TV කැමරා කාචයනට ද හසුනොවන, මතුපිටට ද නොපෙනෙන කෘෂිකර්මයේ ඇත්ත?

මේ හරිත විප්ලවයෙන් සොබාදම් විප්ලවය වෙත ගමන් කරන කෘෂිකර්මයේ ඊළඟ පියවර ද?

මේ දිනවල වැලිමඩ ප්‍රදේශයේ ගොවියෝ තම  අර්තාපල් අස්වැන්න ලෙස ලැබී ඇති ප්‍රමාණයෙන් කුඩා අල පෙන්වමින් තමන්ට වී ඇති වින්නැහිය පෙන්වා දෙති. එමෙන්ම වියළි කලාපයේ ගොවියෝ හරියට නොවැඩුන බඩ ඉරිඟු කරල් තම බඩ ඉරිඟු අස්වැන්න ලෙස ලැබුන දෙය පෙන්වති. මේ කරුණු අනීවාර්‍යයෙන් ම  සැළකිල්ලට ගත යුතු වේ. මෙම තත්ත්වය කෙලින්ම ගොවි පවුල්වල ආදායම කෙරෙහි කරන බලපෑම විශාල ය.

මෙහෙම වුනේ ඇයි? ඇත්තේ සරල පිළිතුරකි. එනම් මෙසේ වූයේ කලට වෙලාවට නිසි ප්‍රමාණයෙන් රසායනික  පොහොර සහ තෙල් ටික නොලැබීම ය. එයද ඇත්තකි. පොහොර ලැබුනේ නම් අර්තපල් සරුවට ලොකුවට වැඩෙනු ඇත. බඩ ඉරිඟු කරල් මහතට දෙහෙතට වැඩෙනු ඇත. අතමිට ද සරුවෙනු ඇත. ණය තුරුස් ගෙවා ගැන්මට ද හැකිවනු ඇත. ගොවි කණස්සල්ල සහ තරහ තේරුම් ගැන්ම අපහසූ නැත.

එහෙත් මේ ඇත්ත මගින් මතුපිටට නොපෙන්වන කරුණක් ඇත. ඒවා TV කැමරා කාචයනට ද හසු නොවේ. ජනප්‍රිය ද නැත. ආහ්ලාදජනක ද නොවේ. කෙසේවුවද ඇත්ත කියන්නේ පිටපොත්ත පමණක් නොවේ. ඇත්ත සමස්තයකි. මෙහිලා තවත් පැතිකඩ තුනක් අපට දැකිය හැක.

1.    රසායනික පොහොර නොදා හෝ ප්‍රමාණවත් ලෙස නොයොදා කළ වගාවේ ස්වැන්නේ දුප්පත්කම පෙන්වන්නේ වගා බිමේ පසෙහි තත්ත්වය         ය. කෘත්‍රිම පොහොර නැතිවිට පසට දිය හැකි අස්වැන්න ය. මෙයින් අපට පස ගැන දෙන අදහස කුමක් ද? පැලෑටියක් වැඩීමේදී පසෙහි                     සාරයෙන් කොටසක් උරාගනී. ගොවීන් රූපවාහිනී කැමරා කාචයන්ට අසුකරන සත්‍යය කුමක්ද? තමා වගා කරන්නේ මළ පසක බව ය.                දැනට   ගොවිතැනේදී කෙරෙන්නේ රසායනික පොහොර නැමති දේ පසට මුසුකොට අස්වැන්නක් ගැනීම ය. මෙතනදී වෙනත් ප්‍රශ්නයක්                නැගිය හැක. මේ  පස සජීවීකරණය කරන ක්‍රමයක් නැත්ද? කිරි මුදවන්නට දැමිය යුත්තේ කිරිවලින්ම ගත් මුහුන් ය. වෙන ක්‍රම නැත්තේ                නොවේ. රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර දැමීමට වඩා සොබාදහමේ ගොවිතැන මගින් කෙරෙන්නේ එවැනි පස                  සජීවීකරණ ක්‍රියාවලියක් ඇරඹීමය. මළ පසට කන්නයකට පමණක් වලංගු පණක් දී අස්වැන්න ගන්නවා වෙනුවට සොබාදහම මගින්ම එය              ජීවත්කිරීමේ කෘෂිකර්මයකට යා නොහැකිද?

  1. ගොවීන් නගන මැසිවිලිවල තවත් පැත්තක් තිබේ. ඒ මේ මට්ටමේ අස්වැන්නක් මගින් තම ණය තුරුස් ගෙවිය නොහැකි බව ය. එයින් පෙනෙන්නේ කුමක්ද? රසායනික පොහොර යොදා ගන්න අස්වැන්න ප්‍රමාණවත් වන්නේ යන්තං කාල ඇදල ණයටික ගෙවාගෙන ජීවත් වෙන්න ද? මේ ණය ගොඩ ගැහෙන්නෙ ඇයි? අද ක්‍රියාත්මක කෘෂිකර්මය වියදම්කාරී එකකි. ඒ නිසා ණය ගන්නට සිදු වේ.

වියදම්කාරී නොවන ගොවිතැන් ක්‍රමයකට ගමන් කළ නොහැකිද? තෙල් ගිලින ට්‍රැක්ටර්, භූතයින් හා සුනාමි නැති ගොවිතැන් ක්‍රමය ගොවි              ජීවිතයට වඩා හිතවත් නැත් ද?

 

3.    වරින්වර රූපවාහිනී කැමරා කාචයනට හසුවන රසායනික පොහොර නොයොදන සරු අස්වැන්න ලබාගත් ගොවීන්ද අපට ඉදහිට දැකිය                  හැක. කවරෙකුවත් මේ තොරතුරු බොරු බවක් කියා නැත. මෙයද අර කටුක ලෙස පෙනුන ඇත්තේම කොටසක් නොවේ ද?

සටහන ලිවීමෙන් පසු මෙයට තවත් කරුණක් ඌනපූරකයක් 4 වන කරුණ ලෙස එකතු කිරීම වැදගත් යැයි සිතුනි.

4.   අනුරාධපුර පොලොන්නරු ගොවි මහත්වරුන් සඳහන් කළ කරුණකි එය. “වගාවැඩ ඉවරදැ”යි මා ඇසූ ප්‍රශ්නයකට සමහර ගොවීහු මෙසේ             පිළිතුරු දුන්හ. “ඔව් කුඹුර වපුරල ඉවරයි. ඒත් ගෙදර කෑල්ල වපුරන්න තියෙනව”. එයින් ඔවුන් අදහස් කළේ තම නිවසේ පරිභෝජනයට වී             ටිකට වෙන් වූ කොටස ය. ගොවීහු ඒ කොටස වපුරන්නේ රසායනික පොහොර පලිබෝධ නාශක නොගහමින් ය. පේරාදෙණියෙ මගේ                   පන්තියේ ශිෂ්‍යාවකගේ පියා ඇඹිලිපිටිය එලවළු ගොවියෙකි. ඇය සඳහන් කළේ ගෙදර කෑමට රසායනික මූලයන් නොදා වගාකරන බව ය.             ගොවියෝ හුවමාරු වටිනාකම සහ පරිහරණ වටිනාකම අතර වෙනස මැනවින් දනිති.

සුමනසිරි ලියනගේ ලියන උදෑසන සටහනකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *