සංක්‍රමණික සේවකයන් පිලිබඳ ලංකාවේ නීතීය

පෙරවදන

ශ්‍රී  ලංකාවේ සංක්‍රමණික සේවකයන් පිලිබඳ දැඩි උනන්දුවක් ඇතිවූයේ  2019 ජනාධිපතිවරණයේදී හා අනතුරුව පශ්චාත් කොවිඩ් සමයේදීය. ඊට පෙර  විවිධ පාර්ශව හඬ නැගුවත් ඒවා එතරම් සැලකිල්ලට ගැනීමක් නොවීය. 1990 දී පමන රාවය පුවත් පත මැදිහත්ව කුවේට් කඳුලු නමින් ඡායාරුපමය මැදීහත්වීමක්ද රන්ජන් රාමනායක මහතා විසින් නිරතුරුවමද සංක්‍රමණික සේවකයන් පිලිබඳව හඬ නැගීමක් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ආරම්භක සභාපතිවරයා වුයේ  ඩේවිඩ් සොයිසා මහතාය.  එම පනත නිර්මාණයෙහිලා ඔහුගේ දැඩි දායකත්වයක්ද වු බව ප්‍රකටය. පසුකාලීනව ඔහුගේ දායකත්වයෙන්ද පිහිටවූ සංක්‍රමණික මධ්‍යස්ථානය Migrants Centre  සංක්‍රමණික සේවකයට චන්ද අයිතිය ඉල්ලූ පළමු සංවිධානවලින් එකකි. ACTFORM නමින් හැඳින්වු සංවිධානයක් 1990 ගනන්වල අග භාගයේ පිහිටවු අතර ලියුම්කරුද එහි සංවිධාන සාමාජිකත්වයේ කටයුතු කර ඇත. ඇමෙරිකානු  සොලිඩැරිටි සෙන්ටර් American Solidarity Centre හා පසුව සොලිඩැරිටි සෙන්ටර් Solidarity  Centre නමින් අද ද පවතින සංවිධානයද සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් කටයුතු කල ආයතනයන් විය. YMCA හා Caritas ආයතනද වෙනත් කාන්තා හා ප්‍රාදේශීය සංවිධානද මේ විෂයයේ කටයුතු කර ඇත.

මුල් කාලීනව බොහෝ සංවිධාන පෙරගමන් හුරුව  pre departure orientation තම මූලික කර්තව්‍ය කරගත් අතර අයිතීන් හෝ සාධාරණත්වය (Rights or justice)  ගැන වැඩි යමක් නොවීය. එයට මූලිකම හේතුව වන්නේ  ඒ සඳහා  පසුව විස්තර කරන ලෙසම ව්‍යුහයක් නොවීමයි.

වසරකට ඩොලර් බිලියන 8 ක් පමණ ආදායමක් රටට දායක කරන නිසාවෙන්දෝ හෝ වෙනත් දේශපාලන න්‍යාය පත්‍ර නිසාවෙන්දෝ හෝ නොදනිතත් පසු කාලීනව මෙම කාණ්ඩය රට විරුවන් ලෙසද හැඳින්විනි.

සෘජු දායකත්වය හැරුණු කොට  වක්‍රව ගුවන් ගමන්, පාස්පෝට්  හා සිය රටට නැව්ගත කිරීම (Freight) ගුවනින්  බඩු ප්‍රවාහනය (Air cargo), ලාංකීය කෑම වර්ග, පුවත්පත්  අපනයනය,  ලාංකීය  සංගීත කණ්ඩායම්හි වාර්ෂික විදේශ සංචාර හා සංක්‍රමණික සේවකයන්  ලංකාවට ලබා ගන්නා  සැම ජාත්‍යන්තර දුරකථන ඇමතුමකටම විනාඩියකට රුපියල් 5 කට ආසන්න මුදලක් වශයෙන්,  අති විශාල මුදලක් හා විදේශ විනිමය සංචිතයක්ද,  හවාලා  (Hwala),  උන්ඩියල් වැනි නීති විරෝධී ක්‍රම හරහා අනීතික භාණ්ඩ ආනයනයටද මොවුන් දායක වෙයි. මේ සියලු දේ කරණ සංක්‍රමණික සේවකයන්ගේ ආරක්ෂාවට  ලංකවේ නීති ඇතිද?

මගේ ගුවන් ගමන් පතේ  ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිචි වීමේ මුද්‍රාව ඇත. එනයින් ගත් කල මා ද සංක්‍රමණික සේවකයෙකි.

මා  විදේශ රටවල ජීවත්වු කාලයේ ශ්‍රී ලංකාවේ සංක්‍රමණික සේවක සංවිධාන දෙකක උපදේශකයකුද , නීතී උපදේශකයකුද , ජාත්‍යන්තර සංක්‍රමණික සේවකයන් සඳහාවු  ආයතන කිහිපයක සාමාජිකත්වයද  දරා හා ලංකාවේ ඇති  එවැනි ජාල කිහිපයක සාමාජිකත්වයද , සමහරක සමාරම්භකයා ලෙසද, නෛතික ආයතනයක් වු ALFEA ආයතනයේ නිල නොවන උපදේශකයකු හා වරෙක ඔවුන්ට එරෙහිව නඩු කටයුතු කල නීතීඥවරයකුද වශයෙන්ද කටයුතු කර ඇත.

ලංකාවේ නීතිය.

මා මෙම කරුණු දැක්වීමෙහිලා යෝජනා කරන්නේ ලංකාවේ සංක්‍රමණික සේවකයන් ආරක්ෂා කිරීමට නීතියක් නොමැති බවත් මූලික අයිතිවාසිකම්, පොදු නීති  හා පනත්හි ආරක්ෂාව පමණක් ඇති බවත්ය. එයිනුත් ශ්‍රී ලංකා විදේශ  සේවා කාර්යාංශ පනත, විදේශ රැකියා සපයන  බලපත්‍රකරුවන් නියාමනයට විනා එහි  කිසිදු වචනයක්  සංක්‍රමණික සේවකයන්ට අයිතිවාසිකම් ඇති බව පිළි නොගනී. එහි යම් පමණකට හෝ ඇත්තේ සංක්‍රමණික සේවකයන්ට ආරක්ෂාව හා  සුභසාධනය කල හැකි බව පමණි.

1985 අංක 21 දරන  ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යාංශ පනත යනුවෙන් හා  1994 හා 2009 වර්ෂයන්හි එයට කල සංශෝධනද  සහිතව පවත්වාගෙන යන නීතිය මත ඉහත තත්වය ඇති බව යෝජනා කරයි.

පනත මගින් 1980 අංක 32 දරන  විදේශ සේවා නියුක්ති නියෝජන පනත ප්‍රත්‍යදීෂ්ඨ කොට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිහිටුවීම හා එහි බලතල හා නියාමනය සඳහාම පැනවු පනතකි. මෙම පනත මගින් විදේශ රැකියා බලපත්‍ර හිමියන් නියාමනය කරයි.

පනතේ 15 වන වගන්තිය තෙක්ම පවතින්නේ ආයතනය විෂයේ විදේශ රැකියා අමාත්‍යවරයා හෝ කම්කරු අමාත්‍යවරයා සතු බලතල හා කාර්යාංශයේ බල ව්‍යුහය හා එහි ආනුෂාංගික කරුණුය.

15 වන වගන්තිය කාර්යාංශයේ පරමාර්ථ විස්තර කරයි. එහිදී මා කලින් යෝජනා කල පරිදිම වෙලඳපොල අරමුණු කරගත් හා ප්‍රාග්ධනය අරමුණු කරගත් නියාමන පරමාර්ථය. එහී දී කාරණා තුනක් හැර අනෙක්වා සියල්ලම වෙලඳ පොල හා නියාමන පරමාර්ථය. එහිදී සංක්‍රමණික සේවකයන්ගේ  සුභසාධනය ගැන කියූවත් එම සුභ සාධනය කුමක්දැයි නොකියයි. එක් විශේෂ කාරණයක් ලෙස කිව්වත් එනම් ආරක්ෂාව භාර ගන්නා බව කීවත් එයද නිවැරදි ලෙස නිර්වචනය කර නැත.

සුභ සාධනය පමණක් උලුප්පා දක්වා ඇත. එය විස්තර කර නැත. එමෙන්ම අවසානයේ නැවත සියරට එන සංක්‍රමණික සේවකයන් පුනරුත්ථාපනයක් ගැන කථා කලද එයද පැහැදිලි නැත.  එය මා හිතන අකාරයට reintegration නැවත අවශෝෂණය කර ගැනීම විය යුතුය. සුභසාධක අරමුදලක් පිහිටුවීම පරමාර්ථයකි. එම අරමුණට පිහිටුවා ගත් අරමුදල භාවිතා කල ආකාරය  සුභ සාධනයමද යන්න විගණනය කල යුතුය.

මන්ද  අලුතෙන් පත්ව එන රජයන් පෙර රජයන්හි මෙම අරමුදල භා‍විතාව ගැන බොහෝ කරුණු පාර්ලිමේන්තුවේ පැවසීම පමණක් නොව හා එම පරීක්ෂණ වලට කුමක්වුනාදැයි පසු විපරම් කිරීමට සංවිධාන ඇතිදැයි නොදනිමි.

පනතට අනුව විෂය භාර අමාත්‍යවරයාට බොහෝ බලතල ඇත. සභාපතිවරයා අමාත්‍යවරයාගේ නියෝජිතයකුගේ තත්ත්වයට වැටී ඇත. කාර්යාංශයේ අරමුදල ගැන පනතේ ඇත. එයට රජයෙන්  හා වෙනත් උපයා ගැනීම් වලින් මුදල් ලැබේදැයි ගණනය කිරීමක් කරන්න

සැම සංක්‍රමණික සේවකයකුම අවම වශයෙන් රුපියල් 17,000/= ක මුදලක් වත් රජයේ ගාස්තු වශයෙන් ගෙවිය යුතුය. විදේශ රැකියා බලපත්‍ර හිමියන් විසින් තම වාර්ෂික ගාස්තුවලට අමතරව වෙනත් බොහෝ ගෙවීම් කරයි. රජයෙන් සේවක වැටුප් සඳහා හා වෙනත් කාර්යයන්ට අරමුදලට ප්‍රතිපාදන සපයයි.

රක්ෂණය ද පොදු ඒකක (Bulk insurance) හා එයට ගෙවන වාර්ෂික කොටස(Premium) ගැනද එම ආයතන මැසිවිලි නගති. අපට ගෙවන ගණන් ද සොච්චමක්. පිටරටවල අපව බලා ගන්නේ කෙසේද? මේවා හැමෝම දන්නා කරුණුය.

2019 වසරේ විදේශ ගතවූවන් දළ වශයෙන් 225,000ක් වශයෙන් ගතහොත්  ඔවුන්ගෙන් අයකර ගන්නා මුදල දළ වශයෙන් රු. 3,825,000,000/= කි. ඉහත රජයේ ප්‍රතිපාදනද  ගත් කල අරමුදල විශාල එකකි. 17,000/= ක අවම මුදලින් 55% ක් බලපත්‍ර ලාභීන්ට ගෙවිය යුතුවුවත් ඉතිරිවන මුදල සුවිශාලය. පහ සමත් දරුවන්ට ශිෂ්‍යත්ව තෑගිද,  වෙනත් සුබ සාධනද  මෙසේ අවුරුදු ගණනාවක් වාර්ෂිකව එකතු වූ මුදල්ද  කාර්යාංශය වෙත තබා ගන්නා  Escrow Fund එකද විගණනය කල යුතුය. එසේ කර තෝරා  බේරා ගන්නා අති විශාල මුදල මේ මොහොතේවත් සංක්‍රමණික සේවකයන් ගෙන්වා ගැනීමට වැය කල යුතුය.

පනතේ 22 වගන්තීය යටතේ  තානාපතී සේවයට අනුයුක්ත කාර්යාංශයේ කම්කරු  නිලධාරීන් එනම් labour attache..ලාට සුවිශේෂී වගකීමක් පනත මගින් පවරා  ඇත.

එහෙත් පසුගිය වසර 45 කට ආසන්න කාලයේ  ලංකාවට මිනී පෙට්ටිවලින් ආ හා කෘර වධහිංසාවන්ට ලක්ව පැමිණි සේවිකාවන්ට හෝ සේවකයන්ට ඔය පනතේ 22 වගන්තියේ සාධාරණය ඉටුවුවාදැයි විගණනය කළ යුතුය.

සමහර හිස් අතින් පැමිණෙන  ගෘහ සේවිකාවන් නැවත ගුවන් තොටුපලේද අපයෝජනයවන්නේ මේ 22 වගන්තිය  නිසි ලෙස ක්‍රියාත්මක වන නිසාද?

ශ්‍රී ලංකා භුමියේම කොටසක් වන තානාපති කාර්යාලවල හෝ ඉන් පිටත පවත්වාගෙන යන සුරක්ෂා නිවාස ඇත්තටම සුරක්ෂා නිවාසද? ලිංගික අපයෝජනයන්ට  ලක්වන විශාල සංඛ්‍යාවක් කාන්තාවන්ට මෙම වගන්තියේ පිහිට ලැබේද? මේ සම්බන්ධව  අපට ලංකාවේ අධිකරණ වල නඩු පැවරීම කල හැකි නේද?  එවැනි නඩු පවරා ඇති නිසාවට එය කල හැකි බව පමණක් මම පවසමි.

සෞදී අරාබිය වැනි රටවල් ගෘහ සේවකයකු ලබා ගැනීමට රුපියල් 700,000ක් පමණ එරටේ  ඒජන්සිවලට ගෙවයි.  එයින් හොඳ ප්‍රතිශතයක් මෙරටට එවයි. එයින් 250,0000 කට ආසන්න මුදලක්  එලෙස විදේශ ගතවන කාන්තාවන්ට  විදේශ ගතවීමට පෙරම ලැබෙයි. අවුරුදු 5ට අඩු ලමයින් ඉන්නා කාන්තාවන්ට රට යා නොහැක. ආබාධිත ලමයින්  ඉන්න කාන්තාවන්ට රට යා නොහැක. පිරිමින්ට අවුරුදු 5ට අඩු ලමයි සිටියත් රට යා හැක. මෙයට එරෙහිව අධිකරණවල නඩු පැවරුවත් ඒවා සාර්ථකවී නැත. කාන්තාවන්ට රට යාමට තම පුරුෂයාගේ අනුමැතිය අවශ්‍යය.

පිරිමින්ට එය අවශ්‍යය නැත. තව දුරටත් එය අභි‍යෝගයට ලක් කල යුතුය. වතු කම්කරු කාන්තාවක්නම් තම ස්වාමීයගේ අනුමැතියට අමතරව  වතු පාලන අධිකාරියේද අනුමැතිය ගත යුතුය. මෙය FBR  නම් වේ. එහෙත් ආන්දෝලනයකට ලක්වු රූ රැජිනක් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ තමා තම දරුවාට මාසයකට ආසන්න කාලයකදී රට ගිය බවය. නීතීය එකම නොවන බව පෙනේ. මේ ගැන කාර්යාංශයේද විවිධ අක්‍රමිකතා වන බව පෙනේ. අල්ලස් කොමිසමටද  විජය උඳුපිටිය මහතා පැමිණිලි කර ඇත.

පනත බොහෝ අඩු පාඩුවලින් යුක්තය. සංක්‍රමණික සේවකයන්ට අයිතිවාසිකම් ඇති බව  පනත නොපිලිගනියි. පෙරලා තම රට පැමිණීම  මුලික අයිතිවාසිකමක් බව රටේ ව්‍යවස්ථාව පිලිගනී. එහෙත් එහෙමවත් එන්න  බැරි බව පෙනේ.  ඒවාට කවුරුන් හෝ නඩු කිව යුතුය.  මුලික අයිතිවාසිකම් එයට ප්‍රමාණවත්ය. රීට් නඩුද බොහෝ දේ කල හැකි ප්‍රතිකර්මය.  අවශ්‍ය වන්නේ  අඬ අඬා සිටීම නොව නීතිය උපයෝගී කරගෙන මේ සුවිශේෂී වැදගත් කමක් දරණ  ලංකාවට විදේශ විනිමය ගෙන එන රට විරුවන්ට අයිතිවාසිකම්, චන්ද බලය හා විදේශ වලදී  ආරක්ෂාව සැපයීමය.

බහු පාර්ශ්වික හෝ  ද්විපාර්ශවික ගිවිසුම් නැවත කියවිය යුතුය. සමහර  ගිවිසුම් සේවකයන්ට අහිතකරය. උදාහරණයක් වශයෙන් Runaway Maid  හෝ පලායන සේවිකාවක් රියාල් 25000 ක් දඩ ගෙවිය යුතුය.  ලිංගික අපයෝජනයකදී කාන්තාවකට  කල හැක්කේ එයයි. පලා යාම පමණි.  එහෙත් පලා ගියොත් 25000ක් එනම් රුපියල්  750,000 ක් පමණ දඩ ගසයි.  පලා යන ඇයම වරදකරුවේ. ඇයගේ සාක්ෂියට එන්නේ කවුද? නාඳුනන රටක තම සේවායෝජකයාගේ අණසකට යටත් විටෙක මේ ගිවිසුම් සාර්ථකද?

ලංකාව ජාත්‍යන්තර සංක්‍රමණික සේවකයන් හා ඔවුන්ගේ පවුල් සඳහා වු සම්මුතිය අත්සන් කර ඇතත් එය පනතක් ලෙස සම්මත කර නැති නිසා එය අපට කිසිම නීතිමය වැදගැම්මකට නැත. සමහර රාජ්‍ය නොවන සංවිධානවලට මෙය ආදායම් මාර්ගයක් හා මාසිකව රට යාමේ වැඩක් මිස සමාජයට කිසිම දායකත්වයක් ලබාදී නැත. කොලඹ සංවාදය ඩුබායි සංවාදය වගේ නිසි පල ප්‍රයෝජන ලබාදී නැත. ප්‍රාග්ධනය මායිම් හරහා නිර්භයව සංක්‍රමණයවේ. ඒත් මිනිසුන් ට නොහැක.

එහෙත් නීතියක් නැති රටක රිසානා නෆීක්ට වු දේ ඔවුන්ට විය නොහැකිද?  ක්‍රියාත්මක විය යුත්තේ ඔබයි.

නීතිඥ ලක්ෂාන් ඩයස්
වැඩිපුර කියවන්න
 http://mnsl.blogspot.com
Migrant News Sri Lanka

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *