වෘත්තීය සමිතියකට බැඳීමේ කම්කරුවන්ගේ උවමනාව අඩුවෙලා නැහැ!

වතුපිටිවල වෙළඳ කළාපයේ පිහිටි ATG කර්‍මාන්ත ශාලාවේ පාලකයන්ගේ වෘත්තීය සමිති විරෝධී පිළිවෙත පැහැදිළි කරමින් ‘ඇත්ත’ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් වාණිජ හා කාර්මික සේවක මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ස්වස්ථිකා ආරුලිංගම් කියන කථාව…..

වතුපිටිවල වෙළඳ කලාපය ආශ්‍රිතව ඇතිවෙලා තියෙන තත්ත්වය කුමක්ද?

පසුගිය අගෝස්තු මාසයේ ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල ATG ආයතනයේ සිදුවුණු වෘත්තීය සමිතියක් බිඳ දැමීමේ සිද්ධිය තමයි මේකට මූලික වුණු සිද්ධිය. වෘත්තීය සමිතියකට එකතු වුණා කියන කාරණය මත මෙහි සේවකයන් 16 දෙනෙකුගේ සේවය අසාධාරණ ලෙස අවසන් කරලා තියෙනවා.

වතුපිටිවල වෘත්තීය සමිති ක්‍රියාත්මක වුණේ නැද්ද?

වතුපිටිවල කර්මාන්ත පුරයේ සේවකයන් 9000කට වැඩි පිරිසක් සේවය කරනවා. නමුත් මෙහි කිසිදු වෘත්තීය සමිතියක් ක්‍රියාත්මක නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ආයතන සියල්ල වෘත්තීය සමිතියක් පිහිටුවීමට ඉඩ නොදීම. ඒ වගේම වෘත්තීය සමිතියකට එකතු වීම රැකියාව අහිමි වීමට හේතුවක් බව එහි සේවකයන් විශ්වාස කිරීම. ඒ කරුණු දෙක නිසා මේ කලාපයේ සේවයන් සංවිධානය කිරීම අපහසු කටයුත්තක් වෙලා තියෙනවා. 

උක්ත සඳහන් කළ ආයතනයට ඔබලාගේ මැදිහත්වීම වුණේ කොහොමද?

වාණිජ හා කාර්මික සේවක සංගමයේ අපි මෙහි යම් සංවිධානගතවීමක් කරන්න මේ වසරේ සිට උත්සාහ ගනිමින් ඉන්නවා. පසුගිය කොවිඩ් තත්ත්වය මත ඇතිවූ තත්ත්වයන් නිසා එකමුතුව සිටීම වැදගත් බවට සේවකයන් තුළ හැඟීමක් ඇතිව තිබීම මේ කාරණයට අපව තවතවත් උනන්දු කළා. සමහර තැන්වල සේවකයන්ගෙන්මයි මේ වෘත්තීය සමිතියක් පිහිටුවීම සහ වෘත්තීය සමිතියකට එක්වීම පිළිබඳ ඉල්ලීම ආවේ. ඒ නිසා කර්මාන්ත ශාලාවල වෘත්තීය සමිතියක් පිහිටුවීමට සෑහෙන තරම් පිරිසක් අප සමඟ එකතු කරගන්න අපිට හැකි වුණා. මේ ඉහතින් සඳහන් කළ ATG ආයතනයේත් අපිට වෘත්තීය සමිතියක් පිහිටුවන්න හැකියාව ලැබුණේ ඒ අනුවයි. ඒ අනුව පසුගිය අගෝස්තු 20 වනදා එම ආයතනයට දැන්වූවා අප විසින් එහි වෘත්තීය සමිතියක් පිහිටවූ බවත් ආයතනයේ පාලනාධිකාරියත් සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවත්. එදා ඉඳන් ඔවුන් අපේ වෘත්තීය සමිතියට සම්බන්ධ වූ සේවකයන් සේවයෙන් නෙරපා හරිමින් ඉන්නවා. දවස් හතරක් තුළ සේවකයින් 16 දෙනෙක් සේවයෙන් නෙරපා හැර තියෙනවා.

ඉන් පස්සේ කටයුතු සිද්ධ වුණේ කොහොමද?

මේ නිසා වෘත්තීය සමිතියකට බැඳීමට සේවකයන් තුළ තැති ගැන්මක් තියෙනවා. ඒ වගේම මේ සේවකයන් නෙරපා හැරියේ කම්කරු දෙපාර්තමේන්තුවත් කොවිඩ් වසංගතය නිසා නිසි අයුරින් ක්‍රියාත්මක නොවන අවස්ථාවක. වාණිජ හා කාර්මික සේවක මණ්ඩලය කම්කරු දෙපාර්තමේන්තුවට මේ ගැන දැනුම් දුන්නා. අගෝස්තු 22 වැනිදා කම්කරු දෙපාර්තමේන්තුවෙන් මේ ආයතනයට සේවයකන් සේවයෙන් ඉවත් නොකරන ලෙස දැනුම් දීමක් කළා. එහෙම තියෙද්දිත් මේ ආයතනය දිගටම සේවකයන් සේවයෙන් නෙරපා හැරියා. අපේ උවමනාව මේ සේවකයන් 16 දෙනා නැවත සේවයේ පිහිටුවීමත්, නැවත වෘත්තීය සමිතිය පිහිටුවීමත්.
මේ කාරණය වෙළඳ කලාප ආශ්‍රිතව වෘත්තීය සමිති ක්‍රියාත්මක නොවීමටත්, සේවකයන් වෘත්තීය සමිතියකට එකතු නොවීමටත් හේතු කියාපාන මෑත කාලයේ සිදුවීමක්.

කම්කරු දෙපාර්තමේන්තුව පැත්තෙන් මැදිහත්වීම ප්‍රමාණවත් කියල හිතනව ද?

මෙවැනි සිදුවීම්වලදී කම්කරු දෙපාර්තමේන්තුව පැත්තෙන් කාර්මික ආරවුල් පනත යටතේ පරීක්ෂණ කිරීමට අමතරව මේ පිළිබඳ යම් නීති සංශෝධනයක් අවශ්‍ය බවත් අපි හිතනවා. වෘත්තීය සමිතියක් කඩා බිඳ දැමීම සිදුවන්නේ ආයතනය තුළ. වෘත්තීය සමිතියකට සම්බන්ධ වීම දැනගත් පසු විනය කඩකිරීම කියන චෝදනාව මත ඔවුන්ව ආයතනයෙන් ඉවත් කරනවා. දැනට පවතින නීතිය අනුව සේවකයෙක් වෘත්තීය සමිතියකට සම්බන්ධ වීම නිසා සේවයෙන් නෙරපා හැරීම කියන අසාධාරණ කම්කරු පිළිවෙත් අපරාධමය වරදක් විදිහටයි ගණන් ගැනෙන්නේ. ඒ නිසා කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආයතනයට විරුද්ධ මහේස්ත්‍රාත් අධිකරණයේයි ඊට විරුද්ධ නඩු පවරන්නේ. අපරාධ නඩුවකදී සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනාව ඔප්පු කළ යුතු වෙනවා. ඒ නිසා කම්කරු දෙපාර්තමේන්තුවට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් මෙහෙම නඩුවක් ගෙනා කළත් එය පවත්වාගෙන යන්න පුළුවන් වේවිද කියලා. ඒ නිසා අගතියට පත් කම්කරුවාට හෝ ඔහු නියෝජනය කරන වෘත්තීය සමිතියට මෙවැනි ගැටළුවක් ඍජුව කම්කරු උසාවියකට පැමිණිලි කිරීමේ හැකියාවක් පැවතිය යුතු බවයි අපි විශ්වාස කරන්නේ. කම්කරු උසාවිය මහේස්ත්‍රාත් උසාවියට සේව්‍යයාට විරුද්ධ පැමිණිල්ල ගෙනියන ගමන්ම සේවකයාටත් පුළුවන් කම්කරු විනිශ්චය සභාවකට මේ කාරණයට සිවිල් පිලියමක් ලබාගන්න. මේ ආකාරයට නීති වෙනස් විය යුතු බව අපි හිතනවා.

නීති වෙනස් කිරීමේ බලපොරොත්තුව?

සේවකයෙක් වෘත්තීය සමිතියටකට බැඳෙන්න තියෙන ප්‍රධාන බාධාව මේකයි. තමන්ගේ රැකියාව අහිමි වෙයි  කියන සැකය. මේ කාරණයට නීතිය පැත්තෙන් යම් ආරක්ෂණයක් ලැබෙනවා නම්. දැනට වෘත්තීය සමිතියක් කඩා බිඳ දැමීමට විරුද්ධ නීති තියෙනවා. ඒවා කම්කරු දෙපාර්තමේන්තුව විසින් මම කලින් කිව්ව විදිහට මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරන අපරාධ නඩු නිමිති. වෘත්තීය සමිතියක් විදිහට අපිට මූලිකව අවශ්‍ය සේව්‍යයාව බන්ධනාගාරගත කිරීම හෝ දඩ පැනවීම නෙවෙයි අවශ්‍ය. අපිට අවශ්‍ය සේවකයාගේ රැකියාව සුරක්ෂිත කිරීම සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියක් පිහිටුවීමයි.

වෘත්තීය සමිතිවලට කම්කරුවන්ගේ ආකර්ෂණය අඩු වීමක් තියෙන බවක් කියනවා?

අපි 2012 වසරේ සිට නිදහස් වෙළඳ කලාප සේවකයින් සමඟ කිට්ටුවෙන් වැඩ කරනවා. සේවකටන්ට ඇත්තටම වෘත්තීය සමිතියකට එකතු වීමේ උවමනාව තියෙනවා.. මීට කලින් කටුනායක නිදහස් කලාපයේ 2018 දී සේවකයනි 400ක් රැකියාවලින් ඉවත් කළා. කිසිවෙකුට ඔවුන්ගේ රැකියා ආපසු ලැබුණේ නැහැ. දැන් මෙවර 16 දෙනෙකුට රැකියා අහිමි වෙලා තියෙනවා. මේවා නීතිවිරෝධී. නමුත් මේවා වෘත්තීය සමිති පිහිටුවීමට විරුද්ධව ආයතන පැත්තෙන් පාවිච්චි කරනවා. මිට විරුද්ධ මතයක් සමාජයේ ඇතිවිය යුතුයි.

ඒ වගේම මධ්‍යම පන්තිය අතර සහ සමහර මාධ්‍ය තුළත් වෘත්තීය සමිතිවලට විරුද්ධ දෘෂ්ඨිවාදී මතයක් තියෙනවා. ඒවා බොහෝ දුරට ආයතනයේ අදහසට සමපාතයි. ඒවා වෙනස් කළ යුතුයි. ඇයි සේවකයෙකුට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීය සමිතියටක බැඳෙන්න බැරි. මේවා ප්‍රශ්න කළ යුතු කරුණු. මෙහෙම දෘෂ්ටිවාදයක් එළියේ තිබුණත් කම්කරුවන්ගේ වෘත්තීය සමිතියකට බැඳීමේ උවමනාව අඩුවෙලා නැහැ.

වෘත්තීය සමිති ආයතනයකට අවශ්‍ය ඇයි?

වෘත්තීය සමිති කියන්නේ ලෙඩක් නෙවෙයි. කම්කරුවන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම කියන්නේ වරදක් නෙවෙයි. මේ කොවිඩ් වසංගතය අවස්ථාවේ වෘත්තීය සමිතියක අවශ්‍යතාවය තදින් දැනෙනවා. සමහර ආයතනවල හිමිකරුවන් මේවායේ සිද්ධ වෙන දේ දන්නේවත් නැහැ. ඔවුන්ට කම්කරු නියෝජනයක් හමුවෙන්නේ නැහැ. වෘත්තීය සමිති කියන්නේ වැඩි පඩි ඉල්ලන යාන්ත්‍රණයක් විතරක් නෙවෙයි. වෘත්තීය සමිතියක් තියෙන කොට සේවක අයිතිවාසිකම් වෙනුවෙන් සේවකයන්ට යම් සහනයක් ලැබෙනවා වගේම සේව්‍යයාටත් කම්කරු ප්‍රජාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන්න පුළුවන්. වෙළඳ කලාපයේ තවත් තියෙන සුවිශේෂ ගැටලුවක් තමයි කම්කරුවන් දීර්ඝ කාලයක් ආයතනය තුළ රැදෙන්න නැතිවීම. නුපුහුණු කම්කරුවෙක් පුහුණු කළායින් පසු මෙහෙම රැකියාව අතහැර යාම ආයතනයට පාඩුවක්. එවන් රැකියා අතහැර දමා යන්න එක හේතුවක් තමයි ආයතනවල සේවා කොන්දේසි. ඒවා අවම කරගන්නත් වෘත්තීය සමිතිවලට පුළුවන්. වෘත්තීය සමිති ක්‍රියාත්මක ආයතනවල කළමනාකාරීත්වය සහ කම්කරුවන් අතර මනා සම්බන්ධතාවයක් තියෙනවා. ඒවා ඉතා හොඳින් වැඩකටයුතු සිද්ධ වෙන ලාබ ලබන ආයතන වෙලා තියෙනවා. වෘත්තීය සමිති කියන්නේ ආයතනයේ ඵලදායීත්වය සහ කම්කරුවන්ගේ ඵලදායීත්වය දෙකම වැඩිකරන යාන්ත්‍රණයක්.

  සාකච්ඡා කළේ – සමන් ජයකොඩි. උපුටාගැනීම ‘ඇත්ත’ පුවත් පත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *