“මමත් කළුයි මා ලත් කවිකමත් කලුයි” – පී. බී. අල්විස් පෙරේරා !

පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය ගොස් 2021 අගෝස්තු 21 වැනි දිනට පුරා වසර 55ක් සපිරුණි. කරුණාරත්න අමරසිංහයන් විසින් අල්විස් පෙරේරා පිළිබඳ සිය හෘදයංගම මතක සටහන් සහෘද ඔබගේ පහන් සංවේගය උදෙසා ඔහුගේ මුහුණු පොතේ තබන සටහන ‘වමේ හඬ’නූතන පරපුර සඳහා උපුටා පලකරනු ලබයි!

“50 දශකයේ පමණ අජන්තා රණසිංහයන් හා තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් සමග මා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙන ගන්නා අවධියේ අපට සිංහල විෂය ඉගැන්වූයේ විශිෂ්ට ගණයේ ගුරු උතුමන් දෙදෙනෙකි. එක් අයෙක් සුප්‍රකට විශ්වසාහිත්‍ය පරිවර්තක කේ.ජී.කරුණාතිලක සූරීහුය. අනෙක් ආචාර්ය තුමාණෝ කවියෙක් හාලේඛකයෙක් වූ ගුණදාස පෙරේරා නම් ප්‍රාචීන භාෂා විශාරදයාණෝය. එකල

අප තිදෙනා සිටියේ S.S.C prep පන්තියේය.කරුණාතිලක ගුරුතුමා පැරණි සාහිත්‍යය ඉගැන්වූ අතර ගුණදාස පෙරේරා ගුරුතුමා ඉගැන්වූයේ නූතන සාහිත්‍යයයි.

ශිෂ්‍යයෙකු වශයෙන් මා පළමු වරට පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන්ගේ කවි ඉඳුල ලද්දේ ගුණදාස පෙරේරා ගුරුතුමාගේ නූතන කවි පාඩමකදීය. එදා රස විමසුවේ ‘රික්සෝකරුවා’ නමැති කවි පෙළෙහිය.එහි එක් කවියක් තවමත් මගේ මතකයේ රැව් දෙයි.

“හැඳ සුදු ඇඳුම් සඳ රැස් වැනි        පෝ දාක

කවුදෝ අත් රියේ වැඩ හිඳිනා           සේක

දුප්පත් එකෙක් ඇදගෙන දුව යයි         ඒක

දනපති වාදයේ පිළිබිඹුවකි                මේක”

අල්විස් පෙරේරා කිවිඳුන් මිය යන තුරුම පාවා නුදුන් තම පීඩිත පන්ති දේශපාලන පිළිවෙත හඬ ගා කියන පැදියකි මේ.

පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මට පළමු වරට දැක හඳුනා ගන්නට ලැබුණේ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. 60 දශකයේ මුල් අවධියේ ගුවන් විදුලිය මගින් ‘ඓතිහාසික ජවනිකා’ නමින් නාට්‍ය මාලාවක් කොටස් වශයෙන් ප්‍රචාරය කරන ලදී. එය මහා වංශය ඇසුරින් රචිතය. නාට්‍ය රචකයා අල්විස් පෙරේරා කිවිඳුන්ය. එකල මම විවිධ චරිත නිරූපණයෙන් මේ නාට්‍ය මාලාවට නිරන්තරයෙන් සහභාගී වීමි. ‘ඓතිහාසික ජවනිකා’ නාට්‍යය පටි ගත කරන දින නොවරදවාම ගුවන් විදුලි කාර්යාලය වෙත පැමිණීම අල්විස් පෙරේරා කිවිඳුන් ගේ අනිවාර්ය චාරිත්‍රය විය. එසේ පැමිණි අවස්ථාවලදී නාට්‍ය පුහුණුවට පෙරාතුව ඔහු අප සමග සතුටු සාමීචියේ යෙදීම ද නොවරදවා ම සිදුවන්නකි.

මේ වැඩසටහනට සහභාගී වීම සඳහා මා ගුවන් විදුලියට ගිය දිනක සිදුවූ සිද්ධියක් මගේ මතකයට නැගේ. එදා කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා පිටිය වැඩ සටහනට සහභාගී වීමට පැමිණ සිටි සුනන්ද මහේන්ද්‍රයන් අප ‘ඓතිහාසික ජවනිකා’ නාට්‍යය පුහුණු වෙමින් සිටි ගුවන් විදුලි සභා ශාලාවට පැමිණියේ අප සමග එහි අල්විස් පෙරේරා කිවිඳුන් සිටිනු දුටු බැවිනි.

එකල විද්‍යාර්ථියෙකු වූ සුනන්දයෝ අල්විස් පෙරේරා කිවිඳුන්ගේ සුහද මිතුරෙක් වූහ. ඔහු ඵකල ද ප්‍රකට අංකුර ශිෂ්‍ය ලේඛකයෙකි. ගුවන් විදුලි සන්නිවේදකයෙකි. සභාශාලාව වෙත පැමිණි සුනන්දයන් පිළිගත් අල්විස් පෙරේරා කිවිඳුන් අනතුරුව සුනන්දයන් සහ මා කැටුව ගියේ ගුවන් විදුලි කැන්ටිම වෙතය. අප දෙදෙනා කැටුව ගුවන් විදුලි කොරිඩෝරයක් දිගේ කැන්ටිම දෙසට යන අල්විස් පෙරේරා කිවිඳුන් හා අප අතරට ‘සිංහල නවකතාව’ මාතෘකාවක් ලෙස පිවිසුණේ කෙසේදැයි දැන් මට සිහි කළ නොහැකිය. එහෙත් රසවත් නවකතාව අරබයා ඔහු හෙළි කළ මිනුම් දණ්ඩ මට අද මෙන් මතකය.

“රසවත් නවකතාවක් නම් ඒක ආසාවෙන් කියවන්න පුළුවන් එකක් වෙන්න ඕනැ. කියවන්න හිතෙන්නෙ

නැති එකක් කොහොමද රසවත් වෙන්නේ?” තම මතය නොපැකිළව කියා පෑම අද මෙන් ම එදා ද සුනන්දයන්ගේ සිරිතය. අල්විස් පෙරේරා කිවිඳුන් සිය මතය පළ කොට කට ගන්නට පෙරම සුනන්දයන්ගේ මුවින් මේ වදන් ගිලිහුණි.

“අල්විස් පෙරේරා මහත්තය නවකතාව ගැන දරන්නෙ බොළඳ මතයක්නෙ!” වත්මන් ඇතැම් සම්මානිත නවකතා බස පවා කියවන කල අල්විස් පෙරේරා කිවිඳුන්ගේ එම නවකතා මතය බොළඳ සේ සලකා බැහැර ලිය හැකිදැයි යන්න අද සුනන්දයන්ට වුව සිතෙනු නිසැක ය.

60 දශකයේ මතුවූ වාමාංශික හා ප්‍රගතිශීලී නව දේශපාලන බලවේගයත් සමග බිහිවූ සටන් කාහලයකි ‘ජනදින’ පුවත්පත. පාසල් වියේ සිටම (එදා) ‘සමසමාජ’ පක්ෂයේ සහෝදරයන් වූ මමත් මගේ සන්මිත්‍ර සුප්‍රකට නවකතාකරු පියදාස වැලිකන්නගේත් මුල සිටම ‘ජනදින’ කතුමඬුල්ලේ ඇවැස්ස නෑයෝ වීමු. (පසු කලෙක මම “ජනදින’ කතුමඬුල්ලෙහි බින්න බැස්සෙමි.) එකල ‘ජනදින’ ආයතනය ඇරඹූ ‘ජනකවි’පුවත්පතේ ප්‍රධාන සංස්කාරකයාණෝ පී.බී.අල්විස් පෙරේරා කිවිඳාණෝය.

වරක් ‘ජනදින’ ආයතනයේ මුද්‍රණ අංශ සේවක සහෝදරයෙකුගේ දුවගේ මඟුල් ගෙදරදී ලද අත්දැකීමක්

කෙසේ අමතක කරම්ද? එදා මාත් මගේ කල්‍යාණ මිත්‍ර වැලීත් ‘ජනදින’ සේවක කන්දයියා සහෝදරයාගේ දුවගේ මඟුල් ගෙදර ගියේ කතුමඬුල්ලේ මෙන්ම සෙසු අංශවල ද සේවක සහෝදරයන් සමගය. අල්විස් පෙරේරා කිවිඳාණෝ එහි විශේෂ ආරාධිතයෙකි. එනිසාම එහිදී ඔහුට විශේෂ ආරාධනාවකි. කන්දයියා සහෝදරයා ගෙනි. හිටිවන කවියටම උපන් කටටය. එක එක පදය මතක තබාගන්නට අපි එක එකා කතා කර

ගතිමු. අදත් එය කිවිඳුගේ හඬින් මගේ මතකයේ ගැයේ.

සරස්වතීගෙන් අරගෙන බොහෝ             වරම්

ආවෙමි වනක්කම් එප්පුඩි                සහෝදරම්

ආඩවනේ කන්දයියෝමෙහේ                   තරම්

දෑ සමගියක් එංගේරිකි අගේ                    කරම්

ඒ කාලයේ සිංහල දෙමළ ගැටුමක් නොවීය. වාමාංශික ව්‍යාපාරයේ සිංහල දෙමළ සහෝදරයෝ එකට

සටන් කළහ. දෙජාතියක් වුවද සමාජ පීඩනය අතින් සජාතිකය.අල්විස් පෙරේරා කිවිඳුන් තම හද උරුමය

වූ පන්ති සහෝදරත්වය සහ මානව බන්ධුත්වය එසැණින් එසේ උදාර උදානයකට නැඟුවේ දෙමව්බසේම වදන් චතුර ලෙස එකට ගොතමිනි. කිවිඳුන්ගේ කවිකම මෙන්ම මිනිස්කම ද මේ එකම කවියෙන් වුවද මැනවින් පිළිබිඹු වෙයි.

වරක් පී.බී.කිවිඳු තම සුහද කවියන් පිරිසක් පිරිවරා මිහින්තලා පියගැට පෙළ නගියි. පිරිවර ඇරයුමක් කරති.

මිහින්තලාව වැනීමේ භවුල් කවි ගැයුමකට මුල පිරුමටය. කවිය පහළ වෙයි.

නියරැස් දහර රුපු කිරුළග තෙක්              විද්ද

නරවීරයන් ජය ගත් පිට රට                     යුද්ද

කැත් කුල කතුන් දී මිණි මෙවුලෙහි          සද්ද

මේ පඩි පෙළෙන් කොපමණ යන්නට       ඇද්ද ?

මාර්ටින් වික්‍රමසිංහ සූරීහු සිය ‘නව පද්‍ය සිංහලය’ කෘතියෙහි ලා පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් ගැන

මෙසේ පවසති. “නොසිඳෙන දිය ඇල්ලක් වැනි කල්පනාව ඇත්තෙකි අල්විස් පෙරේරා.”

කොපමණ ඇත්තක්ද! එක්තරා හිටිවන කවි උලෙළකදී කිසියම් කවියෙක් පී.බී. කිවිඳුන්ගෙන්

මේ කවි පැනය අසයි.

පැනයක් අසමි පිළිතුරු දෙනවද                 ඊට

තාරවලින් නාලද ඔබ කළු                       පාට

කාළ වර්ණ සම්පත්තියේ මහිමයත් කවිත්වයේ රම්‍යත්වයත් ධ්වනිත වන අයුරින් එදා පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන්ගේ මුවින් වහා ගිලිහුණු මේ රසාලිප්ත පිළිතුරු කවියෙන් මගේ හෘදයංගම සැමරුම් සටහන සමාප්ත කිරීම මැනවැයි හඟිමි.

වෙණුත් කළුයි වෙණුගේ කොතබුවත්                   කළුයි

රිදී ඉරක් බබළන වැහි කළුත්                               කළුයි

කළුවර ගහේ මැද ඇති අරටුවත්                            කළුයි

මමත් කළුයි මා ලත් කවිකමත්                             කලුයි

සටහනක්:

‘කොතබුව’ නම් ‘කොතබු’ මැණික හෙවත් ‘කෞස්තුභ’ මාණික්‍යයයි. කිරි මූද කලඹන කල පහළ වුණු

‘සිරි කත’ වහා තමා සතු කර ගත් අයුරින්ම, වෙණු දෙවි , ඉන්ම මතු වුණු ‘කොතබු’ මිණද ගෙන තම කළු පැහැති ළයෙහි පැලඳ ගත් බැවින් එය ද කළු පැහැයෙන් දිසේ.’කළු’ යනු කළු පාටයි.’කලු’ යනු සිත්කලුයි.

කරුණාරත්න අමරසිංහයන්ගේ මුහුණු පොතේ සටහනකි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *