ලෝකයත්, රටේ ජනතාවත්‍ රැවටීමට ගත් තීරණයක්…

කොවිඩ් ආසාදිතව මියයන අයගේ මළසිරුරු භූමදානය කිරීමට ඉඩදෙන ගැසට් පත්‍රය නිකුත්කර තිබේ. මෙතෙක් කල් ආණ්ඩුවට නරක් වූ දෙය දැන් හොඳ වී තිබේ. ලෝකයේ රටවල් 190කට වැඩි ගණනක ක්‍රියාත්මක වූ, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කරතිබූ භූමදානය තහනම් කර තිබුණේ මේ රටේ පමණි.
මුස්ලිම් ජනයා ඉලක්ක කර පනවා තිබූ මේ ජාතිවාදී තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පහුගිය කාලය තුළ මුස්ලිම් ජනයා සමග එක්වී වාමාංශිකයන් සටන් කර තිබිණි. එබැවින් මේ අවස්ථාව ඒ සියළු දෙනා ලබාගත් ජයග්‍රහණයකි. එහෙත් මෙතෙක් කල් නෑසූ කණ්ව සිටි මේ උද්ධච්ච පාලකයන් දැන් මේ සඳහා ඉඩදීමට තීරණය කළේ ඇයි?

මෙයට කලින් 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම පිණිස ආණ්ඩුව මෙම භූමදානය සඳහා අවස්ථාව දෙන බවට රහසේ පොරොන්දු වී තිබිණි. එහෙත් එම මන්ත්‍රීවරුන් රවටා එය සම්මත කරගත් පසු මුළුමනින්ම එම කාරණය නොසලකා හැරියේය. නැවත වරක් මේ සම්බන්ධයෙන් සටන් කිරීමට මුස්ලිම් ජනතාවට සිදු විය.

එසේනම් දැන් මේ හදිසියේ භූමදානය සඳහා ඉඩදීමට රජය තීරණය කළේ ඇයි? විශේෂඥ කමිටුව භූමදානය කිරීමට ඉඩදිය යුතු බවට මීට දෙමසකට පෙර කරන ලද නිර්දේශය තාක්ෂණික කමිටුව මේ හදිසියේ තීරණයක් ගත්තේද? එහෙත් ඇත්ත කාරණය නම් මේ තීරණය මුළුමනින්ම දේශපාලනික තීරණයක් බවය.
මෙහි දෙපැත්තක් ඇත. මෑතකදී මෙරටට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මේ සඳහා බලපෑම් කරන්නට ඇත. සමහර විට ඔහු මෙහි එන්නට ඇත්තේ එම අවසරය දෙන බවට රාජපක්ෂ රෙජිමය දුන් පොරොන්දුවක් මත වියහැකිය. කෙසේවෙතත් මීට වඩා බලවත් දෙවැනි කාරණය වනුයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දැන් පැවැත්වෙන සැසිවාරයේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති විශේෂ යෝජනාවයි.

දරුණු මානව හිමිකම් සංහාරක ආණ්ඩුවක් වන මේ රාජපක්ෂ පාලනය යටතේ කොවිඩ් ආසාදිතව මියයන අයගේ මළසිරුරු බලහත්කාරයෙන් ආදාහනය කරන පිලිවෙතද මානව හිමිකම් උල්ලංඝනයක් වශයෙන් ඇතුළත් කරන බවට අදහස් ඉදිරිපත් වී තිබිණි. කලින් අවස්ථාවල මෙවැනි යෝජනා ඉදිරිපත් වූ විට රාජපක්ෂ පාලනයට පිහිට වීමට සිටියේ මැදපෙරදිග මුස්ලිම් රටවල් පමණි. තම රටවල ජනයාගේ මානව හිමිකම් දරුණු ලෙස පාගාදමා ඇති අරාබි පාලකයන් මේ බලහත්කාර ආදාහන පිලිවෙත නිසා එක්කෝ එම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන හෝ ඡන්දය දීමෙන් වැළකී සිටින පිලිවෙතක් අනුගමනය කළහොත් ලෝකය ඉදිරියේ රාජපක්ෂ පාලනයේ රෙදි ගැලවී නිරුවත් වනු ඇත.

එමනිසා මේ තීරණය මුස්ලිම් ජනතාවට ආදරයෙන් ගත් එකක් නොවේ. ලෝකයත් රටේ ජනතාවත්‍ රැවටීමට ගත් ජඩ තීරණයකි. එමනිසා මේ තාවකාලික ජයග්‍රහණය භුක්ති විඳින අතර මේ රටේ සියළු ජනතාවන්ගේ ගෙල මිරිකන්නට කැස කවන රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට සටන් කිරීමට අදිටන් කරගැනීමට මෙය අවස්ථාවක් කරගනිමු.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *