බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන මූලෝපාය හා රාජ්‍ය මුදල් විසුරුවා හැරීමේ සැළැස්ම?

පවත්නා ආර්ථික සහ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට මාවතක් ලෙස ආණ්ඩුව පියවර දෙකක් ගනු ලැබුවේ ය.

  1. මුදල් ඇමතිවරයා ලෙස කාර්‍යක්ෂම කළමනාකාරයෙකු ලෙස නමගිය බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස පත්කිරීම
  2. මූල්‍ය පාලනයෙහි දක්ෂයෙකු ලෙස ක්‍රියාකාරී තලයෙහි සැළකෙන අජිත් නිවාඩ් කබ්‍රාල් යලි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීම

ඒ පියවර දෙක ය. මෙ මගින් ආර්ථික හැසිරවීම බැසිල්, පී බී, කබ්‍රාල් ත්‍රිත්වය ට යළි පැවරින. මේ 2005- 2015 කළමනාකරණ කණ්ඩායම ය.

කෙසේවුවද මෙම ත්‍රිත්වයේ පුනරාගමනය දේශීය හෝ ගෝලීය හෝ ව්‍යාපාර ප්‍රජාවගේ චර්‍යාවේ කැපී පෙනෙන වෙනසක් ඇති කළේ නැත. සාර්ව ආර්ථික මූලික විචල්‍යයන් ගේ හැසිරීම හොඳ අතට නොහැරුනි. විනිමය අනුපාතිකය කිසියම් මට්ටමක හිරකරගෙන සිටින්නේ අමාරුවෙනි. උද්ධමනය උඩිඅතට ගමන අරඹා ඇත්තේ ය. සේවා වියුක්ති මට්ටම ඉහළ නැඟ ඇත. නිශ්චිත සංඛ්‍යා ලේඛන නැත. දරිද්‍රතාවය ඉහළ නැඟ ඇතැයි අනුමාන කළ හැක.

රාජ්‍ය සහ නෛතික හැසිරවීම් හරහා අත්‍යවශ්‍ය මිල හේතුසහගත මට්ටමක පවත්වා ගැන්මට ආණ්ඩුව දැරූ උත්සාහය සහමුලින් ම බිඳ වැටුන අතර ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ජනතාව මෙන්ම පාරිභෝගික ජනයාගේ හාස්‍යයට ලක්වූ විහිලුකරුවන් බවට පත් කෙරින.

මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ නවලිබරල්වාදී ආර්ථික න්‍යායවාදීන්ටත් අදහාගත නොහැකි මට්ටමෙන් සියල්ල සපුරාම වෙළඳපොලට තීරණය කිරීමට දී ආණ්ඩුව පසුබැස පරාජය පිළිගැන්ම ය. සමහරවිට ආණ්ඩුවේ මෙම පරාජය, ඉහත කී ත්‍රිත්වයේ පුනරාගමනයට වඩා ව්‍යාපාර ප්‍රජාවගේ ප්‍රසාදයට හේතුවනු ඇත. දුර සිට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වර්ධනයන් ගැන ඉමහත් අමන්දානන්දයට පත්වන්නේ නම් එය පුදුමයක් නොවේ. ඉතිරිව ඇත්නම් ඒ ඉන්ධන මිල, විදුලි බිල, ජල බිල සහ ප්‍රවහණ ගාස්තු ඉහළ දැමීම පමණි.

ආර්ථික කළමනාකරණය සහ හැසිරවීම කැබිනට්ටුව වෙතින් වෙළදපොල වෙතට විතැන්කර ඇත.

ආණ්ඩුවේ ඉදිරි දිසානතිය මෙමගින් පෙන්නුම් කරන්නේ ද?  මෑතකදී රාජන් පිලිප්ස් ලියූ දෙයක් මතක් කිරීම වැදගත් ය. ඔහු අද තත්ත්වයෙහි කිසියම් විරුද්ධාභාසයක් දකියි. ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අගාධයකට ගොස් ඇත ද, දේශපාලන, අඩු තරමේ ආණ්ඩු මට්ටමේ, ස්ථාවරත්වයක් පවත්වා ගැන්මට සමත්ව ඇත. මේ නිරීක්ෂකය වැදගත් එකකැයි මම සිතමි.

ආර්ථිකය සහමුලින් ම හැසිරවීම වෙළදපොලට බාර දී ආණ්ඩුව දේශපාලනය පමණක් හැසිරවීමට ඉටාගෙන ඇත් ද? දේශපාලන පන්තියේ කුඩා කොටසක ආධිපත්‍යය සහ බලය (political oligarchy) මේ අයුරින් රැකගත හැකිවේ.

ආර්ථිකය කඩාවැටීම සහ වෙළඳපොල විසින් කැබිනෙට්ටුව බාල්දු කෙරුන ද මැතිවරණ මගින් ආණ්ඩු වෙනස් කරන රාමුවක් ඇතුළත බලය තබා ගන්නේ කෙසේ ද? මහාචාර්ය ජී ඇල් පීරිස් විසින් එළියට දැමූ අයවැය රහස්, එනම් විවිධ බල මට්ටම්වලට රාජ්‍ය මුදල් විසුරුවා හැරීමේ සැළැස්ම, බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන මූලෝපාය සමග නියමෙට ගැලපේ.

ශක්තිමත් බලයගත හැකැයි ජනතාවට පෙනෙන විකල්පයක් නැතිතුරු එය වැඩ කරයි. 2015 පුපුරුවා හැරියේ බැසිල් ගේ මේ මූලෝපාය ය.

එහෙත් 2015  පෙන්වූ පරිදි එයින් රටට හෝ ජනතාවට සෙතක් නොවේ. එයට ඇත්තේ නිෂේධාත්මක අගයක් පමණි.

සමගි ජන බලවේගයට හෝ එක්සත් ජාතික පක්ෂයට විකල්ප ආර්ථික වැඩ පිලිවෙලක් නැත. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගයට ද එවැන්නක් නොමැති බව නිෂේධාත්මක කථා කලාවේ අග්‍රගණ්‍යයෙකුවන අනුර කුමාර දිසානායක ගේ මෑතක කළ අදහස් දැක්වීම මගින් පෙන්නුම් කළේ ය.

සුමනසිරි ලියනගේ ලියන උදෑසන සටහනකි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *