කොල්වින් ගැන මතකයක් සුමනසිරි ලියනගේ ලියයි!

The Island පත්තරේ කොල්වින් (ආර් ද සිල්වා) ගැන ලිපිය කියවීමෙන් පසු මතකයට ආ කරුණක් දෙකක් සටහන් කරන්නට සිතින. සමසමාජ නායකයන් ගැන කියවෙන කථා බොහොමයක් (ඔවුනගේ ප්‍රේම සල්ලාපයන් ගැන කියවෙන කථා හැරුනවිට) අපහාසාත්මක ප්‍රවාදයන් ය. ඔව්හු අති සුන්දර මිනිස්සු වූහ.

මට මතක හැටියට චන්ද පෙත්සමකින් අනිල් මුණසිංහ සහෝදරයාට අගලවත්ත ආසනය අහිමි කෙරින. ඔහු සමසමාජ මන්ත්‍රීවරයෙක් ලෙස පත් වූයේ ය. උසාවි තීන්දුව අනුව, අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු විය.

ඊට පෙර පැවති මහ මැතිවරණයේදී කොල්වින්ට දෙහිවල ගල්කිස්ස අසුන අහිමිවින. සමසමාජ පක්ෂය කල්පනාකලේ කොල්වින් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙකූ ලෙස ය. ඔහුට අගලවත්ත සමග සම්බන්ධයක් නොතිබුනද, එහි කුල චන්දයක් ඔහුට නොතිබුනද, අගලවත්ත පාක්ෂිකයන් අතර ඒ ගැන දෙගිඩියාවක් තිබුනද පක්ෂය තීරණය කළේ සමසමාජ අපේක්ෂකයා ලෙස කොල්වින් ඉදිරිපත් කිරීමට ය.

කොල්වින් හා තරඟ කළ ප්‍රතිවාදී එක්සත් ජාතික අපේක්ෂකයාගේ නම මගේ මතකයට නොයේ.

චන්ද සටන තියුණු ය. ආණ්ඩු බලය හා මුදල් බලය තිබූ යූ එන් පී අපේක්ෂකයාට වැඩි වාසිබවක් පෙනින. මුලු අගලවත්ත කොලපාට විය. යූ එන් පී කාරයෝ මුලු අගලවත්ත කොලපාටයි රත්තන්ට මෙවර බෑ යනුවෙන් ජය ඝෝෂා නැගූහ.

කොල්වින්ට මෙය දැනගත්තේ ය. “මේ අගලවත්ත හරිම පුදුම තැනක්. හරියටම පැණි කොමඩු ගෙඩියක් වගේ. බැලූ බැල්මට එලියෙන් කොල පාටයි. ඒත් කපල බැලුවහම රතු පාටයි.” අතුරු චන්දයෙන් කොල්වින් ජයගත්තේ ය.

කොල්වින් වැනි කථිකයෙකු මා දැක නැත. ඔහුගේ කථාව ආලවට්ටම් වලින් පිරුණකි. 1970 මැතිවරණයේදී හේ බද්දේගම චන්ද රැස්වීමකට ආවේ ය. ඔහු පැමිනණන තුරු කථාව දිග් කරමින් කරන්නට සිදුවූයේ මට ය. (එසමයෙහි තරුණයෙකු වූ මට පැය දෙක තුනක් කථා කිරීම අසීරු කරුණක් නොවින.)

කොල්වින් මුලු කථාවම වැය කළේ “මේ චන්දයේදී ගැහැණු සභාග පෙරමුණට චන්දය දෙන්නේ ඇයි?” යන්න කියන්නට ය.

කථාව පෙළගැස්සුවේ අම්මා කෙනෙකු බතක් සහ පොල් සම්බලයක් හදන හැටි කියමිනි. පොල් සම්බෝලය හදන හැටි කථනයෙන් මෙන්ම නාට්‍යානුසාරයෙන් පෙන්වූ එක් තැනකදී මෙසේ කීය. “උම්බලකඩ දැම්මෙ නෑ, ගන්න සල්ලි තිබුනෙ නෑ” කියමිනි.

පොල් සම්බලයක් හදන්න පැය භාගයක් නොගියත් කොල්වින්ගේ කථනය මේවනවිටත් පෑ තුන්කාලක් ගෙන තිබින.

ඊලඟට ආවේ බත් පවුලේ අය අතර බෙදීම ය. තාත්තාට සහ ළමයි සිව්දෙනාට බෙදූ පසු අම්මාට දන්කුඩවත් ඉතිරි නොවින. “අම්මට” බාල පුතු ඇසීය. “මට බඩගිනි නෑ කහට ටිකක් බොනව” අම්මා කීවේ බොරුවකි.

මෙතෙක් ආ රිද්මය වෙනස් වින. කෝපයෙන් හේ කථාව අවසන් කළේ “මෙන්න මේ කහට කෝප්පය බී හාමතේ නිදන අම්මලා තමයි සභාග පෙරමුණට චන්දය දෙන්නෙ”. රැස්වීමේ ගැහැණුනගේ ඇස් අග කඳුලු පිරී තිබින. සමසමාජ අපේක්ෂක නීල් ද අල්විස් බද්දේගම අසුන ජය ගත්තේ ය.

සුමනසිරි ලියනගේ

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *