එක රටක්, එක නීතියක්, කාර්ය සාධනය අවනතියට අත වැනීමකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුපුරුදු ආකාරයට තවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙළේය. ‘එක රටක් එක නීතියක්’ ඇති කිරීම සඳහා පත් කරන ලද මෙම කාර්ය සාධක බලකායේ සභාපති වන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර හයක සිර දඬුවමක් නියම වී සිටි ගලබොඩඅත්තේ ඥනසාර හිමි ය. මීට පෙර ද, පවතින නීතිය කඩ කිරීම පිළිබඳ ව චෝදනා ලැබ සිටින එම හිමි නමට එක නීතියක් ඇති කිරීමේ බලවත් අවශ්‍යතාවයක් පවතින බවට සැකයක් නැත. පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු එක රටක් එක නීතියක් ඇති කළ යුතු ය යන මතය ප්‍රචාරය කිරීමට දැඩි උත්සාහයක් ගත්තේ ය. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද එයම අවධාරණය කෙළේය.

ඡන්ද ප්‍රචාරක කටයුතුවල දී මෙම කරුණ යොදා ගත් ආකාරයෙන් සිංහල බෞද්ධ සාමාන්‍ය ජනතාවට තේරුම් ගියේ මේ රටේ වෙසෙන මුස්ලිම් ජනතාවට සහ දෙමළ ජනතාවට පවතින නීති රාමුවෙන් විශේෂ වරප‍්‍රසාද හිමිවන නිසා සිංහල බෞද්ධයන්ට වන අසාධාරණය තුරන් කිරීමට මෙම සටන් පාඨය පෙරට ගෙන ආ ආකාරයකි. එහෙත් නව තනතුරට පත් කරනු ලැබීමෙන් පසුව දළදා මාලිගාව වැඳ අස්ගිරි මල්වතු නාහිමින්ගෙන් ආශීර්වාදය ලැබ ජනාධිපති කාර්යාලයේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවේ දී සුළු ජාතීන් යනුවෙන් හැඳින්වෙන ජන කොටසත් නැතැයි කීවේ ය. ඉන් අදහස් කළේ කිසිම පුද්ගලයෙකුට උපත, ආගම, භාෂාව හෝ ජීවත් වන ප්‍රදේශය අනුව කිසිම ආකාරයේ වෙනස් කොට සැලකිමට ලක් නො කළ යුතු ය යන්නද?, නැතිනම් සියල්ලන් සිංහල බෞද්ධයන් සේ සලකා එකම හැන්දකින් බෙදීම ද යන්න පැහැදිලි නැත. ඥානසාර හිමිගේ 2014 අලුත්ගම පොසොන් දේශනාව තවමත් මතකයේ ඇති අපට මේ රටේ සිංහල බෞද්ධයන් හැර වෙනත් අයට අයිතිවාසිකම් ඇතැයි පිළිගැනීම ද්‍රෝහි කමකි.

කෙසේ වුවත් අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කළ මෙම කාර්ය සාධන බලකාය අපූරු එකකි. අපූරු වන්නේ නීතිය සහ අධිකරණය විෂය බාර දී ඇමතිවරයා හෝ නොදැනුවත්ව මෙම පත්වීම් කර ඇති නිසාය. තවමත් ඉස්ලාම් භක්තිකයෙකු වන අධිකරණ ඇමති අලි සබ්‍රි මහතාට මෙය අදාළ නොවන විෂයක්යැයි ජනාධිපති තීරණය කළා විය හැකිය. නැතිනම් එක රටක් එක නීතියක් සංකල්පය නීති ගතවීමෙන් පසුව අධිකරණයත් ඇමතිවරයාත් අහෝසි කිරීමේ අදහසක් පවතිනවා විය හැකිය. එකම නිතියක් පමණක් වලංගු වන්නේ නම් අධිකරණයක අවශ්‍යතාවයක් නැතැයි උපකල්පනය කරනු විය හැකිය.

එක නීතියක් යන්න මෙන් ම එක රටක් යන්න ද කෙනෙකු තුළ කුකුසක් ඇති කරවන්නෙකි. එවන් රටක් ගැන කතා කරන්නේ දැනට රටවල් කීපයක් පවතින නිසා දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. එල්ටිටීඊ ත්‍රස්තවාදීන් විනාශ කොට රට එක්සත් කළා යැයි ජය පැන් පානය කළ ද තවමත් එක්සත්ව නැතැයි අනුමාන කළ හැකිය. ඊට අමතරව එක රටක් යන්නේ තවත් පැති මානයක් පවතින බව පෙනේ. හම්බන්තොට චීනයටත්, බටහිර ජැටිය ඉන්දියාවටත් කෙරවලපිටිය ඇමරිකාවටත් පවරා දෙන සන්දර්භයක එක රටක් ඇති කිරීම බරපතළ කාර්යයකි. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කිරීම සැබැවින් ම අගය කළ යුතු ය.

ඒ පාවෙන සිතුවිලි කෙසේ වුවත් මෙම බලකාය මෙතෙක් පත් කර ඇති බලකාවලට වඩා වෙනස් එකක් බව දැනටමත් පැහැදිලි ය. අති විශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන් වන ආකාරයට එහි කාර්ය වන්නේ නීතිය සියල්ලන්ට සාධාරණ ව ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂාව, නීතිය ඉදිරියේ කිසිම පුද්ගලයෙකුට වෙනස් කොට සැලකීමක් නොවන බව තහවුරු කිරීම සහ මෙම සංකල්පය මානුෂීය හරයන් පිළිගැනීම පිළිබිඹු කෙරෙන ක්‍රම වේදයක් බවට පත් කිරීම සඳහා පවතින නීති පුනරීක්ෂණය කොට නව නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීම ය.

එහෙත් ඉහතින් සඳහන් කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඥනසාර හිමියන් පැහැදිලි කළ ආකාරයට ඔවුන්ගේ කාර්ය භාරය වන්නේ වන්ධ්‍යකරණය, ආගම්වලට හරවා ගැනීම, සංස්කෘතික ආක්‍රමණය පිළිබඳ ව කරුණු සොයා බැලීම සහ අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම ය. එය අධිකරණ අමාත්‍යංශය හරහා සිදු වනු ඇත. එමෙන්ම යෝජිත සංශෝධනවල උචිතානුචිත භාවය ද ඔවුන් පුනරීක්ෂණය කරනු ඇත. ජනමාධ්‍යයේ පළ වූ මෙම පැහැදිලි කිරීම නිවැරදි නම් කාර්ය සාධක බලකායේ කාර්ය භාරය ගැසට් පත්‍රයට සීමා වන්නේ නැත. පවතින නීති නොගැළපෙන බව ඥානසාර හිමි අත්දැකීමෙන් ම පසක් කර ගත් කාරණයකි. පුද්ගලයන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පැවැත් වෙන නඩු විභාගයක දී මහේස්ත්‍රාත්වරයාට අභියෝග කිරීම වරදක් වන්නේ එක නීතියක් නැති නිසා ය.

අනෙක් අතට උසාවියට අපහාස කිරීමේ වරදට සිර දඬුවම් විඳින අයට සමාව දීමේ දි ද එක නීතියක් නැත. උසාවියට අපහාස කිරීමේ වරදට සිර දඬුවම් නියම වූ පාර්ලිමේන්තු මංත‍්‍රී රන්ජන් රාමනායක මහතා වසරකට ආසන්න කාලයක් සිරගත ව සිටින නමුත් ජනාධිපති සමාව ලැබී නැත. සමහර විට මෙම කාර්ය සාධන බලකායේ නිර්දේශ ඉදිරිපත් වූ විට එවැනි වැරදි නිවැරදි කිරීමට ප්‍රතිපාදන සැලසෙනු ඇතැයි සිතිය හැකිය.

කෙසේ වුවත් සටන්කාමී ආවේගශීලී චරිතයක් වන ඥානසාර හිමිගේ නායකත්වයෙන් යුත් මෙම කාර්ය සාධන බලකාය අනෙකුත් කාර්ය සාධන බලකාවලට වෙනස් ව ගැසට් පත්‍රයේ කුමක් සඳහන් වුවද තමන්ට පැවරුණ නොව අවශ්‍ය කාර්ය කරනු ඇතැයි සිතිය හැකිය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති පුවත් පත් සාකච්ඡාවෙන් කියවෙන්නේ එයයි.

අපට මතු වන තවත් ගැටලුවක් ඇත. නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන් ම වර්තමාන ආණ්ඩුවේ විදේශ ඇමති ජී ඇල් පීරිස් මහතා පසුගිය දා පැවසූ ආකාරයට රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් කෙටුම්පත් කර ඇති අතර එය ලබන ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. මෙවැනි ප්‍රකාශයක් වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද කළේ ය. එසේ නම් පෙබරවාරි මාසයේ දී නිම කිරීමට බලාපොරොත්තුව එක රටක් එක නීතියක් පිළිබඳ සංකල්පය ඇතුළත් නීති කෙටුම් පත නව ව්‍යවස්ථාවට ඇතුළත් වන්නේ කෙසේ ද? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පසකට දමා මෙම සංකල්පය නිති ගත කිරීමේ අදහසක් පවතින්නේ ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් ජනාධිපති කාර්ය සාධන බලකා පිහිටුවා ඇත්තේ අදාල කාරණය පිළිබඳ ව තවත් නීති ප්‍රතිපාදන හෝ එම වගකීම පැවරුණ ආයතන පවතින බවක් නොසලකා ය. අදාළ විෂය ගැන විශේෂඥ දැනුමක් නොව සාමාන්‍ය දැනුමක් නැති අය පවා කාර්ය සාධන බලකාවලට පත් කොට ඇත. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව පරික්ෂා කොට වාර්තා කිරීමට හමුදා නිලධාරීන් ද පත් කෙළේය. වෙනත් තීරණ ගැනීමේ දී පවා විෂය දැනුමක් අවශ්‍ය අය විමසීම අවශ්‍යයැයි සිතුවේ නැත. රක්ෂිත ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටින පුද්ගලයන්ට එම ඉඩම් පැවරීමේ දී පවතින නිති නොසලකා කටයුතු කිරීමට ඔහු උපදෙස් දුන්නේ ය. එම උපදෙස්වලට පරිපාලනමය වලංගු භාවයක් ලබා ගැනීමට සාමාන්‍යයෙන් කෙරෙන ආකාරයට චක්‍රලේඛ උපදෙස් ලබා දීම අනවශ්‍ය ය. ඔහු කියන දේ නීතිය සේ සලකා කටයුතු කිරීමට රජයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ තර්ජනාත්මක ස්වරූපයෙනි. එම නිසා උත්තරීතර නීතිය සේ හඳුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට වඩා ජනාධිපති කාර්ය සාධන බලකායට ප‍්‍රමුඛතාවය ලබා දිය යුතු ය.

රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ අරමුණෙන් වැඩ කරන වත්මන් පාලකයන්ට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය වශයෙන් බලතල වෙන් කොට හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් නැත. තමන්ගේ අවශ්‍යතාවය රටේ අවශ්‍යතාවය සේ සලකා වැඩ කිරීමේ භාවිතය උපරිම තලයට නංවා ඇත. රසායනික පොහොර භාවිතය නතර කිරීමේ දී ගොවින්ගේ හෝ කෘෂිකර්ම විද්‍යාඥයන්ගේ අදහස් විමසීම අනවශ්‍ය ය. කෙරවලපිටිය විදුලි බලාගාර සම්බන්ධයෙන් තිරණ ගන්නේ ද ඒ ආකාරයට ය. පරිසර සංරක්ෂණය ගැන ග්ලාස්ගෝ පරිසර සම්මේලනයේ කෙරෙන කතා සිංහරාජ අඩවියේ වනාන්තරය හරහා මහා මාර්ග ඉදි කරන විට සිහි වන්නේ නැත. තමන් කරන කියන දේ නීතිය සේ සැලකිය යුතුය. එවැනි පසුබිමක එක රටක් එක නිතියක් සංකල්පය නීති කෙටුම් පතක් බවට පත් කිරීමේ දී නීතිය කඩ කළ පුද්ගලයෙකු ඒ සඳහා යොදා ගැනීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයට ගැලපේ.

ඕනෑම සමාජයක ව්‍යවස්ථාපිත නීති රීති කුමක් වුවත් ඒ සියල්ල අබිබවා වැදගත් වන්නේ යුක්තිය, සාධාරණත්වය, වෙනස් කොට නො සැලකීම සහ සියල්ලන්ට සමානව සැලකීම සමාජ සම්ප‍්‍රදායේ පදනම සේ සැලකීමයි. ඒවා නො සලකා තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සහ න්‍යාය පත‍්‍ර අනුව වැඩ කිරීමෙන් රටේ බහුතරයකට සෞභාග්‍ය හෝ අවම මට්ටමේ පැවැත්මක් සැලසෙන්නේ නැත. ප‍්‍රතිඵලය වන්නේ අවුල් වියවුල් සහ දුර්භාග්‍යය පමණි. එවැනි අවස්ථා ගැන ලෝක ඉතිහාසයේ අපමණ නිදසුන් ඇත.

එවැනි තත්වයක් යටතේ නීති කඩන අය, එක ජන කොටසකට එරෙහිව තවත් ජන කොටසක් උසි ගන්වන අය, එවැනි වැරදිවලට දඬුවම් නො ලැබ සිටීමේ වරප්‍රසාදය හිමි අය, එක රටක් එක් නීතියක් සම්පාදනයට මුල පුරන්නේ කිසිම නීතියක් නැති රටක් ඇති කිරීමේ පරමාර්ථයෙනි. ජනාධිපති කාර්ය සාධන බලකායෙන් සිදු කරන්නේ එය කූටප‍්‍රාප්ත කිරීම යි.

Mahinda Hattaka

Caught By 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *