“බෝල්ෂෙවික් දෘෂ්ටිවාදය” ඇත්තට ම බෝල්ෂෙවික්වාදීන්ගේ දෘෂ්ටිවාදය ද?

‘පක්ෂයක් ගොඩනැඟීම‍ෙ යන්නෙන් කුමක් අදහස් කළයුතු ද ? (දෙවන කොටස- සංවාදයට විවෘතය)
ලෙනින් විසින් ඇතැම් ලියවිලිවලදී ඉහළ මාත්‍රාවකින් අතිශයෝක්තිකරණයට නැගූ බෝල්ෂේවික් අදහස මාක්ස් සහ ලෙනින් විසින් 1848 දී කොමියුනිස්ට් ප්‍රකාශණය මගින් ඉදිරිපත් කළ අදහසෙන් වෙනස් වූ බවට සැකයක් නැත.

මාක්ස් සහ ඒංගල්ස් මෙසේ ලියති. “කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායයාත්මක නිගමනයන් කිසිම ආකාරයකින් කිසියම් විශ්ව ප්‍රතිසංස්කරණවාදියෙකුගේ නව සොයාගැන්මක් වූ අදහස් හා මූලධර්ම මත ගොඩ නොනැගේ.

ඒවා සාමන්‍යකරණය කොට ඉදිරිපත් කරන්නේ පවත්නා පංති අරගලයෙන් පැනනගින සත්‍ය සම්බන්ධතාවයන් ය, අප ඇස්පනාපිට දැකියහැකි ඓතිහාසික චලනයන් ය. ”

මේ තේරුමෙන් ගත්විට කොමියුනිස්ට්වාදින් අන්‍ය වැඩකරන ජනතා පක්ෂයන්ගෙන් වෙනස්වන්නේ කරුණු දෙකක් නිසා ය. ඔව්හු ජාතිකත්වයෙන් එහාට ගොස් සමස්ත පංතියේ වුවමනාවන් හා අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටිති. දෙවනුව, ඔව්හු පංති අරගලයේ හැම අදියරකදීම සමස්තයක් ලෙස එම අරගලයේ අභිමතයන් වෙනුවෙන් පෙනී සිටිති.

“එමනිසා, කොමියුනිස්ට්වරු එක් අතකින් හැම රටකම වැඩකරන ජනතා පක්ෂවල ප්‍රායෝගිකව වඩාත්ම දියුණු සහ අධිෂ්ඨානශීලී කොටස වෙති. ඒ කොටස අනෙකුන් පෙරට තල්ලු කරති. අනෙක් අතට, න්‍යායයාත්මකව ඔවුනට ගමනේ දිසානතිය, තත්ත්වය සහ නිර්ධන පංතික අරගලයේ අවසාන ප්‍රතිඵලය ගැන බහුතර පංතියට නැති පැහැදිලි අවබෝධයක් ඇත්තේ ය.”

ලෙනින් ට අනුව “පවත්නා පංති අරගලයෙන් පැනනගින තථ්‍ය සම්බන්ධතාවන්” වෘත්තීය සමිතිවාදී සහ ආර්ථිකවාදී වන්නේ ය. ඒවා නියෝජනය කරන්නේ ධනේශ්වර විඤ්ඤාණය ය. සමාජවාදී විඤ්ඤාණය පංති අරගලයට පිටතින් ඇතුල්කළ යුතු වේ.

ලෙනින් විසින් අධි මාත්‍රාවෙන් අතිශයෝක්තිකරණය කළ අදහස ඔහුගේ කේන්ද්‍රීය අදහස වීද? ලෙනින් යලි සොයායාම යන (Lenin Rediscovered: what is to be done in context by Lars T Lih) යන පොත මේ ප්‍රස්තූතය ප්‍රශ්න කරයි.

ලාර්ස් ට අනුව ආර්ථිකවාදය සහ වෘත්තීය සමිති වාදයට එරෙහිව දීර්ඝ වශයෙන් ‘කළ යුත්තේ කුමක්ද’ පොතෙන් සටන් වදින්නේ පක්ෂය තුළ ක්‍රියාත්මක රබෙචියා ඩියෙලෝ කංඩායමට එරෙහි සටනක් කිරීමට ඔහුට ඇවසි වූ නිසා ය. එය වඩා පැහැදිලිව පෙනෙන්නේ 1904 ලියූ ‘ ‘ එක් පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට’ යන පොතෙනි.

‘කළ යුත්තේ කුමක්ද’ පොතෙන් ඉදිරියට දැමිමට ලෙනින්ට අවශ්‍ය වූ මූලික අදහස් තුනකි. ඒවානම්

  1. දේශපාලනික උද්ඝොෂණයේ හදිසි අවශ්‍යතාවය
  2. පවත්නා පක්ෂ සංවිධානයේ දුර්වල තැන්වලට පිලියම් යෙදීම
  3. පක්ෂ පුවත්පත ප්‍රාදේශීය පක්ෂ සංවිධාන ගැටගසන උපකරණය ලෙස යොදා ගැන්ම ය.

ලාර්ස පෙන්වා දෙන්නේ සාංසිද්ධිකතාවය, පංතිය ධනේශ්වර විඤ්ඤාණයෙහි හිරවීම, සහ පිටතින් සමාජවාදී දැනුවත්කම ගෙන ඒම ලෙනින්ගේ ‘කළ යුත්තේ කුමක්ද?’ යන්නෙහි කේන්ද්‍රීය සංකල්ප නොවෙන බව ය. කෙසේ වුවද අධිකාරිවාදී රුසියාවෙහි පක්ෂය ගොඩ නැගීමට සිදුවූයේ පංති සටන් වේගයෙන් ඇවිලී ගියද, රහස් සංවිධානයක් ලෙස ය. එමෙන්ම ඉදිරියට එමින් තිබුණු විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකි.

1907 දී ලෙනින් මෙසේ ලීවේ ය. “කළ යුත්තේ කුමක්ද” සමග අද විවාදකරන මිනිසුනගේ මූලික වරදවන්නේ ඔවුන් එය එය ලියූ විශේෂිත ඓතිහාසික සන්දර්භයෙන් එය කඩා එසේ කිරීම ය. එම කාලය දැන් අපේ පක්ෂයේ දිගු ඉතිහාසයෙන් ගෙවීගිය සමයකි.”

මා මුල් කොටසේ සාරාංශකළ බෝල්ෂේවික් දෘෂ්ටිවාදය යන්න ඇත්තටම බෝල්සේවික්වාදීන්ගේ දෘෂ්ටිවාදය වීද යන ප්‍රශ්නය දැන් නැගෙනු ඇත. අධිමාත්‍රාවෙන් අතිශයෝක්තිකරණය කළ අදහසට වඩා වෙනත් පැතිකඩක් මෙහිදී දැකගත හැකිවේ. ඔහුගේ මූලික අදහස් තුන ඉහත දැක්වීමි.

ඒ අරමුණ 1905 ට පෙර ක්‍රියාවට දැමීමට නම් රහස් පක්ෂයක් ගොඩ නැගිය යුතු ය. එම පක්ෂයට විප්ලවයේ ගමන්මග ගැන පැහදිලි අදහසක් තිබිය යුතු වේ. එය මධ්‍යගත ඉහලින් පහලට විධාන දෙන පක්ෂයක් ය. ලෙනින් මේ අදහස සංයුක්තව ඉදිරිපත් කරන්නේ ‘එක් පියවරක් ඉදිරියට, පියවර දෙකක් පස්සට’ යන ලිපියෙහි ය.

ලෙනින් ට අනුව විප්ලවවාදියා රටපුරා බීජ වපුරමින් යන බීජ ඉසින්නෙකි. බුදුන් වහන්සේ මහණුනට කීවේද එයම ය.

‘කළ යුත්තේ කුමක්ද’ පොත ගැන මාටොව් සතුට පළ කලේය. ට්‍රොට්ස්කිට ඒ පොතට එදිරිවාදුකමක් නොතිබින. ලෙනින් ආඥාදායකයෙකු කෙරුනේ එම පොත මගින් නොව දෙවන සම්මේලනය සමග ය. ලාර්ස් ට අනුව ලෙනින් ආඥාදායකයෙකු ලෙස පින්තාරු කෙරුනේ රෝසා ලක්සම්බර්ග විසිනි. මේ කරුණ අපි මීළඟ කොටසෙන් විමසා බලමු.

සුමනසිරි ලියනගේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *