රෝහල් සෞඛ්‍ය කාර්‍ය්‍ය මණ්ඩලවල වැඩ වර්ජනය හෙට දිනටත්…

වත්මන් රජය විසින් සෞඛ්‍ය සේවයට සේවකයන් බඳවා ගැනීමේ පිළිගත් ක්‍රම වේදය පසෙක ලා අධ්‍යාපන සුදුසුකම් නොමැති දේශපාලන හෙංචයියන් අනුයුක්ත කිරීමට එරෙහිව අද දින දියත් කරන ලද වැඩ වර්ජනය නිසා රෝහල් ගණනාවක සේවාවන් අඩාල විය. මෙම වැඩ වර්ජනය ගැන කරුණු දැක් වූ ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවක සංගමයේ මාධ්‍ය ලේකම් පියතිස්ස මඩපාත සහෝදරයා මෙසේ පැවසීය.


”රෝහල්වල වෘත්තීය සමිති 21 ක් එකතුවෙලා තමයි අද වැඩ වර්ජනය දියත් කළේ. සමිතිවල ඉල්ලීම වන්නේ අ.පො.ස. සා. පෙල අසමත් ලක්‍ෂයකට රැකියා දීමේ වැඩ පිළිවෙල යටතේ දේශපාලන පදනම මත බඳවාගත් සේවකයන් රෝහල්වල වැඩ කටයුතු පුහුණුවීම සඳහා අනුයුක්ත කිරීමට විරුද්ධවයි. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවයේ පහලම තනතුර වන කම්කරු ශ්‍රේණියටත් සේවකයන් ගන්නේ අවම වශයෙන් අ.පො.ස. සා. පෙල විභාගයෙන් විෂයයන් 6 ක සමත් අයයි. නමුත් දැන් අනුයුක්ත කරල තියෙන සමහර දෙනෙක් 8 පාස් අයවත් නෙමෙයි. අනෙක් කාරණය තමයි මේ අය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන අය නෙමෙයි. මේ ලක්‍ෂයක පිරිස හමුදා නිළධාරියකු යටතේ තියෙන විශේෂ බලකායක පිරිසක්. මේ අය පුහුණු කරන්නේ කම්කරුවන්ගේ ප්‍රජාතන්තවාදී සටන් කඩා කප්පල් කරන්නයි. මේ වැඩ වර්ජනය ගැන කථා කරන්න අද සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවට සෞඛ්‍ය ලේකම්වරයාත් හමුදා නිළධාරීන් කිහිප දෙනෙකුත් පොලිසිය භාර ඇමති සරත් වීරසේකරත් පැමිණ සිටියා. මේජර්වරයෙක් වන සෞඛ්‍ය ලේකම් හිටියත් කථා කළේ හමුදා නිළධාරීන්  පමණයි. ඔවුන් කිවුවා තම සේවකයන් අනුයුක්ත කිරීම තාවකාලිකව නවත්වනව කියල. ඒ ගැන ලිඛිත තහවුරුවක් දීම ඔවුන් ප්‍රතික්‍ෂෙප කළා. මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙලා තිබුණු ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති තුනක් පාලකයන්ගේ මේ පොරොන්දුව මත වැඩ වර්ජනයෙන් ඉවත් වුණා. නමුත් අනෙක් වෘත්තීය සමිති හෙට දවසෙත් මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුවේ එක් වෘත්තීය සමිතියක නායකයෙක් වන රෝයි ද මැල් කම්කරු අමාත්‍යාංශයේ සහකාර ලේකම් කෙනෙක්. ඔවුන් ආණ්ඩුවේ තීරණයට විරුද්ධව හිටියොත් තනතුර නැතිවෙනවට බයේ තමයි සටනින් ඉවත් වුණේ. ඔවුන් සටන පාවල දුන්නත් අනෙක් සමිති සටන ඉදිරියටම ගෙන යනවා.”  

සාකච්ඡා කලේ විජේපාල වීරකෝන්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *