හම්බන්තොට වල්සපුගල ගොවි සටන

සුමනසිරි ලියනගේ විසිනි

මසක පමණ කාලයක් තුළ ආංඩුවට දෙවරක් පසුබැසීමට සිදුවිය. අඩිය ආපස්සට ගැනීමට අංඩුවට පළමුවෙනි වතාවට බලකර සිටියෝ 9000 කට වැඩි වරාය සේවකයෝ ය. ඒ කොළඹ වරාය නැගෙනහිර බහාලුම් පර්‍යන්තයේ සියයට 49 ක් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට ආංඩුව ගත් තීරණය සමග ය. ජනාධිපතිවරයා සහ විෂය භාර ඇමතිවරයා තදින්ම කියා සිටියේ එම තීරණය කිසිසේත්ම වෙනස් නොකළ හැකි බවත් ප්‍රකාර ගිවිසුම ඇතුලත සිටිමින් වෘත්තීය සමිති කරන යෝජනා පමණක් සැලකිල්ලට ගත හැකි බවත් ය. එහෙත් වරාය පුරා විහිදයන වෘත්තීය සටනක යෝධ හෙවනැල්ල වැටෙන්නට පටන් ගැන්ම සමග පුලුල් සමාජ චලනයක සලකුණු ද දෘශ්‍යමානවන්ට විය. පංතියේ ශක්තියේ රශ්ණය හමුවේ ආංඩුව තම තද ස්ථාවරය වෙඩරු පිඩක් මෙන් උණුව ගියේ ය. නැගෙනහිර බහාලුම් පර්‍යන්තය වරාය අධිකාරය යටතේ සංවර්ධනය කිරීමට තීන්දු විය.

සූරියවැව වල්සපුගල ගැමි ගොවි සටන ආංඩුව පස්සට තල්ලුකර ලූ දෙවන සටන විය. මේ ගොවි සටන මසකට වැඩි කාලයක් ඇදුන එකක් වූයේ ය. මේ ගොවි සටන මතුකළ ප්‍රශ්නය නවමු හැඩයක් ගත්තකි. 2020 ජුනි මාසයේ ඉන්දීය ගොවින් ආරම්භකළ අරගලය මේ වනවිටත් අඛණ්ඩව කෙරීගෙන යයි. එය මූලික වශයෙන් ගොවි ව්‍යාපාර සමාගම් වලට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට පිවිසීම පහසු කෙරෙන පරිදි මෝදි ආංඩුව සම්මත කළ පනත් තුනකට එරෙහිව ය. වල්සපුගල ගොවි සටනේ වෙනස වන්නේ එය මිනිසාගේ පමණක් නොව සතා සිව්පාවගේ ප්‍රශ්නයටද ආමන්ත්‍රණය කරන්නක්වීම නිසා ය. වල්සපුගල ගොවිජනතාවගේ ප්‍රධානම ඉල්ලීමක් වූයේ අලින්ට එක් අභයභූමියක සිට තවත් රක්ෂිත භූමියකට ගමන් කිරීම සදහා අලි මං කඩක් ‍රක්ෂිත අඩවියක් ලෙස ගැසට් කරන ලෙස ය. පහුගිය වසරේ අලින් මරා දැමීම ගැන ලෝකයේ පළමුවෙනි තැන ලංකාවට ලැබීම ගැන අප ලැජ්ජා විය යුතුයි. අලි මිනිස් ගැටුම මිනිස් ක්‍රියාකාරකම්වල ඵලයකි. අලි මං කඩක් සදහා රක්ෂිතයක් ගැසට් කිරීමට ආංඩුව අදිමදි කළේ මන්ද? මෙම අදි මදි කිරීම පිටුපස කැලෑකපන හොරුන් සිටින්නේ ද?

ආංඩුවේ කල්මැරීම මගින් වල්සපුගල ගොවී සටන අඩපණව යනු ඇතැයි ආංඩුව සිතන්නට ඇත. එහෙත් ඉන්දීය ගොවිනට මෙන්ම සූරියවැව වල්සපුගල ගොවින්ටද සටන දිගුකලක් ඇදගෙනයාමට අවශ්‍ය නව යන්ත්‍රණයන් සොයාගත හැකිවිය. 23 වෙනිදා රැස්වූ කැබිනට් මංඩලය අඩියක් දෙවන වරටත් ආපස්සට ගන්නට තීරණය කළේ ය. පොරොන්දු ප්‍රකාර 23 දවල් 12 ට පෙර අලිමංකඩ ආරක්ෂක කලාපයක් ලෙස ගැසට් කිරීමට ආංඩුව ක්‍රියා නොකළහොත් මාරාන්තික උපවාසයකට යාමට ගොවිහු ලෑස්ති වී සිටිම මෙම තීරණයට බල පෑ ප්‍රධානම හේතුව විය.

මේ සටන් පෙන්නුම් කරන්නේ කුමක් ද?

නැගෙනහිර බහාලුම් පර්‍යන්තය අදානි ව්‍යාපාර කාංඩයට පැවරීමට එරෙහිව වරාය සේවකයන් ගෙනගිය සටන සහ වල්සපුගල ගොවි සටන යන සටන් දෙකේදීම නායකත්වය ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට හිතවත් සහ සම්බන්ධ පිරිස් සහ සංවිධාන ය. ශ්‍යමල් වරාය විශාලම වෘත්තීය සමිතියේ ලේකම් ය. එම සමිතිය පොදුජන පෙරමුණට සම්බන්ධ ය. වල්සපුගල නායකත්වය ගන්නා මහින්ද සමරවික්‍රම ද එම පෙරමුණේ හිතවතෙකි. එමෙන්ම වරාය සටනට සහායට ආ ආගමික නායකයන් සහ දේශපාලන කාංඩ පොදුජන පෙරමුණ සමග සම්බන්ධ අය ය. 

මේ වනතුරු ප්‍රධාන විරුද්ධ පක්ෂ වූ සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය ආංඩුවට එරෙහි කිසිදු සටහන් කළ හැකි සටනකට නායකත්වය දීමට අසමත්ව ඇත්තාහ. මෙය කරුණු දෙකක් පෙන්වයි. 1. වර්තමාන ආංඩුව පරස්පර විරෝධී සහ අසමජාතීය බලවේගවල එකතුවක් ලෙස සැදී ඇති බව ය. එමනිසාම ආංඩුවේ ප්‍රධානීන් ගන්නා තීරණවලට එරෙහිව ඇතිවන අභ්‍යන්තර  කැරලි ශක්තිමත් වෙනවා පමණක් නොව ආංඩු තීරණ ආපසු හැරවීමට පවා හේතුවන බව ය. මේ කරුණ දේශපාලන ගතිකයන් තේරුම් ගැන්මට බෙහෙවින් වැදගත් ය. 2. ප්‍රධාන විරුද්ධ පක්ෂ බලවෙගයන් තුනට ආංඩුවේ මූලික ප්‍රතිපත්ති රාමුවට එනම් නවලිබරල්වාදී ප්‍රතිපත්ති රාමුවට වෙනස් විකල්ප ප්‍රතිපත්ති රාමුවක් නොමැත්තේ ය යන්න දෙවැන්න ය. පොදු දේපොල රැකීම ගැන විරුද්ධත්වයක් තවමත් වැඩිමනත් වශයෙන් මතුව එන්නේ ආංඩුව ඇතුලත හිරව ඇති බලවේග වලින් සහ ආංඩුවෙන් පිටත සිටින කුඩා සහ ආන්තික කාංඩ වලිනි.


සටන් සීමා

මෙතෙක් ආංඩුවට එරෙහිව දියත් වූ ප්‍රධාන සටන් දෙකේදීම නායකත්වය පොදුජන පෙරමුණ වෘත්තීය සමිති සහ ප්‍රාදේශීය නායකයන් විසින් ගැනීම නිසාම මෙම සටන්වල සීමාවන් ගණනාවක් හදුනාගත හැකි වේ. වරාය සේවක සටන ඇතුලත වරාය සේවකයන් අභීතව පලකර සිටියේ නැගෙනහිර බහාලුම් පර්‍යන්තය අඩු වියදමකින් ඉදිකිරීමට සහ එය ලාභ ලබාගත හැකිලෙස කලමනාකරණය කිරීමට සේවක මංඩලයක් මගින් කළ හැකි බව ය. මෙය බෙහෙවින් ඉදිරිගාමී ඉල්ලීමකි. එහෙත් ආංඩුව පසුබැසීම සමග වෘත්තීය සමිති නායකයෝ මෙම ඉදිරිගාමී ඉල්ලීම අමතක කර දැමූහ. එහි අනිසි ප්‍රතිඵල මේ වනවිටත් වරාය තුළ දැකගත හැකිවේ.
වල්සපුගල ගොවි අරගලය වැදගත් එකක් වූයේ එය ගොවි ප්‍රශ්න වලට සීමානොවි පරිසරය පිළිබද ගැටලුව සමග ද සම්බන්ධ කළ හෙයිනි. වන සතුන් සිව් පාවුන් මෙන්ම ගහකොල සංරක්ෂණය කෘෂිකර්මය සදහා තීරනාත්මක බව ගොවිහු දනිති. මේ තේරුමෙන් වල්සපුගල ගොවි අරගලය ඉන්දීය ගොවි අරගලයට වඩා ඉදිරිගාමී ය. එහෙත් ගොවින් තේරුම්ගත යුතු වැදගත් ම කරුණ වන්නේ අද ගොවිතැන් කරන මාදිලිය ම සමස්ත පෘථිවි පැවැත්මට හානිකර වනබව ය. මේ කරුණ ද සටන මැදට ගෙන ආ යුතු වේ.

එක්සත් පෙරමුණ න්‍යාය

උක්ත සටහන අවධාරණය කළ කරුණ සාවද්‍ය නිගමනයකට හේතුවිය හැක. මා මෙහිදී පෙන්වා දුන්නේ විකල්ප වැඩපිළිවෙළක් සදහා සහ ආංඩුව ගෙනයන ප්‍රතිගාමී වැඩපිළිවෙළට එරෙහි සටනක් සදහා සංවිධානය කළයුතු සහ මෙහෙයවිය යුතු පිරිස් තවමත් වැඩිවශයෙන් සිටින්නේ පොදුජන පෙරමුණ කූඩුව ඇතුලේ බව ය. එසේනම් අප ක්‍රියාකළ යුත්තේ කෙසේ ද? විකල්ප දෙකක් යෝජනා කළ හැක.

  • 1. මේ කූඩුව ඇතුලට ගොස් එහිම විරෝධකාරි සිරකරුවන් වීම ය. මේ ආංඩුව වෙනුවෙන් වාසුත්, පහුගිය ආංඩුව වෙනුවෙන් බාහු ත් අනුගමනය කළේ මෙවන් පිළිවෙතක් ය. 1964 එන්. එම් යෝජනා කළේත් එයම ය. ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හැමවිටම යෝජනා කළේ ද එයම ය. මෙම පිලිවෙත වම විනාශ කළේ ය.
  • 2. පොදුජන පෙරමුණ පිරිස් බැහැර නොකරමින් සටන් පෙරමුණු තුළ සහ සමාජ පහළ මාලයේ සටන් කතිකා තුල ඔවුන් සමග ක්‍රියාත්මක වීම දෙවන ක්‍රමය ය. එහිදී සටන තුළ තවමත් මතු නොකෙරුන ආධිපත්‍ය පරිපථ විරෝධී ඉල්ලිම් වෙත සටන දිගු කිරීමද මෙහිලා වැදගත් ය.
Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *