ශ්‍රී ලංකාව ආපසු නොඑන ගමනක් යෑමට සැරසෙන බවට සලකුණු!

සෞම්‍ය දේශගුණික රටවලට ශීතය ආසන්න වෙත්ම ශ‍්‍රී ලංකාවේ මුහුදු වැල්ලේ උණුසුම ලබන්නට සහ ස්වභාව සෞන්දර්ය නැරඹීමට එන සංචාරකයන්ගේ සංඛ්‍යාව කවදත් වැඩි වේ. මෙවර කොවිඩ් වසංගතය තිබුණ ද සංචාරකයන් ගෙන්වා ගැනීමට රජය විශේෂයෙන් උනන්දු වන්නේ හීන වී ඇති විදේශ සංචිත සුළු ප්‍රමාණයකින් හෝ තර කර ගැනීමේ අරමුණෙනි. පැමිණෙන සංචාරකයන් ගුවන් තොටුපොළේ දීම පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට මහත් වියදමක් දරා ස්ථාපනය කළ යන්ත්‍ර සූත්‍ර අකර්මණ්‍ය වුවද සංචාරකයන් ගෙන්වා ගැනීමේ උත්සාහය අත්හැර දැමිය නොහැකිය.

Foreign Secretary Harsh Vardhan Shringla, Sri Dalada Maligawa temple, Kandy

සාමාන්‍යයෙන් ලංකාවට සංචාරකයන් වැඩියෙන් ම පැමිණෙන්නේ අසල්වැසි ඉන්දියාවෙන් නිසා මෙවර ද වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණීම පුදුමයක් නොවේ. එහෙත් මේ වසරේ ඉන්දියාවෙන් පැමිණි ප්‍රභූත් පිරිසක් සාමාන්‍ය සංචාරකයන් නොවේ. ඔවුන් පැමිණියේ වෙරළේ උණුසුම් පහස ලබන්නට ද නොවේ. ශ්‍රී ලංකාවේ රජයේ ආරාධනයක් ඇතිව හෝ නැතිව හෝ ඔවුන් පැමිණියේ කලාපයේ වැඩිවන යුද උණුසුම නිසා විය හැකිය.

මෙම නඩයේ මුළින්ම පැමිණියේ ඉන්දියානු ආරක්ෂක ඇමති හර්ෂ වර්ධන් ෂ්‍රින්ග්ලා ය. ඔහු දළදා මාලිගයට ගොස් මල් පහන් පූජා කර මහ නාහිමියන් වහන්සේලා ද හමු වූයේය. අනතුරුව ත්‍රිකුණාමලයට ගොස් දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉදි කොට, ඔවුන් ගිය පසුව අතහැර දමා දිරාපත් වෙමින් තිබු තෙල් ටැංකි නැරඹීමට ද ගියේ ය. මෙම තෙල් ටැංකි පසුගිය රජයෙන් සම්පූර්ණයෙන්ම ඉන්දියාවට පවරා ඇති නිසා ඒ බැලීමට ඉන්දියානු ඇමතිවරයා යෑම පුදුමයට කරුණක් නොවන බව තෙල් සම්පත් භාරව සිටින ලංකාවේ ඇමතිවරයා කීවේ තෙල් කර්මාන්තයේ වෘත්තීය සමිති ඒවා සම්පූර්ණයෙන්ම ඉන්දියාවට භාර දීමේ සූදානමක් ඇතැයි නැගූ හඬට පිළිතුරු වශයෙනි.

..ඉන්දියානු විදේශ ඇමති හමු වූ සමහර දෙමළ දේශපාලන පක්ෂවල යෝජනාව වූයේ උතුරු නැගෙනහිරට ඉන්දියානු ආයෝජන පමණක් ලබා දිය යුතුය යන්නයි. ඉන්දියාව ආසන්න යාපනයේ දූපත් කීපයක චීන සමාගමක් විසින් සූර්ය බලශක්ති බලාගාරයක් පිහිටුවීම ඉන්දියාවේ අවධානයට ලක් වූ බව ද අමතක කළ යුතු නැත. කෙසේ වුවත් ලංකාවෙන් පිටව යෑමට පෙර ඉන්දු ලංකා ගිවිසුම යටතේ වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස සම්මත කර ගත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ඉන්දියාවේ අපේක්ෂාව බව සිහිපත් කිරීමට ද ඔහු අමතක කළේ නැත..

ඉන් පසුව යාපනයට ගොස් ඉන්දියානු ආධාර යටතේ ඇමරිකානු ඩොලර් දශ ලක්ෂ 11ක් වැය කොට ඉදි කරමින් පවතින සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩ කටයුතු බැලිමට ද ගියේය. ඉතාමත් නවීන අංගෝපාංගයන්ගෙන් යුත් එම මධ්‍යස්ථානය නඩත්තු කිරීමට යාපනය නගර සභාවට මුදල් නොමැති බව දැනුම් දුන් නිසා වසර පහක් යන තෙක් එහි සියලු නඩත්තු වැඩ කටයුතු ඉන්දියානු රජය දරනු ඇතැයි ෂ‍්‍රීන්ග්ලා මහතා කීවේය.

දින හතරක සංචාරය නිම කොට ආපසු සිය රට බලා යෑමට පෙර අගමැති, විදේශ ඇමති ඇතුළු ඇමතිවරුන් මෙන්ම දේශපාලන නායකයන් ද හමු වූයේ ය. ඉන්දියානු විදේශ ඇමති හමු වූ සමහර දෙමළ දේශපාලන පක්ෂවල යෝජනාව වූයේ උතුරු නැගෙනහිරට ඉන්දියානු ආයෝජන පමණක් ලබා දිය යුතුය යන්නයි. ඉන්දියාව ආසන්න, යාපනයේ දූපත් කීපයක චීන සමාගමක් විසින් සූර්ය බලශක්ති බලාගාරයක් පිහිටුවීම ඉන්දියාවේ අවධානයට ලක් වූ බව ද අමතක කළ යුතු නැත. කෙසේ වුවත් ලංකාවෙන් පිටව යෑමට පෙර ඉන්දු ලංකා ගිවිසුම යටතේ වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස සම්මත කර ගත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ඉන්දියාවේ අපේක්ෂාව බව සිහිපත් කිරීමට ද ඔහු අමතක කළේ නැත.

ඉන් පසුව ඉන්දියානු හමුදාවේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි ( COAS ) ජනරාල් මනෝජ් මුකුන්ද් නරවාන් ලංකාවට පැමිණියේ ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දියානු හමුදාව සමග එක්ව පවත්වන මිත්‍ර ශක්ති හමුදා අභ්‍යාස නැරඹීමට ය. ඔහු ද ජනාධිපති අගමැති ඇතුළු ඉහළ පෙළේ නායකයන් හමු වූයේ ය. තමා හමුදාවේ සේවය කළ අවදියේ ඉන්දියාවේ දී ලත් හමුදා පුහුණුව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිහිපත් කිරීමට එය අවස්ථාවක් විය.

Chief of the Army Staff Manoj Mukund Naravane

ඉන් පසුව ඉන්දියාවෙන් පැමිණියේ රාජ්‍ය නායකයෙකු නොව ලෝක් සභාවේ මංත්‍රීවරයෙකු මෙන්ම ලංකාවට සුපුරුදු නමක් වන ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා ය. ලංකාවේ වාර්ගික යුද්ධය පැවති සමයේ එල්ටිටීඊය දැඩිව විවේචනය කළ ඔහු දකුණු ඉන්දියානු නායකයෙකුවීම ද වැදගත් ය. ඒ සියල්ලටත් වඩා ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප මිතුරෙකි. 2015 ජනාධිපතිවරණයේ දී ඉන්දියාවේ රෝ සංවිධානය මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට සහයෝගය ලබා දෙන්නේ යැයි චෝදනා නැගෙද්දී සුබ‍්‍රමනියම් මහතා දැඩිව මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔහු මෙවර ලංකාවට පැමිණියේ අරලියගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂ මහතා පැවැත් වූ නවරාත්‍රී උත්සවයට සහභාගිවීමට ය. අධ්‍යාපනය, සෞභාග්‍යය සහ එඩිතර භාවය සංකේතවත් කරන හින්දු උත්සවයක් අගමැති නිල නිවසේ පැවැත්වීමත් ජාතිවාදී නැඹුරුවක් ඇති භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකු මෙන්ම අගමැති මෝදි ගේ උපදේශකයෙකු වන සුබ්‍රමනියම් මහතා ඊට විශේෂ අමුත්තෙකු වශයෙන් සහභාගිවීමත් වැදගත් ය.

සුබ්‍රමනියම් මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන ආයතනයේ දී දේශනයක් පැවැත්වීමට ද නියමිත ය.

Top BJP leader Subramanian Swamy

දින තිහක් හතළිහක් වැනි කාලයක් ඇතුළත ඉන්දියාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධ ඉහළම පෙළේ නායකයන් කීප දෙනකු ම ශ්‍රී ලංකාවට පැමිණීම සැලකිල්ලට ගත යුතු වන්නේ ඉක්මණින්ම ආර්ථික දැවැන්තයෙකු මෙන් ම ඉන්දියන් සාගර කලාපයේ බලවතෙකු බවට පත්වීමට සැලසුම් කරන ඉන්දියාවේ භූ දේශපාලන අරමුණු සමග ය. ඉන්දියාව සහ ලංකාව අතර දීර්ඝ කාලීන සමාජ ආර්ථික සම්බන්ධතා පැවති නමුත් වර්තමාන සන්දර්භයේ දී එය වෙනස් මුහුණුවරක් ගන්නා බව පැහැදිලි ය. මෙම සම්බන්ධතාවය අශෝක අධිරාජ්‍ය සමයේ පැවති සම්බන්ධතා වලට සම්පූර්ණයෙන්ම වෙනස් ය. තුන්වැනි ලෝකයේ දේශපාලන සහ ආර්ථික අනන්‍යතාවය පවත්වා ගැනීමට ගොඩ නැගු නොබැඳි ජාතීන්ගේ සමුළුවට වඩා වෙනස් ය. අද ඉන්දියාව නොබැඳි පිළිවෙතක් ගැන කතා කරන්නේ හෝ නැත.

කලින් සෝවියට් දේශය සමග ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා පැවැත් වු ඉන්දියාව දැන් එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සමග එක්ව සිටී. එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාව සමග  ඉන්දියාව දැන් චතුර්පාර්ශ්වීය  (The Quad) සම්බන්ධතාවයකට එක්ව සිටී. ඉන්දු පැසිෆික් කලාපයේ නිදහස් නාවික ගමනාගමන අයිතිය ආරක්ෂා කිරීම අරමුණු කර ගත් මෙම එකතුව පැහැදිලි වශයෙන් ම නැගී එන අනෙක් ආසියානු බලවතා වන චීනයට අභියෝගයකි. මෑතකදී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව අතර ඇති කර ගත්  ඕකුස් (AKUS) ගිවිසුම යටතේ න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වන ඔස්ට්‍රේලියාව දැනට එරට අපනයන වෙළඳාමේ ප්‍රධාන රට වුවද එය නොසලකා චීනයට එරෙහි ස්ථාවරයක් පැහැදිලිව ම ගෙන ඇත.

ඉන්දියාව විශේෂයෙන්ම ඉන්දියානු සාගර කලාපයේ ඇමරිකානු වුවමනාවන් වෙනුවෙන් පෙනි සිටින ආරක්ෂකයෙකුගේ තත්වයට පත් වීම දිගු කලක සිට ඇමරිකානු ආරක්ෂක අංශ සැලසුම් කළ වැඩ පිළිවෙළක වැදගත් පුරුකකි. ඇෆ්ගනිස්ථානයෙන් නිදි පැදුරටත් නොකියා පිටව යෑමත් සමග ඇමරිකාවේ මෙම වුවමනාව වඩාත් දැඩිව දක්නට ලැබෙන ප‍්‍රවනතාවයකි. ඉන්දියාව මෙම භූමිකාවට වඩාත් සුදුසුකම් ලබන්නේ ඉන්දියාව සහ චීනය අතර දේශ සීමා සම්බන්ධයෙන් තවමත් විසඳුමක් නැති ගැටුම් පවතින සන්දර්භයක ය.

ජනාධිපති ඔබාමා පාලන සමයේ දී එක්සත් ජනපදය නැවතත් සිය අවධානය පැසිෆික් කලාපය දෙසට යොමු කිරීම සහ එහි නාවික බලය වඩාත් ශක්තිමත් කිරීම චීනය කොටු කිරීමේ සැලැස්මේ එක අදියරකි. මෙම වැඩ පිළිවෙළට ඉන්දියාව සම්බන්ධ වන්නේ චතුර්පාර්ශ්ව එකතුවෙනි. ලංකාව වැනි රටවල චීන සම්බන්ධතා දෙස ඉන්දියාව උනන්දු වන්නේ ද එම ආරක්ෂක වුවමනාවන් නිසාය. එක්සත් ජනපදයේ මධ්‍යම ඔත්තු සේවයේ ප‍්‍රති සංවිධානයක් ගැන සඳහන් කරන එහි ප්‍රධානි විලියම් බර්න්ස් එම ආයතනය මූලික වශයෙන් මෙහෙයුම් කේන්ද්‍ර දෙකකට යොමු විය යුතුයැයි කීවේය. ඉන් ප‍්‍රධාන ඉලක්කය වන්නේ චිනය යි. එනම් සීඅයිඒ සංවිධානයේ ප්‍රමුඛතම අවධානය යොමු වන්නේ චීනය කෙරේ යන්නයි. ඉන්දියාව මෙම කලාපයේ ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගත යුත්තේ මෙවැනි පසුබිමක ය.

Masood Azhar and the New Silk Road

චීනයේ ප්‍රධාන නාවික සැපයුම් සහ වෙළඳ මාර්ග වැටී ඇති ඉන්දියන් සාගරය ඉන්දියාවට මෙන්ම චීනයට ද එකසේ වැදගත් ය. චීනය නාවික සේද මාවතක් ගැන සැලසුම් කිරීම එනම් චීන නාවික සැපයුම් මාර්ග සුරක්ෂිතව පවත්වා ගැනීමේ අවශ්‍යතාවය එහි විදේශ උපාය මාර්ගයට කේන්ද්‍රීය වේ. බටහිර බලවතුන් දකින ආකාරයට හම්බන්තොට වාරයේ චීන ආයෝජන එම වැඩ පිළිවෙළේ ම කොටසකි. ඊට අමතරව කොළඹ වරාය නගරයේ චීන ආයෝජන ඉන්දියාව දකින්නේ තම උපාය මාර්ගික අවශ්‍යතාවයන්ට තර්ජනයක් සේය. මෙය ඉන්දියානු නාවික හමුදාවේ වයිස් අද්මිරාල් අශෝක් කුමාර් අවධාරණය කෙළේ මෙසේය:

Vice Admiral Ashok Kumar of the Indian Navy

කලාපයෙන් බාහිර කිසිවෙකු මෙම කලාපය ගැන උනන්දුවක් දක්වන්නේ නම් ඊට කවර ආකාරයේ හේතු තිබුණත් අප ඒ ගැන විමසිලිමත් විය යුතුය.’’

ඒ අනුව කොළඹ වරාය නගරයේ, චීනයට පවරා දී ඇති කොටසේ ඉදි කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇති නිසා ඒ ගැන ඉන්දියාව වඩාත් උනන්දු වනු ඇත. ආරක්ෂක ඇමති හර්ෂ් වර්ධන් ෂ්‍රින්ග්ලා ගේ සිට සුබ්‍රමනියම් සාමිගේ පැමිණීම දක්වා වූ සංචාර තේරුම් ගත යුත්තේ ඉන්දියානු නාවික හමුදාවේ වයිස් අද්මිරාල් අශෝක් කුමාර්ගේ පැහැදිලි කිරීමෙනි. ශ්‍රී ලංකාවේ චීන ආයෝජන තම ආරක්ෂාවට තර්ජනයක් සේ දකින ඉන්දියාව සහ ඊට පසුපසින් සිටින බටහිර බලවතුන් එම අභියෝගය සමබර කිරීමට හෝ වැළැක්වීමට සියලු උත්සාහ ගැනීම අනිවාර්යයෙන් ම බලාපොරොත්තු විය යුතු තත්වයකි. කොළඹ වරාය නගරයේ චීන ආයෝජනත් බටහිර පර්යන්තයේ ඉන්දියානු ආයෝජනත් ඉන්දියානු සාගරයේ ආධිපත්‍යය සඳහා කරන අරගලයක බීජයක් වීම වැළැක්වීමට ලංකාවේ දේශපාලන නායකයන්ට දැක්මක් හෝ අධිෂ්ඨානයක් තිබේද යන්න සැක සහිතය.

දැනට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත් ආරක්ෂක සහ බුද්ධි වැඩ පිළිවෙළක් වන කොළඹ ආරක්ෂක එකතුව ( Colombo Security Conclave )  සඳහා බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මුරුසිය ඇතුළත් කර ගත යුතු යැයි ඉන්දියාව යෝජනා කර ඇත. එය සැබැවින් ම එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ආරක්ෂක වුවමනාවන්ට ගැළපෙන යෝජනාවකි. ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුව මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා මැද එවැනි යෝජනාවකට විරුද්ධ වීමට හැකියාවක් හෝ වුවමනාවක් නොවිය හැකිය. ඒ කුමන තත්වයක් යටතේ වුවද ශ‍්‍රී ලංකාව නොබැඳි ජාතික තත්වයෙන් මිදී බල කඳවුරක ඉත්තෙකුවීමේ දිනය වැඩි ඈතක නොවේ.

මහින්ද හත්තකගේ රචනයකි

ස්තූතිය    

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *