ඩොලර් හිඟය වගේම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයත් බරපතලයි!

අත්‍යවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කර රටවල් පහ අතරට ශ්‍රී ලංකාව පත්වී ඇති බව එක්සත් රාජධානිය මූලික කරගත් ‘සංවර්ධන අධ්‍යයන ආයතනය’ පවසයි. මෙම තත්ත්වය අතිශය අනතුරුදායක ආර්ථික අවපාතයක ශෝචනීය  ප්‍රකාශනයකි. ආර්ථිකයේ පාරිභෝජන අවශ්‍යතාවය සපුරන අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය නොකරන රටක මෙම ස්භාවය වඩාත් අසුභවාදී වේ. තවත් පාරිභෝජන අවශ්‍යතාවයන් ආයාත භාණ්ඩ මගින් සිදුකරන, එහෙත් ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැති අවස්ථාවකදී ගැටලුව උග්‍ර වේ.

මෙවැනි දුෂ්කර තත්ත්වයන් අප වැනි ඌන සංවර්ධිත රටවල ඇතිවීම ආර්ථික දුර්විපාක රාශියක් ඇතිවීමට හේතුවේ. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟතාවය මත ඇතිවන මිල ඉහලයෑමේ ප්‍රවණතාවය සමනය කළ යුතුවේ. මෙහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සුලභ කිරීමට ඇති නොහැකිකම අර්බුදයකි. දැනටමත් රටේ   අත්‍යවශ්‍ය  පාරිභෝජන භාණ්ඩ රැසක මිල බලාපොරොත්තු විරහිත ලෙස ඉහල ගොස් ඇත.

ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මත ව්‍යාජ මිල වටිනාකමක් පෙන්නුම් කිරීම අහිතකරය.පාරිභෝගිකයා අත ඇති මුදලට ස්වකීය අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාවක් තිබිය යුතුවේ. එය මුදලේ මූර්ත වටිනාකම ප්‍රකාශකිරීමකි. මේවන විට අප රටේ මුදලේ මූර්ත වටිනාකම පහත වැටී ඇති අන්දම එදිනෙදා පාරිභෝජන අවශ්‍යතාවයන් සඳහා වෙළඳපොළට, කඩමංඩියට යන පාරිභෝගිකයා අත්දැකීමෙන් දනී.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ පැහැදිලි ක්‍රමවේදයන් ද රට තුළ ක්‍රියාත්මක නොවේ. සාර්ථක අපනයන ප්‍රවර්ධනයන් ද නොමැත. g.s.p.+ සහනය ලබාගැනීමේ වෑයම ද දුර්වල පසුබිමකට තල්ලුවී ඇති අතර සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීම හමුවේ විදේශ විනිමය හිඟය තියුණු මුහුණුවරක් ගෙන ඇත. මෙම අර්බුදයෙන් ගැලවීමට පාලකයින් සතු ඵලදායි උපක්‍රම මොනවාද යන්න පැහැදිලි නැත.

ඩොලර් හිඟය අස්සේ ඩොලර් බිලියන 2 ට ආසන්න ණය වාරිකයක් ඉදිරියේදී ගෙවීමට නියමිතය. ගෙවුම් ශේෂ හිඟය රුපියල් බිලියන 960 ක් බව ප්‍රකාශ වේ. වසරේ මුල් භාගයේ රටේ සමස්ථ ආදායමට වඩා පවත්නා ගෙවුම් ශේෂ හිඟය වැඩි අගයක් ගනී. මෙවැනි පසුබිමක මෙරට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 213 ක මුදලක් පසුගිය ජූලි 27 වෙනි දින නිකුත්කර තිබේ. මුදල් නිකුත් කිරීමක් මගින් පමණක් උද්ධමනකාරී තත්ත්වයක් ඇති නොවන බව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි. නමුත් මෙහි ගැටලුකාරීත්වය වන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟ, විදේශ සංචිත අවම අවස්ථාවකදී මෙවැනි ක්‍රියාකාරිත්වයකට පෙළඹීමයි. මෙහිදී නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රසාරණයවීමක් හෝ විදේශ සංචිත වර්ධනයක් සිදු නොවේ.

පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන භාණ්ඩ හා සේවා ආර්ථිකය තුළ පැවතීම ආර්ථික වෘද්ධියක් ලෙස සැළකේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වර්ධනය වීමක් නොමැතිව මිල පමණක් වැඩිවීමකදී මිල දර්ශකයේ වැඩි වීමක්  පෙන්නුම් කරයි. එය ආර්ථික සංවර්ධනයක් නොවේ. මෙහිදී පවත්නා වර්ෂයේ මිල මට්ටම අනුව දල ජාතික නිෂ්පාදිතයේ ඉහල සංඛ්‍යාත්මක අගයක් පෙන්නුම් කරයි. නමුත් භාණ්ඩ හා සේවා සැපයුම පහළ අගයක පැවතිය හැක.

නව මුදල් නිකුත් කළ පමණින්ම උද්ධමනකාරී තත්ත්වයක් මතුවන්නේ ද නැත.ඇතැම් රටවල අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අවශ්‍ය තරම් පවතී. සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී භාණ්ඩ ආර්ථිකයේ පාරිභෝජන රටාවට හඳුන්වාදීමේ අවස්ථා මතුවේ. මෙවැනි අවස්ථාවලදී ආර්ථිකයේ පාරිභෝජන අවශ්‍යතා පුලුල්කිරීමේ අරමුණින්, නව මුදල් ආර්ථිකයේ මුදල් සංසරණ පද්ධතියට එක් කරයි. රටක මහා බැංකුව මගින් එරට රජය හා කරන ගණු දෙනුවකදී (ණය මුදලක් ලබාදීමේ අවශ්‍යතාවයකදී) නව මුදල් නිකුත් කිරීමක් සිදුකල හැක.

ආර්ථිකය පුලුල් කිරීමේ අවශ්‍යතාවයන් එල්ලකරගත් නව මුදල් නිකුත් කිරීමක් උද්ධමනකාරී තත්ත්වයකට හේතුවක් නොවේ. නමුත් අප රට වැනි නිෂ්පාදන ආර්ථිකයක් නොමැති, ස්වයංපෝෂිත ආර්ථික රටාවෙන් බැහැර වූ, විදේශ සංචිත හිඟ ආර්ථිකයක තත්ත්වය මීට වඩා වෙනස් ස්වරූපයක් පෙන්නුම් කරයි.රුපියලේ අගය  ඩොලරයට සාපේක්ෂව 10% කින් පහත වැටී ඇත.ආර්ථික සංවර්ධනය ඍණ අගයකට පත්ව ඇතැයි ජනපතිවරයා කියා සිටී. පවත්නා වසංගතය, ආර්ථික අර්බුදයේ සීමා මායිම් පුලුල් කරමින් පැතිර යයි. මෙම ව්‍යසනකාරිත්වය යටතේ මෙරට ආර්ථිකයේ තීරණාත්මක මංසළකුණු නිර්මාණයවී ඇති අන්දම පැහැදිළිය.

මොරටුවේ ප්‍රියන්ත සිල්වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *