මීළඟ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය කුමන තැනක ස්ථානගතවේ ද ?

සුමනසිරි ලියනගේ විසින් සිය මුහුණු පොතේ තබනු ලබන උදෑසන සටහනකි!

මට හිතෙන විධියට මෙරට ධනේශ්වර පංතියේ ප්‍රධාන පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. මේ පක්ෂ දෙකම ඒවායේ ඉතිහාසයන්හිදී අර්බුදවලට මුහුණ දුන්හ. 1956 එජාපය පාර්ලිමේන්තුවේ ආසන අටට වැටුන ද එය 1960 නැවත ගොඩ ආවේ ය. 1970 දී ද එසේම විය. මේ අවස්ථාවන්හිදී, විශේෂයෙන් 1970 න් පසු නව සංවිධාන ගොඩ නැගීමේ උත්සාහයන් මතුවුව ද ඒවා සාර්ථක නොවින. මෙහිලා ජේ ආර් ජයවර්ධන භූමිකාව තීරණාත්මක වූයේ ය. පශ්චාත් ජයවර්ධන සමය එජාපය අස්ථාවර කෙරින. ගාමිණී- ලලිත්, ප්‍රේමදාස නායකත්වය සාර්ථකව ප්‍රශ්න කළහ. කෙසේවුවද, ආණ්ඩු බලය, ජයවර්ධන පසුගාමියා ලෙස රනිල් වික්‍රමසිංහ කරලියට ගෙන ඒම සහ ප්‍රේමදාස ඝාතනය දුබල මට්ටමෙන් වුව දේශපාලනික ග්‍රහ මංඩලයේ එජාපයේ තැන රැක ගැන්මට උදව්වක් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එවන් උච්චාවචනයනට ගොදුරු වින. එස් ඩබ්ලිව් ආර් ඩී බංඩාරනායක ඝාතනය එය බරපතල අර්බුදයකට ගෙනගිය ද, ෆීලික්ස් ගේ සහාය ඇතුව සිරිමා ඒ හිඩැස ඉක්මනින් ම පුරවා ලූවේ ය. ජාත්‍යන්තර තත්ත්වය ද ඇයට මෙහිලා හිතකර විය. 1980 ගණන්වල අභ්‍යන්තර අර්බුදය ඉස්මත්තට ආවේ විජය- චන්ද්‍රිකා මගිනි. ඒ පැල්ම ප්‍රතිසංස්කරණය කොට නැවත ශ්‍රීලනිපය පක්ෂයක් ලෙස ජාම් බේරාගත්තේ ය.
මා මෙයින් පෙන්වාදීමට තැත් කළේ මෙරට ධනේශ්වර පක්ෂ දෙකට ඇති ඔරොත්තුදීමේ ශක්තිය පමණක් නොවේ. ඒ විසදුම්වලට ඇති භෞතික විභවය පෙන්වාදීමට ය.

රාජපක්ෂ සංසිද්ධිය මේ සමතුලනය බිඳ  දැමී ය. එජාපය නොමැතිව ශ්‍රීලනිපය ට පැවතිය නොහේ. එමෙන්ම ශ්‍රීලනිපය නැතිව එජාපය ට පැවැත්මක් නැත. මෛත්‍රීපාලට අමතක කරුන මෙය ය. රනිල් බාගෙට අමතක කරෙත් එයම ය. මෙහි ප්‍රතිඵලය ඒ පක්ෂ වෙනුවට ආසන්නයන් (proxies) බිහිවීම ය. පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය එවන් ආසන්නයන් ය. එය රාජපක්ෂ ප්‍රපංචයේ ජාතිකවාදී බලය ය. පැරණි එජාප- ශ්‍රීලනිප ද්වන්ධයන් වෙනුවට පොදුජන පෙරමුණ -සමගි ජන බලවේගය ද්වන්ධය ස්ථාවරව අරක් ගනිද යන්න නිගමනය කිරීමට කල් වැඩිය. 2020 මැතිවරණය තීරණාත්මක ලෙස නව සමතුලනයක් ඇති කිරීම සහතික නොකරයි. අප කැමති වුවත්, අකමැති වුවත් මහින්ද රාජපක්ෂ තීරණාත්මක ප්‍රපංචයකි. ඔහුට ලංවිය හැකි පුද්ගලික චරිතයක් නිර්මාණය කිරීම ලෙහෙසි නොවේ.

ආණ්ඩුවක් ලෙස පොදු පෙරමුණේ සීඝ්‍ර කඩා වැටීම සහ 2025 වනවිට එය සුවකර ගැන්මට ඇති අඩු ඉඩකඩ, මහින්ද රාජපක්ෂගේ දේශපාලන වයෝවෘද්ධභාවය, ඇති කළ හැකි ප්‍රතිඵලය කුමක් ද? සමගි ජන බලවේග ආණ්ඩුවක් ද? පොදුජන පෙරමුණ බිදී ශ්‍රීලනිපය සමග ගොනුවෙන බලවේගයන්හි ආණ්ඩුවක් ද? මේවාට නිශ්චිත පිළිතුරක් දිය හැකි ලෙස දේශපාලන ග්‍රහයයන් තවම ස්ථානගතව නැත. ශ්‍රී ලංකා දේශපාලනයේ මෙකී ස්ථානගත කිරීම් කරන්නේ මැතිවරණයන් ය. ඊලඟ
රවුමට චන්දදායකයා හැඩගස්වන්නේ ඒ මැතිවරණ ය. ඔව්හු ඊටපසු ඒ ප්‍රවණතාවය තුළ ගාල් වන්නෝ ය.

ප්‍රමාණයෙන් කුඩා ජනවර්ග නියෝජනය කරන පක්ෂ හැසිරීම මා මෙහිදී සැළකිල්ලට ගත්තේ නැත. ඔවුන්ගේ නියෝජන අනුපාතය සාපේක්ෂව ස්ථාවර ය. ඒ බලවේග තීරණාත්මක වන්නේ ජනපතිවරණයක දී පමණි.

ඊලඟ වැදගත් ප්‍රශ්නය ජාතික ජන බලය ය. 1988 පළමුවෙනි පළාත් සභා චන්දයේදී වාමාංශික එක්සත් පෙරමුණ (ඒක්සත් සමාජවාදී පක්ෂය) පෙන්වූ ශක්තිය ද්වන්ධ සටනක් ඇතිවන තත්ත්වයක් ඊට අත්පත්කරගත හැකිනම්, එනම්, දෙවන තැනට ආ හැකිනම් සැළකියයුතු චන්දදායකයින් පිරිසක් ගාල්කර ගැන්මට එය සමත් වෙනු ඇත. පොදුජන පෙරමුණ ඊලඟ චන්දයකදී සෝදාපාලුවී යයි ද? සමගි ජන බලවේගය කපාගෙන ජයක් අත්කර ගනී ද? ජාතික ජන බලවේගය කුමන තැනක ස්ථානගතවේ ද යන්න තීරණය වන්නේ මේ මැතිවරණ හැසිරීම් අනුව ය. ශ්‍රී ලංකා චන්දදායකයා ඇපල් කරත්තය හොල්ලන්නේ හෙමිනි. පොහොට්ටුව හා ටෙලිෆෝනය කඩා වැටුනොත් අලියාට සහ බුලත් කොලයට චන්දය දීම තමන්ට වඩා පහසු නොවේදැයි ඔවුන් සිතනු ඇත.

සුමනසිරි ියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *