ඇස් බැන්දුම් සහ අයවැය පුරසාරම්

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් පනවා තිබු තහංචි විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීමෙන් පසු මංත්‍රී ධුරයත් මුදල් ඇමතිකමත් ලත් බැසිල් රාජපක්ෂ මහතා සිය කුළුඳුල් අයවැය කතාව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. සම්ප්‍රදායික නොවන අයවැයක් ඉදිරිපත් කරන බවට පුරසාරම් කි නමුත් ඉදිරිපත් කළ අයවැයේ සම්ප්‍රදාය නො සැලකුවත් රටේ දැවෙන ආර්ථික සහ සමාජීය ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් හෝ ඒ ගැන අවබෝධයක් පවතින බවක් දැකිය නොහැකිය. විදෙස් රටවලින් ‘සංවර්ධනයේ නාමයෙන්’ ලබා ගත් ණය පොලී සමග ආපසු ගෙවීමේ දී මතුව ඇති විදෙස් විනිමය අර්බුදය විසඳන ආකාරය හෝ බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩ නගන ආකාරයක් හෝ පෙන්වා දී නැත. සිදුව ඇත්තේ සම්ප්‍රදායික ආකාරයට හිස් බලාපොරොත්තු ඇති කිරීම පමණි.

කළු කඩකාරයන්ට විරුද්ධව ක්‍රියා කරන බව පැවසුවත් නිදහසින් පසු ලංකාවේ වැඩියෙන් ම ‘සංවර්ධනය’ වූ ව්‍යාපාරය වන වංචාව, දූෂණය සහ හොරකම මැඩලීමේ වැඩ පිළිවෙළක් ඔහුට ඉදිරිපත් කිරීමට නොහැකි විය. ඒ වෙනුවට රාජපක්ෂ පරම්පරාවේ ඉතිහාසය හුවා දැක්වීම කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය පිළිබඳ ව තහනමට ලක් කර ඇති මුදල් භාණ්ඩාගාරයට පවරා ගන්නා බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේ පැවසුව ද නීති ක්‍රියා මාර්ගයක් නිම වන තෙක් මහ බැංකුවේ නියෝගයක් මත රඳවා ගෙන ඇති මුදල් අයවැය යෝජනාවක් මගින් රජය සතු කර ගන්නේ කෙසේ ද යන්න තවම පැහැදිලි කර නැත. එවැනිම තවත් හාස්‍ය ජනක කාරණයක් වන්නේ රිය අනතුරක දී බදු මුදලක් අය කිරීමේ යෝජනාවයි. ඒ දැනට රක්ෂණ ආවරණයක් ලබා ගැනීමේ දී අය කරන මාර්ග ආරක්ෂණ අරමුදලට අමතරව විය හැකිය. එවැනි බද්දක් පනවන ආකාරය හෝ බදු අනුපාතය හෝ සඳහන් කර නැති නිසා එය රිය පදවන්නන්ට තවත් දඩ මුදලක් විය හැකිය.

කෙසේ වුවත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඊට පෙර සිටි මුදල් ඇමතීන් මෙන් ඇස් බැන්දුම්වලට දක්ෂයෙකි. මාස ගණනාවක් තිස්සේ මහ මගට බැස උද්ඝෝෂණ සටන් කළ ගුරුවරුන්ගේ ඉල්ලීම අනුව  වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 30ක් ලබා දීමට එකඟවුවද අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල් 2021 වසරට වඩා මිලියන 6කින් අඩු කර ඇත. ඒ අනුව ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම ලබා දෙන්නේ අධ්‍යාපනය සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා දීමෙන් නොව දැනටමත් වෙන් කර ඇති ප්‍රතිපාදන එහා මෙහා කිරීමෙනි. ඒ තුළින් රුපියල් බිලියන 6ක් භාණ්ඩාගාරයේ සාක්කුවට දමා ගැනීමට ද සමත්ව ඇත.

ආර්ථික කඩා වැටීම සහ කොවිඩ් වසංගතය නිසා ජන ජීවිතය අඩාල වීමෙන් විපතට පත් ජනතාවට සහන ලබා දී ඔවුන් නගා සිටුවීම වෙනුවට කර ඇත්තේ එම ප්‍රතිපාදන තවදුරටත් කපා හැරීමකි. සෞඛ්‍යය, සමෘද්ධිය, ජල සැපයුම සහ ග්‍රාමීය නිවාස වැනි කටයුතු සඳහා වෙන් කර ඇත්තේ කලින් වසරට වඩා රුපියල් බිලියන 173ක් අඩුවෙනි. කොවිඩ් වසංගතයක් ගැන නිතර කතා වුවත් සෞඛ්‍ය සඳහා වෙන් කර ඇත්තේ කලින් වසරට වඩා මිලියන 7ක් අඩුවෙනි. වෙළඳ පොළේ ඩොලර් 10කට අලෙවි කරන එන්නත් මාත්‍රාවක් ඩොලර් 15 බැගින් මිලදී ගන්නා විට ඇත්ත වශයෙන් ම සිදු විය යුත්තේ මුදල් ප්‍රතිපාදන වැඩි කිරීම ය. දැන් ඇමරිකාවෙන් තුන්වැනි මාත්‍රාව සඳහා එන්නත් ගෙන්වන විට මෙම මුදල් පරතරය වඩාත් වැඩි විය හැකිය. එම නිසා මුදල් ඇමතිවරයා තවත් ඇස් බැන්දුමක් කිරීමට සූදානම් වන බව පෙනේ.

මුදල් ඇමතිවරයා සැබැවින් ම සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන්නේ රටේ ආරක්ෂාවයි. විපක්ෂයේ සිටින විට ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ රටේ ආරක්ෂාව බිඳ වැටී ඇත යන්නයි. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් එම චෝදනාවේ නිරවද්‍යතාවය තහවුරු විය. ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනාධිපති තරගයට ඉදිරිපත් වන පැවසුවේ ද ත්‍රස්තවාදී ප‍්‍රහාරයේ දුම් රොටු පහව යෑමටත් පෙර ය. එමනිසා රටේ ආරක්ෂාව කුමන තත්වයක් යටතේ හෝ අමතක කළ හැකි දෙයක් නොවේ.

මෙහි දී තවත් කරුණක් පැහැදිලි කර ගත යුතුය. මෙම සංකල්පය අනුව ආරක්ෂාව යනු ත්‍රිවිධ හමුදාවත් අනෙකුත් ආරක්ෂක අංශ තර කිරීම ය. ත‍්‍රස්තවාදයට පසුබිම් වන සමාජ දේශපාලන ආර්ථික කරුණු වැදගත් නැත. ඒ සියල්ල අමතක කර අවි බලයෙන් සියලු සමාජ ව්‍යාධි විසඳිය හැකි යැයි සිතීම සංකල්ප ගත කර ඇති බවක් දැකිය හැකිය.

ඒ අනුව 2022 වසර සඳහා ආරක්ෂක වියදම් වශයෙන් රුපියල් බිලියන 373ක් වෙන් කර ඇති අතර එය මුළු අයවැයෙන් සියයට 10කි. එනම් විශාලතම වියදම් ඒකක යි. ආරක්ෂාවේ ඇති වැදගත් කම නිසා අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි අංශවලට වෙන් කළ ප්‍රතිපාදන අඩු කර ආරක්ෂක ප්‍රතිපාදනය සියයට 21කින් වැඩි කර ඇත. එල්ටිටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව, ත්‍රස්තවාදීන් මර්දනය කරන ආකාරය  ලෝකයේ සෙසු රටවලටත් ඉගැන්වීමට සූදානම් ලංකාව අවි ගැටුමක් නොමැතිව මෙවැනි මුදල් සම්භාරයක් ආරක්ෂාව සඳහා වැය කරන්නේ අනාගතයේ මතු විය හැකි තත්වයකට මුහුණ දීමට විය යුතුය.

කෙසේ වුවත් ආරක්ෂාව ගැන ලොව සෙසු රටවලින් ඉගෙන ගත හැකි පාඩම් අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඉගෙන ගත් බවක් නොපෙනේ. ක්‍රමෝපාය අධ්‍යයනය සඳහා වූ අන්තර්ජාතික ආයතනය 2019 පෙබරවාරි මස නිකුත් කළ ප්‍රකාශයක් අනුව ඉන්දියන් සාගරයේ අබ ඇටයක් තරම් වූ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සාමාජික සංඛ්‍යාව 255,000කි. එහෙත් හිරු නොබසින රාජ්‍යය යනුවෙන් විරුදාවලි ලත් එක්සත් රාජධානියේ සන්නද්ධ සේවාවල සංඛ්‍යාව 146,390කි. තවත් එවැනි ම අධිරාජ්‍යයක් ගොඩ නගා සිටි ප්‍රංශයේ භට සංඛ්‍යාව 203,910කි. එක්සත් රාජධානියත් ප්‍රංශයත් සන්නද්ධ ශක්තිය අනුව න්‍යෂ්ටික අවි සතු ලොව බලවත් රාජ්‍යයන් බව සිහිපත් කළ යුතුය. ආර්ථික දියුණුව අතින් ලොව ඉහළම මට්ටමේ සිටින එම රටවල ආර්ථික ශක්තිය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

සන්නද්ධ බලයෙන් පමණක් ආරක්ෂාව සහතික කිරීම අපේ සැලසුම්කරුවන්ගේ ක්‍රමෝපාය වන බවට හොඳම නිදසුනක් වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ රඳවා ඇති භට සංඛ්‍යාවයි. මුලතිව් දිස්ත්‍රික්කයේ  ජන සංඛ්‍යාව 180,000කට ආසන්න වන අතර එහි රඳවා ඇති භට සංඛ්‍යාව 90,000කි. එනම් සෑම වැසියන් දෙදෙනෙකුට හමුදා භටයෙකු බැගිනි. රාජ්‍ය අයවැයෙන් සියයට 10ක්ම වැය කිරීමට සිදුව ඇත්තේ මෙම ක්‍රමෝපාය නිසා ය. මෙම ප්‍රදේශයේත් පොදුවේ උතුරේත් බහුලව කෙරෙන මත් ද්‍රව්‍ය ජාවාරම ආරක්ෂාවට තර්ජනයක් නොවන නිසා ඒ මැඩලීමට මෙම හමුදා භටයන් යොදවන බවක් නොපෙනේ.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ගණන් හිලව් අනුව රාජ්‍ය ආදායම සහ වියදම අතර පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15කි. මෙම හිඟය පිරිමසා ගැනීමට කර ඇති එක යෝජනාවක් වන්නේ පසුගිය ආදායම් වර්ෂය සඳහා රුපියල් දශ ලක්ෂ 2000කට වඩා වැඩි ලාභාංශයක් ලබන අයගෙන් වරකට පමණක් බද්දක් අය කිරීමය. එම බද්දෙන් රුපියල් බිලියන 100ක් අපේක්ෂා කරයි. මෙවැනි මුදලක් රැස් කර ගැනීමට සැලසුම් කරන්නේ ජාතිය ගොඩ නැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු බද්ද, යනාදි බදු ගණනාවක් ඉවත් කිරීමෙන් සහ වැට් බද්ද සියයට 12 සිට 8 දක්වා අඩු කිරීමෙන් අහිමි වු රුපියල් බිලියන 424ක හිඟය පිරිමසා ගැනීමට ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට තේරී පත් විගස එම බදු සියල්ල ඉවත් කෙළේ ආයෝජන දිරි ගැන්වීමට ය. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ ආයෝජන වඩාත් පහත වැටීම ය.

බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති තවත් සිත් ගන්නා යෝජනා දෙකක් වන්නේ මංත‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපට සුදුසුකම් ලැබීමේ කාල සීමාව වසර පහේ සිට දහය දක්වා දීර්ඝ කිරීම සහ ඔවුන්ට  නොමිලේ ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් පහකින් අඩු කිරීමය. මෙම මහජන නියෝජිතයන් ගමන් කරන වාහන කිලෝමීටරයක් යෑමට දවන ඉන්ධන ප්‍රමාණය සැලකිල්ලට ගන්නේ නම් මෙම යෝජනාවෙන් මංත‍්‍රීවරුන්ගේ ගමන් බිමන් කි.මී.30-40ත් අතර ප්‍රමාණයකින් අඩුවිය හැකිය. ඉන් භාණ්ඩාගාරයට ඉතිරි කර ගත හැකි මුදල් ප්‍රමාණය ඔහු ඉදිරිපත් කෙළේ නැත.

සමස්තයක් වශයෙන් මෙම අයවැයෙන් සිදු කර ඇත්තේ සම්ප‍්‍රදායිකව නොවුවත් මහා ඇස් බැන්දුමකි. ඉලක්කම් එහා මෙහා කිරීමක් පමණි. ඉහතින් සඳහන් කළ ගුරු වැටුප් වැඩි කළ ආකාරයෙන් එය පැහැදිලි කර ගත හැකිය. ගුරු වැටුප් වැඩි කිරීම සඳහා බිලියන 30ක් ලබා දෙන අතර අධ්‍යාපනය සඳහා වෙන් කළ සමස්ත මුදල අඩු කර ඇත. ඉන් පැහැදිලි වන්නේ ගුරු වැටුප් වැඩි වුවත් අධ්‍යාපනයේ කඩා වැටීම වැළැක්වීමට කිසිදු පියවරක් ගෙන නැත යන්නය. ගුරු වර්ජනය පැවති සමයේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටීම ගැන මෙම දේශපාලකයන් හෙළා ඇත්තේ කිඹුල් කඳුළු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

යහපාලන රජය සමයේත් දැන් සෞභාග්‍ය කරා යන ගමනේ දීත් සැබැවින් ම සංවර්ධනය වන්නේ ආර්ථිකය හසුරුවන දේශපාලකයන් ය. කෙතරම් විදේශ විනිමය හිඟයත් තිබුණත් ඔවුන් එම මුදල් ස්විට්සර්ලන්තයේ හෝ සීෂෙල්ස් හි ඇති බැංකු ගිණුම්වල සුරක්ෂිතව තැන්පත් කරනු ඇත. එම ගනුදෙනු ගැන සොයා බැලීමට අවශ්‍ය කරන  ඕනෑම අවස්ථාවක පහසුවෙන් යෑමට දැන් කොළඹ සිට සීෂෙල්ස් දක්වා ගුවන් ගමන් සේවයක් ද අරඹන බව පැවසේ.

ඇත්තෙන්ම අලුත් අයවැයෙන් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකයේ කඩා වැටීම සහ දේශපාලනයේ පිරිහීම යි. ආර්ථිකයත් රටත් ගොඩ නැගිමට අනිවාර්යයෙන් ගත යුතු එකම ක්‍රියාමාර්ගය වන්නේ දූෂිත දේශපාලනය වෙනස් කිරීම සහ දූෂිතයන්ට නිසි දඬුවම් ලබාදීම ය. එය කළ හැකි වන්නේ පාලකයන් මාරු කිරීමෙන් පමණක් නොවේ. රටේ පොදු ජනතාවට සෘජුවම බලපෑම් කළ හැකි පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් නිර්මාණය කළ යුත්තේ ඒ සඳහා ය.

        මහින්ද හත්තක විසිනි

ස්තුතිය- 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *