මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ විනිමය කථා ප්‍රලාපයක්?

ඉතිහාසයේ තියුණුම විදේශ විනිමය අර්බුදයට ලාංකේය ආර්ථිකය මුහුණ දී සිටී. ලබන වසරේ මුල් භාගය වන විට මෙම ස්භාවය ක්‍රමයෙන් සමනය වනු ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියද මෙම අර්බුදය විසඳීමේ යෝජනා බරපතල විවේචනයට ලක්වී තිබේ.

අර්බුදය සමනය කිරීමේ උපායක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙසට හැරීමේ උපාය මාර්ගයන් ගැන සාකච්ඡාවට ලක්වුව ද මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන්ගේ ද එකඟතාවයක් නොමැති බව ප්‍රකාශ වේ. පවත්නා අර්බුදයට මෙය කොතරම් සාර්ථක ප්‍රතිකර්මයක් ද යන්න අතිශයින් ම විවාදාත්මකය. අර්බුදයට ක්ෂණික පිළියම් ලෙස ඉදිරිපත් වී ඇති සැළසුම් කොතරම් බලාත්මකද, අර්ථවත්ද යන්න මේ මොහොතේදී පැන නැඟී ඇති ගැටළුවයි.

විදේශගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවන ඩොලරයක අගයට සමානවන සෑම විදේශ මුදලකටම රුපියල් 10 ක අමතර වටිනාකමක් ගෙවීමට රාජ්‍ය බැංකු සැළසුම්කර ඇත. නමුත් 2020 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් භාගයේදී විදේශගත ශ්‍රමිකයින් සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කරයි. එය විදේශ ප්‍රේෂණවල පැහැදිලි අවපාතයක් සනිටුහන් කිරීමකි.

පසුගිය දිනවල විදේශගත වන ශ්‍රමික සංඛ්‍යාවේ වර්ධනයක් ඇතිව තිබෙන බව මාධ්‍යයේ කියැවුණ ද, එය සැළකිය යුතු වර්ධනයක් ලෙස හැඳින්විය නොහැක. මේ යටතේ විදේශ ප්‍රේෂණවල ක්ෂණික වෘද්ධියක් බලාපොරොත්තු වියහැකි ද යන්න ගැටළු සහගත ය.

මේ අතර නිත්‍යානුකූල නොවන ක්‍රමවේද හරහා විදේශ මුදල් හුවමාරුවන භාවිතාවන් සකස් වී ඇති අන්දම මාධ්‍යයේ කියැවේ. දැනට වෙළඳ පොළේ නියමිත ඩොලරයක අගය ඉක්මවන, නැතහොත් ඩොලරයකට නියමිත රුපියල් වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවන ගණුදෙනු මේ හරහා සිදුවේ. බලයලත් විනිමය හුවමාරු ආයතනවලට අමතරව ක්‍රියාත්මක වන වෙනත් ආයතනවල ක්‍රියාකාරිත්වයන් මීට හේතුවී තිබේ. මේ යටතේ ප්‍රයෝගකාරී විනිමය ගණුදෙනු සිදුකිරීමේ ඉඩකඩ විවෘතය.

මෙවැනි ඇතැම් නීත්‍යානුකූල නොවන විනිමය ගණුදෙනුවලදී විදේශගත ශ්‍රමිකයින්ගෙන් යැපෙන්නවුන් වෙත අදාල නියමිත මුදල නොලැබෙන අවස්ථා පිළිබඳ කරුණු හෙළිවේ. විශේෂයෙන් රහසිගත අංක මගින් සිදුකෙරෙන උණ්ඩියල් නමැති ක්‍රමවේදය යටතේ මෙවැනි දූෂිත තත්ත්වයන් උද්ගතව ඇතැයි විවේචන පැන නැඟේ. මෙවැනි ස්භාවයන් නීතිමය පාලනයෙන් ඈත්වීම විදේශ මූල්‍ය කළමණාකරණයේදී බරපතල ගැටළකාරී තත්ත්වයන් නිර්මාණය කරයි.

ආනයන වියදම් සීමාකිරීම් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ ඵලදායි උපායන්ද ක්‍රියාත්මක තලයක නොමැති බව පැහැදිලිය. මේවන විටද දේශීයව නිෂ්පාදනය කළ හැකි ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ආනයනය කරනු ලබයි.

අපනයන ආදායම් වර්ධනය කිරීම සඳහා මෙරටට හඳුන්වා දුන් කර්මාන්ත කලාපයන්ගෙන් ද වසර 40 ක් ගතවී තිබුණ ද අපේක්ෂිත අරමුණු වෙත ලඟාවීමට නොහැකිවී ඇතැයි ආර්ථිකවේදීහු පවසති. මේ යටතේ බලාපොරොත්තු වූ ආනයන හා අපනයන සමතලයකට ගෙන ඒමේ ඉලක්කයට මේ වනවිට ද ලඟාවී නොමැති බව මේ පිළිබඳ විශේෂඥයන් පෙන්ව දෙති.

මොරටුවේ, ප්‍රියන්ත සිල්වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *