දින100 කට ආසන්න වික්‍රමාන්විත ගුරු සටනේ පාඩම්!

දින 100 කට ආසන්න කාලයක් ඉතා වික්‍රමාන්විත ලෙස වර්ජන අරගලයක යෙදුණු ගුරුවරුන්ගේ සටන විසි පස් වන දින නිම කිරීමට නියමිතය. 1980 මහා වැඩ වර්ජනයට පසුව දීප ව්‍යාප්ත ලෙස පැතිරුණු හා රජයට ඉතා තියුණු ලෙස බලපෑම් එල්ල කළ වැඩ වර්ජනයක් ලෙස ගුරු සටන අපට හැඳින්විය හැකිය. සාමන්‍යයෙන් ගත වූ කාල පරිච්ඡේදය තුළ ගුරුවරුන් අරගලයන්ට එළඹියේ කඩින් කඩය. එසේ නැත්නම් පිකටිං පෙළපාලි හා උද්ඝෝෂණ හරහාය. වැඩවර්ජන ව්‍යාපාරයක් හරහා අවුරුදු 24 කට වැඩි කාලයක් විසඳා ගැනීමට නොහැකිව තිබූ ඔවුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය මෙවර විසඳා ගැනීම සඳහා එකා මෙන් දිවයිනේ අස්සක් මුල්ලක් නෑර සියලු ගුරුවරු එක්සත්ව නැගී සිටීම කම්කරු පංතියට ආඩම්බරයකි.

ඇත්ත වශයෙන්ම ගුරුවරුන්ගේ සටන ආණ්ඩුවට බලවත් අභියෝගයක් එල්ල කළා නිසැකය. විශේෂයෙන්ම වසංගතය තුළ වසර දෙකකට වැඩි කාලයක් පාසල් පැවැත්වීමට නොහැකිව දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටී තිබෙන මොහොතක ස්වෙච්ඡාවෙන් ගුරුවරුන් විසින්  සිදුකරන ලද ඔන්ලයින් අධ්‍යාපනය පවා නතර කර දැමීම තුළින් දෙමාවපියන්ගෙන් මෙන්ම රටේ ජනතාවගෙන් ද රජයට එල්ල වූයේ බලවත් අභියෝගයකි. එසේම මෙම වැඩ වර්ජනය මෙතෙක් සාර්ථක වීමට හේතුවක් වූයේ ගත වූ කාල පරිච්ඡේදය තුළ ආණ්ඩුව අනුගමනය කළ වැඩපිළිවෙළයි. විශේෂයෙන්ම ධනපති පන්තිය ඉදිරියේ ආණ්ඩුව දිගින් දිගටම පසුබැසීම තුළ වැඩ කරන ජනතාව ද තමන්ගේ අයිතිවාසිකම් බලපෑම් හරහා දිනාගත හැකි වේ යැයි විශ්වාස කළා නිසැකය. හාල් මෝල් හිමියෝ හාල් සඟවා ගනිමින් ද, ගෑස් සමාගම්කාරයෝ ගෑස් සඟවා ගැනීමෙන් ද, කිරිපිටි සමාගම්කරුවෝ කිරිපිටි සඟවා ගැනීමෙන් ද කටයුතු කිරිමේදී ආණ්ඩුව කටයුතු කළේ ව්‍යාපාරිකයන්ගේ උවමනාවන්ට ඉඩ දී ආණ්ඩුව පසුබැස මිල පාලන නීතිය ඉවත් කර ගත්තේය. ඒ ධනපතියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රමයයි.

නමුත් ගුරුවරුන්, කම්කරුවන්, ශිෂ්‍යයන්, ගොවියන් ඉදිරිපත් කරන ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන්නේ වෙන ප්‍රතිපත්තියකි. වැඩවර්ජනය පෙන්නුම් කරන්නේ කම්කරු පන්තිය හා පොදු ජනතාව දැනට වැඩ කෙරීගෙන යන ආකරයෙන් ඒ බව පැහැදිලිය. ගුරුවරුන් වුවද කල්පනා කලේ මේ මොහොතේ ඔන්ලයින් පන්ති වර්ජනය කිරීමෙන් වැටුප් විෂමතා ගැටලුව විසඳීමට ආණ්ඩුව ඉදිරිපත් වනු ඇතැයි කියාය. නමුත් ආණ්ඩුව එසේ ඉදිරිපත් වූයේ නැත. අප ධනපති ආණ්ඩුවල ස්වභාවය හරියට තේරුම් ගත යුතුය. ධනපති පන්තිය ඉදිරියේ බැගෑපත් වන, දණ ගසන, යටත්වන ජනපති පාලකයෝ කම්කරු පන්තිය ඉදිරියේ එසේ නැමෙන්නේ නැත. ඔවුන්ගේ සියලු බලපුළුවන්කාරකම්, නීති රීති නිල නොවන මැර හමුදාව යොදා ගනිමින් අරගලය කුඩුපට්ටම් කොට කම්කරු පන්තියේ අයිතිවාසිකම් බිඳ දැමීමට පාලකයෝ පැකිලෙන්නේ නැත. ගුරු සටන පෙන්නුවේ එයයි.

පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ ගුරු සංගම් කැඳවා මෙම වැටුප් විෂමතාවය කොටස් තුනකට කඩා පලමුවන කොටස මෙවර අයවැයෙන් ලබා දීමට ද ඉතිරි කොටස් දෙක 2023 දී ලබාදීමටත් යෝජනා කළේය. මෙම යෝජනාවේ පැවැති ඇතැම් ගැටලු හේතුකොට ගෙන ගුරු සංගම් වලට මෙම ගෙඩිය ගිල දැමීම ලෙහෙසි පහසු නොවීවය. මන්දයත් දින අනුව සටන් කොට අවසානයේ දී දිනා ගත්තේ රුපියල් 1400 ද යන ප්‍රශ්නයට ඔවුන් සිය සාමාජිකයන්ට පිළිතුරු සැපයිය යුතුව තිබුණ නිසාය. එසේම සටන පාවා දුන් බවට ඔවුන්ට චෝදනා ද එල්ල විය හැකිව තිබුණි. නමුත් අප තේරුම් ගත යුත්තේ විශේෂයෙන්ම මෙවැනි සටනක් ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සියලු කාරණා වල සපිරී තිබුණි දැයි අප කල්පනා කළ යුතුය. විශේෂයෙන්ම මෙම වැටුප් වැඩිවීම් ලබා දුන්නොත් වෙනත්අංශවලින් ඇතිවිය හැකි ඉල්ලීම් ගැනද ආණ්ඩුව කලබල වුවා නිසැකය. එසේම ගුරු වර්ජනය තලා දැමීම සඳහා මර්දනය කුමන ආකාරයෙන් යොදා ගනිදැයි පැහැදිලි අදහසක් වෘත්තිය සමිතිවලට තිබුණේද නැත. විශේෂයෙන්ම අනෙකුත් ප්‍රධාන වෘත්තීය සමිති ව්‍යාපාරය මෙන්ම විරුද්ධ දේශපාලන පක්ෂ වලින් ද ගුරු සටනට ලැබුණේ අඩු සහයෝගීතාවයකි. බොහෝවිට එය පත්‍රිකාවක් නිකුත් කිරීම, විරෝධතා ප්‍රකාශන නිකුත් කිරීම වැනි සරල කාරණා මගින් ආණ්ඩුවට බලපෑමක් සිදුකළ නොහැකිය. මෙම තත්වය යටතේ ගුරුවරුන්ට ද සටන දිගට අල්ලාගෙන ඉඳීමේ දුෂ්කරතාවයන් තිබෙන බව ආණ්ඩුව නොදන්නවා නොවේ. එම නිසාම ආණ්ඩුව කළේ ඇතැම් පාසල්  21 වැනි දින විවෘත කර සටන කඩාකප්පල් කර දැමීමටය. ඔවුන් අදහස් කළේ ගුරුවරුන්ගේ කොටසක් පාසල්වලට පැමිණියහොත් අනිත් අයද හෙමින් හෙමින් යටත් වනු ඇතැයි කියාය.

මහින්ද රාජපක්ෂගේ යෝජනාව ඒ මොහොතේ සමිති නිවැරදි ලෙස ප්‍රතික්ෂේප කළේය. එසේ නොමැතිව එය ඒ මොහොතේ ජයග්‍රහණයක් සේ සලකා අරගලය ඉදිරියට ගෙන යාමට තීන්දු කළේ නම් මෙතරම් අවදානමක් නොමැතිව ගුරු සටන නිම කිරීමට ඉඩ තිබුණි. ගුරු නායකයන් අරගලයේ ශක්තිය ගැන ද, ආණ්ඩුවේ ශක්තිය මෙන්ම දුර්වලතාවයන් ගැනද, අවශේෂ බලවේගයන්ගේ ස්වභාවයන් ගැන නිසි අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යය.

නමුත් අවසානයේ සිදුවූයේ 21 හා 22 වන දින පමණක් වැඩ වර්ජනය කොට ‍25 වැනි දා සිට සියලු ගුරුවරුන් සේවයට වාර්තා කිරීමට තීරණ ගැනීමය. නමුත් අප තේරුම් ගත යුත්තේ 25 වැනි දා ඔවුන් සේවයට වාර්තා කළත් ඔවුන්ට ලැබෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂ එදා කී 1/3 මුදල පමණි. එයද ජයග්‍රහණයකි. මුලදි එය ප්‍රතික්ෂේප කිරීම හා පසුව එය පිලිගෙන වැඩට යාම සමාජිකයන් අතර අධෛර්‍යයක් ඇති කිරීමට හේතු වනු ඇත. එය කිසිසේත් අධෛර්‍යය වීමට කාරණයක් නොවේ. මෙවැනි දුර්ධාන්ත ආණ්ඩුවක් සමග දින 100 තනිව සටන් කොට අවසානයේ ලබාගත් මෙම මුදල ද ජයග්‍රහණයක් ලෙස ගුරුවරු කල්පනා කළ යුතුය. ඉතිරි කොටස විසදා ගැනීම අනාගතයට භාරය.

ගුරු සටන අපට ඉගෙන ගත යුතු පාඩම් බොහෝය. කම්කරු පන්තියේ කොටසකට පමණක් අධිෂ්ඨානය හා උවමනාව තිබුණත් පන්තිය අවශේෂ කොටස් වල සක්‍රිය සහයෝගය නොමැතිව අද ධනපති ආණ්ඩු පසුබැස්සවීම ලෙහෙසි නැත. මන්දයත් දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද මේ ආණ්ඩු සිටින්නේ බිත්තියට හේත්තුවෙලාය. බිත්තියට හේත්තු වෙලා සිටින විට ඔවුන්ට පෙරළා පහර දීම හැර වෙන විකල්පයක් නැත. එසේ නම් අපට ද ඇත්තේ එයමයි. සටන්කාමී කම්කරුවන් ද, සමිති ව්‍යාපාරය ද තේරුම් ගත යුත්තේ බිත්තියට හේත්තු වී සිටනපාලකයන් තලා දමා තමන්ගේම පාලනයක් පිහිටුවා ගැනීම සඳහා කටයුතු කිරීම හැර වෙන විකල්පයක් ඔවුන්ට නොමැති බවයි.

එයින් පෙන්නුම් කරන්නේ ද හුදු වෘත්තීය සමිතිවාදයට වර්තමාන දේශපාලන සන්දර්භය ඇතුලේ වලංගුභාවයක් නැති බවයි. මෙය බැංකු ක්ෂේත්‍රයට ද, පුද්ගලික අංශයට ද, එසේම රාජ්‍ය අංශයට ද එක සේ  තීරණාත්මක වැදගත් කාරණයකි.

නීල් විජේතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *