහන් කරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, වසන්ත සමරසිංහ සහෝදරයා සහ සමස්ථ ලංකා කළමනාකරණ සහකාර නිළධාරින්ගේ සංගමයේ, උදේනි දිසානායක සහෝදරයා වෙත එක්සත් පොදු සේවක සංගමය ලිපියක් යවා තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් පහත පළවේ.

2021 . 12.17

වසන්ත සමරසිංහ සහෝදරයා,

ප්‍රධාන ලේකම්,

අන්තර් සමාගම් සේවක සංගමය.

උදේනි දිසානායක සහෝදරයා,

සමස්ථ ලංකා කළමනාකරණ සහකාර නිළධාරින්ගේ සංගමය

ප්‍රිය සහෝදරය,

රු.10.000 කින් වැටුප් වැඩි කර ගැනීමේ උද්ඝෝෂණය

ඉහත කරුණ සම්බන්ධයෙන් අප විසින් 2021.12.09 දිනැති ලිපිය කැඳවුම්කරු, වෘත්තීය සමිති එකමුතුව නමින් ඔබ වෙත එවා ඇත. එම ලිපිය එවීමෙන් පසු 2021.12.17 වන දින අන්තර් සමාගම් සේවක සංගමයේ භාණ්ඩාගාරික යයි කියනු ලබන ගමගේ නැමති සහෝදරයා අපට දුරකථනයෙන් කථා කොට අප සමිතිය පිළිබඳ විස්තර ඉල්ලා සිටියේය. ඒ අනුව අපේ සමිතිය අර්‍ධ රාජ්‍ය ආයතනවල පිහිටි ඉපැරණි සමිතියක් බව පෙන්වා දුනිමු. අනතුරුව ඔහු අපගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කළේය. අප වාමාංශික නායකත්වයකින් යුතු වෘත්තීය සමිතියක් බව කියා සිටි විට අප සම්බන්ධ පක්ෂය කුමක්දැයි දිගින් දිගටම විමසීය. අප කළින් යම් යම් වාමාංශික පක්ෂ සමඟ සම්බන්ධව සිටියත් දැනට අපි නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සම්බන්ධ වී කටයුතු කරන බව දැනුම් දුන්නෙමු.

අනතුරුව ඔහු අපෙන් විමසුයේ ජ.වි.ප. සම්බන්ධයෙන් අපගේ අදහස කුමක්ද යන්නයි. ජ.වි.ප. සම්බන්ධයෙන් අපට දේශපාලන ගැටළු ඇති බව ප්‍රකාශ කළ අපි නමුත්  රු. 10.000 වැඩි කර ගැනීමේ අරගලයේදී එකට සටන් කිරීමට එය කිසිම බාධාවක් නොවන බව තරයේ කියා සිටියෙමු. නමුත් ඔහු පැවසුයේ ජ.වි.පෙ. කළ වැරදි මොනවාද යන්නයි. ඔහු සමග දේශපාලන සාකච්ඡාවක් කිරීමට මා තුළ කැමැත්තක් තිබු නමුත් රු.10.000 උද්ඝෝෂණය සඳහා අපට සහභාගී වීමට අවස්ථාව ලබා ගැනීම හැර වෙනත් කරුණු ගැන සාකච්ඡා කිරීමට ඒ මොහොතේ අප එකඟ නොවීමු. ඔහු තරයේ කියා සිටියේ පරිවාස ආණ්ඩුව පිහිටුවා සුනාමි සහන මණ්ඩලය අහෝසි කර ගැනීම කම්කරු පංතියේ ජයග්‍රහණයක් නොවන්නේද යන්නයි. එම කරුණ සම්බන්ධයෙන් අප එකඟ නොවන බව කියා සිටි විට ඔහු කියා සිටියේ ජ.වි.ප. වැඩපිළිවෙල සම්බන්ධයෙන් බරපතල ගැටළු ඇති අයට මෙම පෙරමුණ විවෘත නොවන බවයි. මෙම පිළිතුරෙන් අප ඉමහත් සේ කම්පාවට පත් වුණෙමු.

මන්දයත් කම්කරු පංතියට ජයක් ලබා දීමටෙ, එනම් රු.10,000 වැඩි කර ගැනීමේ අරගලය ජයග්‍රහණය කරවීම සඳහා අප සියළුදෙනාගේ සහයෝගය අවශ්‍ය යැයි අප සිතන බැවිනි. නමුත් එම සහෝදරයාගේ ප්‍රකාශය අනුව අපට පෙනී ගියේ මෙම උද්ඝෝෂණය හුදෙක් ජ.වි.පට ඡන්ද වැඩි කර ගැනීම සඳහා වු උද්ඝෝෂණයක් ලෙස ඔහු සිතා සිටින බවයි. මෙය අන්තර් සමාගම් සේවක සංගමයේ නිල මතය දැයි අප නොදනිමු. මීට පෙර වැටුප් වැඩි කර ගැනීම සඳහා ඔබ විසින් මෙහෙයවන ලද උද්ඝෝෂණයන්ට අප ද සක්‍රීයව  දායක වූ අතර ඒ බව ලාල් කාන්ත සහෝදරයා හොඳින් දනී. එසේ තිබියදී කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලය තමන්ගේ පටු දේශපාලන වාසිය සඳහා යොදා ගැනීමට ඔහු දැරු උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. කෙසේ වෙතත් ඒවායින් නොසැලි රු.10,000 වැටුප් වැඩි කර ගැනීමේ උද්ඝෝෂණයට සක්‍රීයයව දායක වීමට අප කටයුතු කරන බව අවධාරණයෙන් කියා සිටිමු.

මෙයට,

සහෝදරත්වයෙන්

නීල් විජේතිලක

ප්‍රධාන ලේකම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *