එක රටක්, එක නීතියක්, අගතිගාමි යෝජනාවකි!

එක රටක් සහ එක නීතියක් යන්න බෙහෙවින් ජනප්‍රිය සටන් පාඨයකි. එය ක්‍රියාවට දැමීම සඳහා ජනාධිපති කාර්‍ය්‍ය සාධක බලකායක් පත්කළ බව පත්තරවලින් දුටුවෙමි. එහි සභාපති ලෙස නම් කර ඇත්තේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් ය. මගේ හිටපු විශ්ව විද්‍යාල සගයෙකු ද එහි සාමාජිකයෙකි.

මෙහිදී මට ඇති පළමුවෙනි ගැටලුව වන්නේ මෙම ප්‍රශ්නයට මේ ප්‍රවේශය නිවැරදි ද යන්න ය. මෙම ප්‍රශ්නය සම්බන්ධවන්නේ රටේ ශ්‍රේෂ්ඨම නීතිය ලෙස සැළකෙන ව්‍යවස්ථාව සමග ය. රොමේශ් ද සිල්වා නමැති සුපතල සහ දක්ෂ නීතිවේදියකුගේ ප්‍රධානත්වයෙන් පත්කෙරුන ව්‍යවස්ථා සම්පාදක මංඩලයක් විසින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම බොහෝදුරට අවසාන වී ඇතැයි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ කාලයේ දී අපට අසන්නට ලැබින.

එම කෙටුම්පත මෙම කරුණ, එනම් එක රටක්, එක නීතියක් පිළිබද විෂය ආමන්ත්‍රණය නො කළේ ද? එය එසේයැ යි සිතිය නොහේ. මක්නිසාද? මෙම ප්‍රශ්නය ගැන බෙහෙවින් උනන්දු කිහිපපොලක් එම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම් කමිටුවෙහි සාමාජිකයෝ වන්නාහ. මෙයින් කියවෙන්නේ පොරොන්දු ප්‍රකාර නව ව්‍යවස්ථාවක් මේ කපේදිවත් නොගෙනන බවක් ද?

මේ සම්බන්ධ මගේ දෙවන ගැටලුව මූලධාර්මීය තලයේ එකකි. වඩා සරල ලෙස දක්වන්නේනම් ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ මේ ඉල්ලීම මා දකින්නේ අගතිගාමි එකක් ලෙස ය. එක රටක් එක නීතියක් යන්නට මම විරුද්ධ වෙමි.

නීතිය හැමවිටම සංස්කෘතිය සහ සම්ප්‍රදාය සමග බැඳෙන්නකි. කිසියම් රටක විවිධ සංස්කෘතින් සහ සම්ප්‍රදායයන් ඓතිහාසිකව ගොඩනැගී ඇත්නම් ඒ වෙනස් සංස්කෘතින් ඒක හෝ ආධිපත්‍ය සංස්කෘතියට සහ සම්ප්‍රදායන්ට යටත් කිරීමක් එක රටක් එක නීතියක් සඳහා අරගලයට අයත් වේ. එක රටක් තුළ එකම නීතියක් යන්න ඒ තේරුමෙන් වෙනස නොසළකන අදහසකි.

එක රටක එක නීතියක් තිබීම ලොකු පහසුවක් බව ඇත්ත ය. එහෙත් සංස්කෘතින් හා සම්ප්‍රදායයන් හා බැඳුන අගයන් ලේසියෙන් මකා දැමිය නොහේ. සංස්කෘතින් සහ සම්ප්‍රදායයන් පුද්ගලයා හිරකරන ඒවා විය නොහැකි ද? මෙම කරුණ මුස්ලිම් කසාද නීතිය ගැන නිතර කෙරෙන විවේචනය කි.

එමෙන්ම බොහෝ අවස්ථාවන්හිදී සංස්කෘතින් හා සම්ප්‍රදායයන් පුරුෂාධිපත්‍යය පවතවා ගැන්මට සැකසී ඇත. මෙය සාධාරණ විවේචනයකි. යාපන අර්ධද්වීපයේ තේසවලාම නීතිය පමණක් නොව 1935 ඉඩම් පනත ද එවැන්නකි.

මේ විරුද්ධාභාසය විසඳීම අපහසු ය. මෙහිලා පියවර දෙකක් ගත හැකැයි මට සිතේ.

  1. තමන් උපතින් අයත් සංස්කෘතික රටාවෙහි තම නිදහසට බාධාකෙරෙන අංශයන්ගෙන් වෙන්වීමට පුද්ගලයාට රැකවරණය සහිත නිදහසක් සහතික කිරීම.
  2. පොදු ගුණාකාරයක් ප්‍රජාතන්ත්‍රීය කතිකාවක් හරහා සොයා ගැන්ම සහ එකඟවීම. එයින් පරිබාහිර තැන්හි දී විශේෂ නීතින්ට සහ නියාමයන්ට ඉඩහැරීම.

එක රටකට එක් නීතියක් යන්න බලෙන් පැටවිය හැක්කක් නොවේ. එය සම්ප්‍රදායයන් සහ සංස්කෘතින් අතර සමාජ අනුකලනය වීමේ වේගය, රිද්මය හා මට්ටම අනුව තීරණය වන්නකි.

සුමනසිරි ලියනගේ ලියන උදැහන සටහනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *