ප්‍රියන්ත කුමාර මිලේච්ඡ ‌ලෙස ඝාතනය කිරීමේ වගකීම පකිස්ථානු රජය භාරගත යුතුයි! – ‘සමාජවාදී ජනතා පක්ෂය’

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මිලේච්ඡ ‌ලෙස ඝාතනය කිරීමේ වගකීම පකිස්ථානු රජය භාරගත යුතුයි නිවේදනයක් නිකුත් කරමින් ‘සමාජවාදී ජනතා පක්ෂය’ කියා සිටී. මෙම සිද්ධි‌ය පිලිබඳව පාකිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීම ඉතාමත් දුර්වල තත්වයක පැවති බව එම නිවේදනය පවසා සිටී. ලොව පුරා විසිරී සේවය කරනු ලබන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ රජය විසින් වහා පියවර ගතයුතු යැයි ද, පක්ෂයේ සම ලේකම් නීල් විජේතිලක මහතාගේ අත්සනින් නිකුත්කර ඇති ඒම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒම නිවේදනය සමපූර්ණයෙන් පහත දැක්වේ.

 

2021-12-07
පුවත්පත් නිවේදනය

පාකිස්ථානයේ සියල්කොට්හි ඇගලුම් කර්මාන්ත ශාලාවක ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදි අන්තවාදීන්ගේ ආමානුෂික පහර දීමෙන් හා පුළුස්සා දැමීමෙන් ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මරණයට පත්වීම සම්බන්ධයෙන් ‘සමාජවාදී ජනතා පක්ෂය’ සිය කණගාටුව හා විරෝධය ප්‍රකාශකර සිටී.

ඇත්ත වශයෙන් ම ලැබි ඇති තොරතුරු අනුව ඔහු ඝාතනය කර ඇත්තේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයක සාමාජිකයන් විසින් යැයි දැන ගන්නට තිබේ. ආගමික අන්තවාදය ඉහවහා ගිය සමාජයක මෙවැනි මිලේච්ඡ තිරස්චීන ඝාතන සිදුවීම ඉතා කණගාටුදායක ය. ඒ සම්බන්ධයෙන් පාකිස්ථානු අගමැතිවරයා සිද්ධියට වගකිව යුතු සියලුදෙනාට උපරිම දඬුවම් ලබා දෙන බව ප්‍රකාශ කළත් එයින් පමණක් ඔහුට හෝ වර්තමාන පකිස්තානු රජයට ගැලවී යාමට ඉඩක් නැත.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ කුමන හේතු පදනම් කරගෙන ද යන්න තවමත් නිශ්චිත නැත. කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරවරයා වශයෙන් එහි බිත්තිවල අලවා තිබු කුරාණයේ පාඨ සඳහන් පෝස්ටරයක් ඉවත් කිරීමේ සිද්ධියක් මත අන්තවාදී කොටස්වල ප්‍රහාරයට ඔහු ලක්ව ඇතැයි පැවසේ. අනිත් අතට පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් එම සේවකයන් අතර පැවති අසහනකාරී තත්වය තුළ මෙම ප්‍රහාරය සිදුවී තිබේ දැයි කිව නොහැකිය.

ඒ කෙසේ වෙතත් හුදකලා වු පුද්ගලයෙකුට සිය ගණනක් රංචු ගැසී පහර දී, ගිණි තබා මරණයට පත් කොට දැමීම කිසිසේත්ම ඉවසිය හැකි කරුණක් නොවේ. කවුරු කුමන අරමුණකින් මෙම ඝාතනය සිදුකළත් පාකිස්ථාන ආණ්ඩුව මෙන්ම ලාංකික සාමාන්‍ය ජනතාව අතර මෙම ඝාතනයට විරුද්ධව බලගතු හඬක් නැගීම සාධනීය ලක්ෂණයකි.

ලංකාවේ අන්ත ජාතිවාදී සංවිධාන මෙම සිද්ධිය දඩමීමා කර ගනිමින් මුස්ලිම් විරෝධි ගිනිදැල් ඇවීලවීම සඳහා වියරු උත්සාහයක් දරමින් සිටි. මෙම කූඨ ප්‍රයත්නය මේ මොහොතේ පවතින ආණ්ඩුවට ප්‍රයෝජනවත් වේ. මන්දයත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගැසී තිබෙන අවස්ථාවක වියරු ජාතිවාදී, ආගම්වාදී මගකට ජනතාව යොමුකර සමාජය තුළ තවත් බරපතල අර්බුදයක් නිර්මාණය කිරීමට හැකි වන බැවිනි.

මෙම තත්වය තුළ ජාතිවාදී වියරු උද්ඝෝෂණයන්ට නොරැවටෙන ලෙසත්, ලංකාවේ හා පකිස්ථානයේ ශෝකයට පත් ජනතාව අතර සහෝදරත්වයක් ගොඩනගා ගත යුතුව ඇති බවත්, එමගින් වරදකරුවන්ට දඬුවම් කිරීමට රජයට බලපෑම් කළ හැකි බවත් සමාජවාදී ජනතා පක්ෂයේ මතයයි.

ඒසේම ප්‍රියන්ත කුමාර මහතාගේ අභාවය නිසා අසරණභාවයට පත්ව සිටින ඔහුගේ බිරිඳ හා දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබා දීමට පකිස්ථාන රජයට මෙන්ම ලංකා රජයට ද වගකීමක් ඇත. මෙම ඝාතනය ලොව පුරා විසිරි සිටින ශ්‍රී ලංකීක ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිශ්චිත පියවරක් අනුගමනය කිරීමට රජයට කෙරෙන බලපෑමක් ලෙස ද සැළකිය යුතුය. මන්දයත් පාකිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ මැදිහත්වීම ඉතාමත් දුර්වල තත්වයක පැවති බැවිනි. මෙම තත්වය තුළ ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය විසින් වහා පියවර ගතයුතු යැයි අප පක්ෂය බල කර කියා සිටී.

නීල් විජේතිලක
සම ලේකම්
සමාජවාදී ජනතා පක්ෂය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *