රසායන පොහොර තහනම ව්‍යාජයක් ද? ඊට වැඩි දෙයක් ද?

නොවැම්බර් 23 ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත මෙතෙක් තහනම් කර තිබු කෘෂි රසායන පොහොර හා ඇතැම් කෘමිනාශක වර්ග කිහිපයක් නැවත වරක් ලංකාවට ගෙන්වීමට ව්‍යාපාරිකයන්ට අවසර දී ඇත මෙම වල්නාශක හා රසායනික පොහොර ගොවීන්ට පුද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සිදුවනු ඇත. මෙය පසුගිය මාස කිහිපය තිස්සේ රජය විසින් අනුගමනය කළ කාබනික පොහොර ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන්ම ආපස්සට හැරවීමකි.

විශේෂයෙන්ම අප මතක තබා ගත යුත්තේ ජනාධිපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වසර දහයක ඇතුලත සායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය දිරි ගන්වන බවට   සඳහන් කර තිබුණි. නමුත් හදිසියේම ජනාධිපතිවරයා මෙම කන්නයේ සිටම සියලුම රසායන පොහොර වර්ග හා කෘමි නාශක, පලිබෝධනාශක තහනම් කරන බවත් එමනිසා ගොවීන් උනන්දු වී කාබනික පොහොර නිෂ්පාදනය කළ යුතු බවටත් තීරණය කරන ලදි. රජයේ මෙම පියවර පරිසර විශේෂඥයින්ගේ, වාමාංශිකයන්ගේ පවා පැසසුමට ලක්විය. ඇත්ත වශයෙන්ම රජය මෙවැනි පියවරක් ගත්තේ කිසිම අවංකභාවයකින් නොවන බව අපි දනිමු.

මේ වන විට රජය මුහුණ දී තිබෙන ඉතා භයානක ආර්ථික අර්බුදය තුළ, විශේෂයෙන් විදේශ විනිමය හිඟය තුළ පොහොර සහනාධාරයට වැය වන අති විශාල මුදලක් ඉතිරි කර ගැනීමට රජයට අවශ්‍ය වී තිබේ. එම නිසා කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාවට දැමීමට රජය කටයුතු කළේය. ඇත්ත වශයෙන්ම එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කිසිඳු පෙර සූදානමක් රජයට හෝ කෘෂිකර්ම අමාත්‍යංශයට හෝ රාජ්‍ය නිලධාරීන්ට හෝ තිබුණේ නැත. ඒ නිසාම මේ පිළිබඳ ගොවීන් හරිහැටි දැන නොසිටි අතර අවුරුදු 40 ක පමණ කාලයක් මේ රටේ ගොවීන් භාවිතා කළ කෘෂිකාර්මික පොහොර හා වල්නාශක ද්‍රව්‍ය එක්වරම නැවැත්වීමෙන් ගොවි ජනතාව බරපතල අපහසුතාවයකට පත් වුහ. ඒ නිසා පසුගිය කාල පරිච්ඡේදය තුළ ගොවීන් නැවත රසායනික පොහොර ඉල්ලමින් මුලු දිවයින පුරාම අතිවිශාල උද්ඝෝෂණ ඇරඹු අතර මේ නිසා රජය බරපතල අපහසුතාවයක පත් වු බව රහසක් නොවේ.

නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා තදින් කියා සිටියේ තමා ගන්නා පියවර කුමන හේතුවක් නිසා හෝ ආපස්සට නොගන්නා බවයි. පසුගිය මාසයේ ස්කොට්ලන්තයේ පැවති පාරිසරික සමුලුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියා සිටියේ ගොවීන් කුමන විරුද්ධත්වයක් දැක්වුවත් තමා මෙම පාරිසරික ගොවිතැන ගැන ගත් තීන්දුවේ කිසි වෙනසක් සිදු නොකරන බවයි.

එසේ තිබියදී හදිසියේම මෙම ජනාධිපතිවරයාටම නැවත වතාවක් රසායනික පොහොර ගෙන්වීමට අවසර දීමට සිදු වුයේ ඇයි? 2020 දී පමණක් රසායනික පොහොර ආනයනය සඳහා ඩොලර් 259 ක් වැය වු අතර 2021 වර්ෂය සඳහා එය ඩොලර් මිලියන 300 – 400 අතර විය හැකි බවට ගණන් බලා තිබුණි. මීට පෙර ලංකාවට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය බලවත් විරෝධතාවයට ආණ්ඩුව විදේශ රටවලින් කාබනික පොහොර ආනයනය කිරීමට කටයුතු කළේය. ක්වින්ඩා ඕ බයෝටෙක් සමාගමින් කාබනික පොහොර විශාල ප්‍රමාණයක් රැගෙන චීන නැවක් පැමිණියද එම කාබනික පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයකදී දෙවරක් අසමත් විය. එම කාබනික පොහොර තුළ වෙනත් ද්‍රව්‍ය පවතින බැවින් ඒවා ලංකාවට භාර නොගන්නා බවට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පොහොර කමිටුව තීරණය කළේය. නමුත් මෙම පොහොර වර්ගයේ ප්‍රමිතිය ගැන පරික්ෂා කිරීමට පෙරම පොහොර සඳහා ඇණවුම් ලබා දීමට අවශ්‍ය මුදල් වෙන් කිරීමට එකඟවීමෙන් ආණ්ඩුව පත්ව ඇත්තේ බරපතල අර්බුදයකටය. දැනට ඇති කර ගත් එකඟත්වයට පොහොර නැව ලංකාවට පැමිණ ඇති අතර අධිකරණ නියෝගයක් අනුව එම පොහොර ලංකාවේ ගොඩ බෑමට තහනම් කර තිබේ. මේ නිසා චීනය හා ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ද හටගෙන ඇත.

අද වන විට චීන ආණ්ඩුව මෙම පොහොර ගණුදෙනුවට සම්බන්ධව කටයුතු කරන මහජන බැංකුව සමඟ ගණුදෙනු කිරීම සම්පුර්ණයෙන්ම අතහැර තිබේ. එම බැංකුව බ්ලැක් ලිස්ට් කර ඇත. මේ ආකාරයට මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකිව පවතිද්දි නීති විශාරදයින්ගේ මතය වී ඇත්තේ මහජන බැංකුව ඛධක්‍ නිකුත් කළ හෙයින් අනිවාර්යයෙන්ම මෙම ඩොලර් බිලියන 08 ප්‍රමාණයක් වන්දි වශයෙන් චීන සමාගමට ගෙවීමට රජයට සිදුවනු ඇති බවයි. මෙය වනාහි ලංකාවේ මහජන බැංකුව පවා බරපතළ අර්බුදයකට පත්වන ක්‍රියාවලියක් ලෙස වර්ධනය වී තිබේ.

මේ ප්‍රශ්නය පිළිබඳව රජය නිල වශයෙන් විසඳීමට කිසිම කටයුත්තක් කළේ නැත. ඒ වෙනුවට ගොවීන්ගේ ඉල්ලීම් වැඩි දියුණුවත්ම, උද්ඝෝෂණ ශක්තිමත් වත්ම රජය ඇතුළතින් මෙන්ම පිටතින් ද මෙම තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් බරපතල මතවාදයන් රජයේ ඇමතිවරු, මන්ත්‍රීවරු අතර පවා පටන්ගෙන ඇත්තේ මෙම ප්‍රශ්නයට විසඳුමක් නොදුන්නහොත් තමන්ට ගමට යාමට නොහැකි තත්වයක් උදා වන බවයි.

එම නිසා මෙම පොහොර වෙනුවට හිලව්වක් හැටියට ඉන්දියාවේ සමාගමක් විසින් අලුතින් නිෂ්පාදනය කරන නැනෝ නයිට්‍රජන් යුරියා තොගයක් ලංකාවට ගෙන්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අති විශාල නැනෝ යුරියා ප්‍රමාණයක් ලංකාවට ආනයනය කර තිබේ. මෙම නැනෝ යූරියා සම්බන්ධයෙන් බරපතල මතභේදයක් හටගෙන තිබේ. එය රසායනික පොහොරක් ද? එහෙම නැතිනම් ආණ්ඩුව කියන ලෙස දේශීය පොහොර වර්ගයක්ද? මේ වන විට හෙලිදරව් වී ඇත්තේ එම පොහොර වර්ගය කිසිසේත් කාබනික පෙහොරක් නොව පැහැදිලවමි රසායනික පොහොරක් බවයි. එසේම එම නැනෝ පොහොර ඉන්දියාවෙන් විකුණන මිලට වඩා අති විශාල මුදලකට ලංකාවට ගෙන්වා ගැනීම තුළ මෙම ජාවාරමෙන් දැවැන්ත වංචාවක් ඇමතිවරුන් හෝ  නිලධාරීන් විසින් සිදු කර ඇති බව දැනට ඉතා හොඳින්  පැහැදිලි වී තිබේ. මෙසේ තිබියදී ආණ්ඩුව මෙම පොහොර සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි.

දැන් වෙළඳපොළට කෘතිම රසායනික පොහොර වර්ග හා රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර දී තිබේ. අප මතක තබා ගත යුත්තේ මේ ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේදී ගොවීන්ට පොහොර ලබා දුන්නේ පොහොර මිටියක් රුපියල් 750 ට බවත්, ජනාධිපතිවරණය අවසානයේදී ජනාධිපතිවරයා ජාතියට ප්‍රතිඥා දුන්නේ මහ මැතිවරණයෙන් මෙම රජය බලයට පත් වුවහොත් පොහොරවලට සතයක් වත් අය නොකර නොමිලේ ලබා දීමට කටයුතු කරන බවත්ය. ඇත්තටම දැන් නොමිලේ පොහොර ලබා දෙනවා තබා මුදලටවත් ලබා දීමට රජයට කිසිම හැකියාවක් නැත. රජය පොහොර සම්බන්ධයෙන් ගත් හැම ස්ථාවරයක්ම අනාගෙන තිබේ. වරෙක නොමිලේ ලබා දෙන බවට වහසි බස් පවසමින් ද, තවත් වරෙක 750 ට ලබා දෙන බවට වහසි බස් පවසමින් ද ගොවි ජනතාවගේ ඡන්දය දිනා ගැනීම සඳහා ආණ්ඩුව දැරු ප්‍රයත්නය සාර්ථකය. නමුත් දැන් වන විට 750 ට වත් පොහොර ලබා දීමට හැකියාවක් ඇත්තේ නැත. එමනිසා රජය හැමවිටම උත්සාහ කරන්නේ සහනදායී මිලකට රසායනික පොහොර, කොම්පොස්ට් පොහොර ලබා දෙන අතර අනෙක් පොහොර අවශ්‍ය අයට මුදල් දී වෙළඳපොලෙන් මිලදී ගත හැකි බවයි.  දැනටමත් ඇතැම් ගොවීන් වෙළඳපොලේ ඇති පොහොර හිඟය නිසා කලු කඩවලින් ඉතා අධික මිල ගණන්වලට පොහොර ද, කෘෂි රසායන ද්‍රව්‍ය ද, බීජ ද මිලදි ගැනීමට පටන් ගෙන ඇත. මේ නිසා දුප්පත් ගොවියා බරපතල අමාරුවකට වැටී තිබේ. දැනටමත් වගා කරන මුල් කාල පරිච්ඡේදය අවසන් වී ඇති අතර ඇතැම් තැන්වල කාබනික පොහොර මඟින් වගා කිරීමට පටන් ගෙන ගොවිතැන් පාලුවට ගොස් තිබේ. මේ නිසා මේ කන්නයේ ගොවිතැන නැවත නගා සිටුවීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතාම අඩුය. එයට පිළියමක් හැටියට ආණ්ඩුව කියා සිටියේ ගොවිතැන් අලාභ වන ගොවියන්ට රජය මගින් වන්දි ලබා දෙන බවයි. නමුත් මෙවර අයවැයෙන් මේ සම්බන්ධව කිසිම වන්දි මුදලක් වෙන් කළේද නැත.

මෙම තත්වය යටතේ අද ගොවීන්ට මුදලට පොහොර ලබා ගැනීමට සිදු වීමෙන් ගොවිතැනේ යෙදී සිටින ගොවියා සම්පුර්ණයෙන්ම අසරණභාවයට පත්වන අතර ඔවුන් ගොවිපළෙන් පළවා හැර වැටුප් ශ්‍රමිකයන් ලෙස මහමගට වැටීම පමණක් සිදු වනු ඇත. කෘෂිකර්මයේ ඇතිවන මෙම වෙනස ලංකාවේ ධනපති පංතියට කෘෂි ඉඩම් පුද්ගලික අංශයට විකිණීම තුළ ප්‍රාග්ධන සමුච්ඡනය කර ගැනීම සඳහා ධනපති පංතියට අලුත් ඉඩ ප්‍රස්තාවක් ලබා දෙනු ඇත. ඒ නිසා අනිත් අතට සාම්ප්‍රදායික ගොවිතැන, වී ගොවිතැන වැනි සාම්ප්‍රදායික ගොවිතැන් පැහැදිලිවම අද ඉතුරුව ඇත්තේ අති විශාල ලෙස මුදල් එකතු කරගත දැවැන්ත පොහොසත් ගොවීන්ට පමණකි. දුගී ගොවියා විනාශයට පත්වීම මෙහි අනිවාර්යය ප්‍රතිඵලයයි. තරුණයින් ගොවිතැන අතහැර විදේශ රැකියා බලා යාමට ආරම්භ කර තිබේ. මෙම ඛේදවාචකය ඇත්ත වශයෙන්ම මෙම ආණ්ඩුවේ ආකාර්යක්ෂමභාවය හා කෘෂිකර්මය පිළිබඳ පැහැදිලි සැලැස්මක් නැතිකමේ ප්‍රතිඵලයකි. ඒ නිසා ගම්බද පළාත්වල ගොවි ප්‍රදේශයන් තුළ ගොවි ජනතාව දරුණු ලෙස ණයගැතිභාවයට පත්ව සිටින අතර ඔවුන් එම ණය උගුලෙන් ගලවා ගැනීම සඳහා ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් ඇත්තේ නැත. ඒ නිසා ඉදිරි කාලය තුළ ගොවි ජනතාවට පාරිසරික ගොවිතැන හඳුන්වා දෙන අතර එය සාර්ථක ලෙස භාවිත කිරීම සඳහා ගොවීන් අතර විප්ලවීය වෙනසක් කළ යුතුව තිබේ. මෙය කිසිසේත්ම වර්තමාන රජයට හෝ ඉදිරියේ එන්න නියමිත වෙන ආණ්ඩුවකට කළ හැකි කාර්යයක් නොවන බව අපි දනිමු. මන්දයත් අද ගොවිතැන යනු ධනේෂ්වර ක්‍රමයට යට ගැහුණු ලාභ උපයන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ගැනීමට සුදානම් ධනේෂ්වර පංතියක් මේ රට තුළ බිහිවෙමින් තිබෙන නිසාය. ඒ නිසා අප තේරුම් ගත යුත්තේ වාමාංශික ව්‍යාපාරය එක අතකින් කෘෂි රසායන පොහොර වෙනුවට කාබනික පොහොර දිරි ගන්වන අතර ගොවියා ගොවිපළෙන් පළවා හැරීමට මෙම ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා ගොවි ජන ව්‍යාපාරය සංවිධානය කිරීම අතිශයින්ම අත්‍යවශ්‍ය බවයි.

සටහන නීල් විජේතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *