සමාජවාදය දුර්වල සමාජ-ආර්ථික දේශපාලන ක්‍රමයක් ද?

ඔක්තෝබරය සඳහා සටහන – 5

සෝවියට් දේශයට සමාජවාදය ගොඩනැඟීමට නොහැකි වූයේ ඇයි? මෙය අමාරු ප්‍රශ්නයක්. අනෙක ප්‍රශ්නය ගැනම වුනත් එකගත්වයක් නොතියෙන්න පුලුවන්. සෝවියට් දේශයේ සමාජවාදය ගොඩ නඟා තිබුනද, එය බිදවැටුනේ යැයි කෙනෙක් සිතති. එහි තිබුනේ සමාජවාදය නොව රාජ්‍ය ධනවාදය යැයි තවකෙක් කල්පනා කරති. සමහරෙකුට අනුව එහි තිබුනේ සමාජවාදය නොවුවද පශ්චාත් ධනේශ්වර සමාජයකි. තවකෙකු එය දකින්නේ බහුවිධ ශානරයන් ලෙස පැවතිය හැකි ප්‍රාග්ධන පද්ධතීන් අතර එක් ශානරයක ලෙස ය.

ලංකා සමසමාජ පක්ෂයට අනුව සෝවියට් දේශයේ පැවතුනේ සමාජ අයිතිය ඇති දේපොල ක්‍රමයකි. එහෙත් ඒ දේශපාලන ක්‍රමය කම්කරු පංති පාලනයක් නොව නිලධර පාලනයකි. එමනිසා ලංකා සමසමාජ පක්ෂය ලියොන් ට්‍රොට්ස්කි අනුව යමින් එය විකෘත කම්කරු රාජ්‍යයක් ලෙස හැඳින්වී ය.

සෝවියට් දේශය අද වෙනවිට බිඳවැටී ඇති හෙයින් මේ විවාදය දැනට වරහන් ගතකොට අපි වෙනත් ප්‍රශ්නයකට හැරෙමු. එකක් පැහැදිලි ය. එනම් 1917 ඔක්තෝබරයේදී රුසියානු වැඩකරන ජනතාව තාවකාලික ආණ්ඩුව පෙරළා දමා බලය අල්වා ගත්තේ ය. එම වැඩකරන ජනතා රජයට එල්ල වූ බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිගාමී බලවේග පරාජය කොට එය රැකගැන්මට ඊට හැකිවිය. මෙය අඩු විවාදාත්මක ප්‍රශ්නයක්.

එහෙත් එම රජයට තිරසර සමාජ දේශපාලන ක්‍රමයක් පවත්වා ගැන්මට හැකි නොවී ය. එය බිඳ වැටින. සමාජගත අඩුම තරමේ ජනසතු දේපොල ක්‍රමය රැකගැන්මට එරට වැඩකරන ජනතාවට අවශ්‍යතාවයක් නොවින. කුලුගෙඩි රැගෙන එම රාජ්‍යයේ සංකේත බිද දැම්මේ වැඩකරන ජනතාව ය.

සමාජවාදය දුර්වල සමාජ-ආර්ථික දේශපාලන ක්‍රමයක් ද? එයට බහුතරයක් ජනතාවගේ සුභසාධනය, යහපත සහ සතුට ඇතිකළ නොහැකිවූයේ මන්ද? තාප්පයෙන් එහා පැත්තේ ලෝකය වඩා යහපත් යැයි පෙනුනේ මන්ද?

මෙය විස්තර කිරීමට අධිරාජ්‍යවාදී සන්නිවේදන ප්‍රහාරය, ධනේශ්වර ලෝක ප්‍රහාරයකට මුහුණ දීමට සම්පත් වැයකිරීමට සිදුවීම, නිලධර කුලකය තුළ රහස්‍ය ප්‍රාග්ධන පංතියක් ගොඩ නැගීම, ජාතිකවාදයේ නැගීම, සහ ආර්ථික අර්බුදය යන හේතු සමපාත වූ සහසන්ධීගත වීම සෝවියට් දේශයේ කඩාවැටීමට හේතුවිනැයි යමෙකුට සාධාරණව තර්ක කළ හැක. මේ ප්‍රශ්නවලට විසදුම් සෙවීමට දශක හතකදී නොහැකි වීමට හේතු කවරේ ද?

මම මෙසේ යෝජනා කරමි. බෝල්ෂේවික් පක්ෂය සහ ඒ වටා ගොනුවුන විප්ලවවාදීන්ට පසුගාමී රටක අධිකාරිවාදී රාජ්‍යය පෙරලා දමා බලය ගැන්මේ මූලෝපාය සහ ආකෘතියන් ගොඩනගා ගැන්මට හැකි වුවද, එවන් රටක ආර්ථික පසුගාමීත්වය පරාජය කොට සමාජවාදී සමාජයක් ගොඩනැගිය හැක්කේ කෙසේ ද යන්න ගැන ගැඹුරු අදහසක් නොතිබින. සමාජවාදය යනු කුමක්ද යන්න ගැන ඔවුනට තිබූ අදහස වර්ධිත රටක ඒ සඳහා ගතයුතු පියවරයනට වැඩියමක් නොවින. නිශ්පාදන සහ බෙදාහැරීමේ මාර්ග සමාජය සතු කිරීම සහ කම්කරු පාලනයට එහාගිය සංවර්ධනවාදී අදහසක් ඊට නොවින. සංවර්ධනවාදී රාජ්‍යය (developmental state) ක් බවට වැඩකරන ජනතා රාජ්‍යය ක්‍රියාකරන්නේ කෙසේද යන්න බෝල්ෂේවික් වැඩපිලිවෙලට අයත් නොවින.

1917 විප්ලවයට පෙර මෙම ප්‍රශ්නය ගැන යම් තරමකට හිත යෙදවූයේ ස්වීඩන අත්දැකීම් ඇසුරෙන් නිකොලායි බුකරින් පමණි. ලෙනින් එම සාකච්ඡා හාස්‍යයෙන් ඉවත දැමී ය.

බලය ඩැහැගැන්මෙන් පසු සමාජ තලයේ කළයුතු සමාජවාදී ප්‍රතිසංස්කරණ හදුන්වා දුන්නද එහිලා එකඟත්වයක් තිබුන ද ආර්ථිකය ගොඩනැගීම ගැන සුසංවිහිත වැඩපිළිවෙළක් ගොඩනගා ගැන්ම ගැන එවන් එකඟත්වයක් නොතිබින.

යුද කොමියුනිස්ට් වාදය මෙහිදී ඉදිරිපත් වූ සරල ප්‍රයෝජ්‍යතා විසඳුම ය.

බලය අල්වාගැන්මේ මූලෝපාය, උපෞපාය සහ ආකෘතීන් ගැන සුසංවිහිත සහ විස්තරාත්මක සැලැස්මක් ගොඩනගා ගැන්මේ කේන්ද්‍රීය ධාවකය වූ ලෙනින් ට මෙය කළ නොහැකි වීද?

රාජ්‍යයේ පැවැත්ම රක්ෂණය සහ එදිනෙදා කටයුතු නිසා මේ ප්‍රශ්නය ඔහුගෙන් ගිලිහී ගියේ ද?

රතු හමුදාව ගොඩ නැගීම තම මූලික කර්තව්‍යය වූ ට්‍රොට්ස්කි සමස්තය දෙසම ගොඩනගා ගත්තේ අධි-පරිපාලනවාදී ප්‍රවේශයකි. ආර්ථිකය ප්‍රමුඛ කරගත්තේ බුකරින් සහ ප්‍රියොබ්‍රසන්ස්කි පමණි. බුකරින්ගේ රාජ්‍ය ධනවාදය පිලිබඳ අදහසට එරෙහිව ප්‍රියොබ්‍රසන්ස්කි සෝවියට් ආර්ථිකය දුටුහැටි පහත සටහනෙන් දැක්වේ.

පක්ෂය අවසන පසුබැස්සේ නව ආර්ථික ප්‍රතිපත්තියට ය. එය නිවැරදි පියවරක් වුවද දිගුකාලීන වැඩපිළිවෙළකින් තොරව එය විරුද්ධාභාසයක් විය.

මේ සටහන ප්‍රධාන යෝජනා දෙකක් කරයි.

  1. පූර්ව සහ පශ්චාත් සෝවියට් තත්ත්වයන් ගැන ආර්ථිකය විශෙෂ කොටගත් විවේචනාත්මක සාකච්ඡාවක් අවශ්‍ය වේ. මක්නිසාද? චීනය සහ වියට්නාමය නැවත එම ගැටලු මතුකර හෙයිනි.
  2. මෙය ලංකාවේ වම හමුවේ ඇති ප්‍රශ්නය ය. ජනතාවට සුභසාධනය, නිදහස සහ සතුට සාක්ෂාත්කර දිය හැකි වැඩපිලිවෙලක් අද වමට නැත. එහිලා කටුසටහනක් හෝ ගොඩනගාගත නොහැකිනම් වමට බලය සදහා පොරබැදීමට සුජාත අයිතියක් නැත.

සුමනසිරි ලියනගේ විසිනි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *