සුනිල්, ඔබ පතන මෝක්ෂය ලැබේවා !

” කාරියකරවන ආරියරත්නල අද මෙහි රැස්වෙන්නේ…
ආචාර්‍යවරු, මහාචාර්‍යවරු, ප්‍රබුද්ධයනුත් ඉන්නේ..”
“හොදට පදම් වී විශාරදයනුත් බයිල නටා ඔය එන්නේ…”

—-  අන්කල් ජොන්සන් ගීතයෙන්

සුනිල් පෙරේරා ගේ මරණය ගැන ඔයා මුකුත් ලියන්නෙ නැද්ද කියල කිහිපදෙනෙකුම අහල තිබුණ..

දෙයක් කෙලින්ම කියන සුනිල්ගේ ආදර්ශයෙන්ම මට අවංකවම කියන්න තියෙන්නෙ ඔහුගේ ගීත හා සංගීතය ගැන මට අද ලොකු වාව් එකක් නැහැ කියලයි. ඇත්ත,ලංකාවේ දූපත් සංගීතය තුළ ජිප්සීස් ලෙජන්ඩ් එකක් තමයි. මගේ ළමාවිය තුළ සමාන්තර මතක සුවදක් සුනිල් ප්‍රමුඛ ජිප්සීස් ලට උරුමයි. ඒ සන්දියේ ඔහුගේ ගීත කිහිපයක්ම මට ආතල් කික් එකක් දුන්න බව මතකයි. ඒත් පහුකාලීන සුනිලුත් පහුකාලීන මමත් අතර කලාබර සහෘද බවක් නිර්මාණය වීමේ සංවේදී සීන් එකක් නම් තිබුණෙ නැහැ. ඔහුගේ මුල්කාලීන සින්දු එක්ක සසදා බැලුවත් ඔහු මෑත කරපු වැඩ ගොඩක් ඒ තරම් ගුණාත්මක නැහැ කියලයි මගේ වැටහීම..ඇමරි-යුරෝපීය ජනකාන්ත සංගීත කණ්ඩායම් ප්‍රවනතා විසින් අදාළ දශකයන් තුළ කළ සංගීතමය අත්හදා බැලීම් එක්ක බැලුවම වුනත් ජිප්සීස් සුනිල්ලා ඉන්නෙ බොහොම පිටිපස්සෙන් කියලයි මගේ අවබෝධය..ලංකාව තුළම බැලුවත් ඊට වඩා කණ්ඩායම් සංගීත වැඩ්ඩො හිටිය..ජිප්සීස්ලගෙ ලොකු නාමයට සාපේක්ෂව කරපු වැඩ කිඩ මදියි කියන එකයි මගේ පුද්ගලික අදහස..

හැබැයි ඔහු ඇතුළු ජිප්සීස්ලාගේ සංගීතමය – දේශපාලන භාවිතය ගැන සීරියස් කියවීමක් අවශ්‍යයි. මෙතන ඊට ඉඩක් නැතත් ඉතාම කෙටි නිරීක්ෂණ කිහිපයක් විතරක් සටහන් කරන්න කැමතියි.

* ජිප්සීස් සුනිල්ලාගේ ආරම්භය 70 දශකයේ මුල වුනත් පීක් එක 80 හා 90 දශකයයි.1977 න් පසු ආර්ථිකමය ලෙස විවෘත වූ සමාජයේ සෘජු සංස්කෘතික ප්‍රකාශනයක් තමයි සුනිල්..ඔහු දාර යූඇන්පීකාරයෙකු විදියට පෙනී හිටියෙත් ඒ අර්ථයෙන්. ජේආර් ගේ නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහිව 80 මුල පැන නැගි ජාතික-සංස්කෘතික ප්‍රතිවිරෝධය තමයි ඒ දශකයේ අග ප්‍රචණ්ඩ අරගලයක් විදියට පුපුරා ගියේ..සුනිල් මෙතනදි හරියටම හිටියෙ අර ජාතික-සංස්කෘතික මතවාදී ප්‍රවාහයට ප්‍රතිපක්ෂව..

* මේ කියන්නෙ ජේආර් ගෙ විවෘත ආර්ථිකයේ සංස්කෘතික ශරීරය ‘මොඩ්’ එකක් කියල එහෙම නම් නෙවෙයි. ඒකෙ රම්බොල,නයිට් රයිඩ‍ර්ස්ල, මයිකල් ජැක්සන්ල හිටිය තමයි. හැබැයි නිල සිංහල-බෞද්ධ සංස්කෘතික-දේශපාලන හැඩයක් එක්ක හොදටම ජෑම් වෙලා තමයි ඒව ආවෙ. එහේ ඇමරිකන් රම්බෝ මෙහේ 83 දි දෙමළ මිනිස්සුන්ව මැරුව. එහේ ජැක්සන් මෙහේ පළිගු මැණිකේ වල ‘පට් පට් සම්තිං’ කරලා ජේආර් ගේ රූපවාහිනියෙන් පදිරි කරලයි පෙන්නන්න සිද්ධ වුනේ..හරියට ජිප්සීස් සුනිල්ලාගේ සින්දු වල ‘පාවෙන පීරිසිය’ හා ‘ලුණු දෙහි’ දෙකම එකට තියෙනව වගේ..’ජොන්සන්ගේ රිදී ජුබිලිය’ හා ‘සයිමා කට්වීම’ එකට වෙනව වගේ.

* එවක සම්භාව්‍ය-ප්‍රබුද්ධවාදයට එරෙහිව සුනිල් පෙරේරාගේ විරෝධතා ප්‍රචාරය අපට තේරුම් ගන්න වෙන්නෙ මේ ඓතිහාසික සන්දර්භය තුළයි. ඒක එක්තරා විදියක ලංකාව ධනවාදයට විවෘත වීම සමග නිර්මාණය වූ දේශපාලන පසමිතුරුතාවය සංස්කෘතිකව පිළිඹිබු කළ විදියක් වගේ. වාම-ජාතිකවාදී සංස්කෘතික පෙරමුණ ජේආර් ගේ ව්‍යාපෘතියට එරෙහිව සන්නද්ධ දිහාවට තල්ලු වෙනකොට ජිප්සීස් සුනිල් හිටියෙ ජේආර් ගේ ව්‍යාපෘතියට පක්ෂව අර වාම-ජාතිකවාදී සංස්කෘතික පෙරමුණට එරෙහිවයි. දකුණේ ජේවීපී කොල්ලො කෙල්ලො ටික පාරේ බාබකියු දානකොට ජිප්සීස් ගීත ඊට ජොලි-සොමියක් දුන්න කියලත් රූපිකව කියන්න පුළුවන්..(ඕයේ ඔජායේ)

* ඒ කාලෙ සුනිල් ආරියරත්නල,කේමදාසල,පතිරාජල,ලූෂන්ල හිටියෙ අර වාම-ජාතිකවාදී සංස්කෘතික පෙරමුණේ..සුනිල් පෙරේරාල හිටියෙ ඒ ප්‍රබුද්ධ ආධිපත්‍යයට එරෙහිව පීචං විරෝධයේ..අර උඩම මම දාල තියෙන ‘අංකල් ජොන්සන්’ සින්දුවේ වචන ටික ඒ ගැටුම අදාළ නම් වලින්ම පෙන්නනව.

* හැබැයි අද වෙනකොට මොකද වෙලා තියෙන්නෙ..අර ඊනියා ප්‍රබුද්ධ-පීචං බෙදීමේ කෑලිවත් හොයා ගන්න නැහැ..ආරියරත්නල පීචං වෙලාද ?..නැත්නම් සුනිල් පෙරේරා ප්‍රබුද්ධ වෙලාද ?..දැන් ඔක්කොම සමානයි..සුනිල්ගේ මරණය ගැන ලියවෙන සටහන් බැලුවම පේනව කේමදාසලා හා සුනිල්ලා අතර වෙනසක් පවා නැති වෙලා කියල..

* අනෙක් අතට එදා ජවිපෙට පෙන්නන්න බැරි වෙච්ච හා ජේවීපී කොල්ලො කෙල්ලො මැරෙන කොට සින්දු ආතල් ගත්ත සුනිල්ව මෑත ජවිපෙ බදාගත්ත..සුනිලුත් කිව්ව ජවිපෙට චන්දෙ දෙන්න කියල..දාර යූඇන්පීකාරයෙක් වුණු සුනිල් ජේවීපී එක දිහාට හැරුණ..පතිරාජලා,ලූෂන්ලා අන්තිමේදී ‘යහපාලනය’ නාමයෙන් සුනිල් එක්ක පාටි දාල ෆොටෝස් අප්ලෝඩ් කරන ලයින් එකටම ආව..

* මොකක්ද මේ උඩුයටිකුරු වීම ?..කවුද මේ වෙනස්කම් වෙනස් කළේ ?..

පසුගිය දශකයන් වල ලංකාවේ ධනවාදයේ විකාශය තුළ තමයි මේ පරිවර්තනය අපට කියවගන්න වෙන්නෙ..ඉතාම කෙටියෙන් ඒක මෙහෙමයි..

* ආරියරත්නලා හා සුනිල් පෙරේරාලා අතර 80 හා 90 දශකයන්ගේ මැද භාගය තෙක් තිබූ සංස්කෘතික ගැටුම විසින් පෙන්නුම් කළේ ලංකාවේ ධනවාදී විවෘතකරණයේ ආරම්භක ප්‍රතිවිරෝධතා ප්‍රකාශනයක්..ඊළග අවුරුදු හා දශක වෙනකොට සංස්කෘතිය මුළුමනින්ම ප්‍රාග්ධන ආධිපත්‍යයට යටත් වෙලා අර පැරණි බෙදීම් හුදු සරල වෙනස්කම් බවට පමණක් ඌනනය කළා..අද ඔක්කොම සමජාතීයයි. පැරණි සංස්කෘතික ආධිපත්‍යයේ චායාවන් පවා මාධ්‍ය-ව්‍යාපාරික අධිරාජ්‍යයේ ආයෝජනයක් මිසක් ‘ඇත්ත ලෝකයේ’ තියෙන දෙයක් නෙවෙයි..’කාරියකරවන ආරියරත්නට’ වඩා ජිප්සීස් සුනිල් අද මුහුණු පොත තුළ ‘ප්‍රබුද්ධ’ නැද්ද ?

* ජිප්සීස් සුනිල් එජාපය අතහැරල ජේවීපී පැත්තට හැරීම තේරුම් ගන්න වෙන්නෙත් ධනවාදය ඇතුළෙම තමයි..ධනපති ප්‍රභූවාදය ව්සින් තවදුරටත් ‘යහපත් ආණ්ඩුකරණයක්’ හෝ ‘සමාජ නිදහස’ පිළිබද අපේක්ෂාවක් දල්වන්නෙ නැහැ..පරිණත සුනිල්ට මේ අවුල ඉවෙන් දැනුන..ධනේෂ්වර මගුලක් ගැන නෙවෙයි, යන විදියෙ අවුලක් ගැන..එජාපය වෙනුවට ‘ජවිපෙ’න් මොනව හරි ‘වෙනසක්’ බලන්න ඔහු හැරුණෙ ඒකයි. තමන්ගේ ධනවාදී-ව්‍යාපාරික උරුමය හා නව ලිබරල් ආර්ථික ක්‍රමයත් රැකගෙන ‘යහපාලනයක්’ උදාකරගන්න විදියක් ගැන ඔහු හිතුව..ඔහු ජවිපෙ තෝරගත්තෙ ඒකයි..ඒකෙන් සිරාවටම කියවෙන්නෙ සුනිල්ගෙ වෙනසකටත් වඩා ජවිපෙට සිදු වූ පරිවර්තනයක්..සුනිල්ලාගේ ධනපති-යහපාලන පැතුම් දළුලන පක්ෂයක් බවට ජවිපෙ වෙනස් වුනු තතු නේද මින් කියැවෙන්නෙ..

* සුනිල්ගේ මරණය හරහා අපගේ බුද්ධිය ගමන් කළ යුත්තේ මේ සමාජ-දේශපාලන හැරවුම් වටහාගන්නයි..ඔහුගේ මරණයට අර්ථයක් දෙන්න පුළුවන් එහෙමයි..තවදුරටත් ඒ ගැන කතා කරන්න ඉඩ තියල පුංචි දෙයක් විතරක් කියල නවතින්නම්

* සුනිල් පෙරේරා කියන සංස්කෘතික බිස්නස්කාරයට මම කැමතියි. අද සංස්කෘතික වෙළදපොළ කර්මාන්තය තුළ ඉන්න හොරිකඩ (හු) කලා ව්‍යාපාරිකයන්ට වඩා පරණ ක්ලැසික් ධනපතියෙකුගෙ තිබුණා යැයි සිතිය හැකි බිස්නස් ගුණයන් කිහිපයක් ඔහු මැරෙනකං රැකගෙන තිබුණා..ඩබ්.ජයසිරි ලියල තිබ්බ වගේම තමන්ගේ ගීත වෙළද භාණ්ඩයන්ගේ ආදායමෙන් පසු කොටස් පවා අදාළ නිෂ්පාදන දායකයන්ට (රචකයන් ඇතුළු) ලබා දීම හා නියමිත ලෙස මුදල් ගෙවීම් ආදිය සිරිතක් ලෙස ඔහු නඩත්තු කළා..ලංකාවේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ සිට ප්‍රගතිශීලී වේශධාරී සංස්කෘතික ව්‍යාපාරිකයන් දක්වා අදාළ මුදල් ගෙවීම් වලට කරන කැත කුපාඩි පැහැර හැරීම් මේ ‘ක්‍රිස්තියානිකාර-සංකර’ බිස්නස්කාරයගෙ තිබුණෙ නැහැ..ඔහුගේ එක්තරා ගීතයක රූප රචනය කළ මගේ පියාණන් පවා ඔහුගේ මේ මුදල් ගණුදෙනු වල තිබුණු ‘විවෘත-අවංක’ ගුණය ගැන විශ්මයෙන් මා සමග කියා තිබෙනව..රචකයන් ඇතුළු සම්පත් දායකයන්ගේ ශ්‍රමය සූරා ගෙන අද සංස්කෘතික තලයේ ව්‍යාපාරිකයන් වී පොර ටෝක් දෙන කාලකන්නින්ට වඩා සුනිල් පෙරේරා යනු දුර්ලභ ගනයේ ගරු කටයුතු බිස්නස්කාරයකු බව ඔහුට ගෞරවයක් ලෙස සදහන් කළ යුතුමයි.

විදර්ශන කන්නන්ගර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *