‘සපුගස්කන්ද’ තෙල් පිරිපහදුවේ ගිණි සිලුව නිවා දමයි!

දසක පහකට වැඩි කාලයක් නොනිවී දැල්වුණු ‘සපුගස්කන්ද’ තෙල් පිරිපහදුවේ ගිණි සිලුව නිවා දැමීමට රජය කටයුතු කර ඇත. බොරතෙල් ආනයනය නොකිරීමට ගත් තීරණය මීට හේතුවී තිබේ. පවත්නා ඩොලර් හිඟය මත මෙම පියවර ගැනීමට සිදුවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියයි.

බොර තෙල් පිරිපහදුව මගින් දිනකට මෙරටට අවශ්‍ය පෙට්‍රල් හා ඩීසල් ප්‍රමාණයට සැළකිය යුතු දායකත්වයක් ලබාදේ. ඊට අමතරව නැප්තා හා වෙනත් නිෂ්පාදනවලින් 35% කට වැඩි අගයක් එකතු කරයි. ගුවන්යානා සඳහා අවශ්‍ය ඉන්දන නිෂ්පාදනය,ජාතික ආර්ථිකයට ශක්තියක් විය.එම ඉන්දන සැපයීම ජාත්‍යන්තර ගුවන් ගමන් පද්ධතියේ සුවිශේෂී සේවාවක් ලෙස අගැයීමට ලක්වේ. ගෑස් හා රසායනික කර්මාන්ත කීපයක්ම මෙම තෙල් පිරිපහදු කර්මාන්තය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් ආර්ථිකය පණගන්වයි.

මෙම කර්මාන්තයේ ඍජු සේවා නියුක්තිකයින්ගේ සංඛ්‍යාව 850 ක් පමණ යැයි කියැවේ.ආශ්‍රිත කර්මාන්ත හා සේවාවල තවත් සේවකයෝ ගණනාවක් සේවයේ යෙදී සිටිති. මේවන විට මොවුන්ගේ රැකියා පිළිබඳ ගැටලුකර තත්ත්වයන් මතුවී තිබේ.

ඇතිවී තිබෙන ඩොලර් හිඟයට පිළියමක් ලෙස මේ තීරණයට එළඹුන බව බලශක්ති අමාත්‍යවරයා කියා සිටියද,මෙම කර්මාන්තය අකර්මණ්‍යවීම නිසා මතුවන ඛණිජ තෙල් ඌනතාවය පිරිමසා ගැනීමේ ක්‍රියා මාර්ගයේදී තවත් විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ. මේ හිඩැස සපුරාලීමට අවශ්‍යවන ඛණිජ තෙල් බැරලයක් සඳහා තවත් අමතර ඩොලර් ප්‍රමාණයක් වැය වන බව ආර්ථිකවේදීහු කියති.

බොරතෙල් ආනයනය වළක්වමින් ඩීසල් හා පෙට්‍රල් ගෙන්වීමට අවශ්‍ය තරම් ඩොලර් සංචිතයක් රට තුල නොමැති බවද පැහැදිලිය. එමෙන්ම ඛණිජ තෙල් පිරිපහදුව ආශ්‍රිත කර්මාන්ත හා බැඳුණු ආර්ථික ක්ෂේත්‍රයට කුමක් සිදුවේද යන්න විමසිය යුත්තකි.

මෙය ඩොලර් හිඟයට ප්‍රතිකර්මයක්යැයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියද මේ තුල කූට ව්‍යාපාරික ගණුදෙනුවක් ඇතැයි ඇතැම්හු සැක පලකරති. කෙසේවුවද බොර තෙල් සඳහා වැයවන විදේශ විනිමය රට තුල රඳවා ගැනීමට ගත් මෙම තීරණය ඵලදායි ආර්ථික  උපක්‍රමයක් නොවන බව පැහැදිලිය.මේවන විට ගිනි සිලුවක් අතින් ගත් නිරුවත් ධාවකයාගේ සිරුරට ගිනි දල්වා ඇත.

මොරටුවේ, ප්‍රියන්ත සිල්වා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *